අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භාවය

1. සිත සමඟ එක්ව උපදින, එක්ව නිරුද්ධවන, එක් අරමුණක් ඇති, එක් වස්තුවක් ඇති, සිත හා යෙදෙන දෙපනස් (52) ධර්මයෝ චෛතසිකයෝ යයි දන්නා ලදහ.

2. කෙසේ ද? ඵස්ස, වෙදනා, සඤ්ඤා, චෙතනා, එකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර යන මේ චෛතසික සත සබ්බචිත්ත සාධාරණ නම් වෙත්.

3. විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, පීති, ඡන්ද යන මේ චෛතසික සය ප්‍රකීර්ණක නම් වෙත්. මෙසේ මේ චෛතසික තෙළෙස (13) අඤ්ඤ සමාන යයි දත යුතු.

4. මොහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලොභ, දිට්ඨි, මාන, දොස, ඉස්සා මච්ඡරිය, කුක්කුච්ච, ථින, මිද්ධ, විචිකිච්ඡා යන මේ චෛතසික තුදුස (14) අකුසල චෛතසික නම් වෙත්.

5. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලොභ, අදොස, තත්‍රමජ්ඣත්තතා කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන මේ එකුන් (19) විසි චෛතසිකයෝ සොභන සාධාරණ නම් වෙත්.

6. සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන් දෙන විරතීහු නම් වෙත්.

7. කරුණා, මුදිතා දෙදෙන අප්‍රමාණ්‍යයෝ නම් වෙත්. සර්ව ප්‍රකාරයෙන් පඤ්ඤින්ද්‍රියයත් සමඟ මේ පස් විසි (25) චෛතසිකයෝ සොභනයෝ යයි දත යුත්තා හ.

8. මෙතෙකින්, අන්‍යසමාන තෙළෙසය (13), අකුසල තුදුසය (14), සොභන පස් විස්සය (25) යි දෙපනස් (52) චෛතසිකයක් කියනු ලදී.

9. මින්මතු, චිත්තයන් හි වෙන වෙනම යෙදෙන ඔවුන්ගේ සම්ප්‍රයෝගනය කියනු ලැබේ.

10. සතක් සියළු සිත්හි යෙදෙත්. ප්‍රකීර්ණකයෝ සුදුසු පරිද් දෙන් යෙදෙත්. තුදුසක් අකුසල් සිත්හිම යෙදෙත්. සොභනයෝ සෝභන සිත්හිම යෙදෙත්.

11. කෙසේද? සබ්බචිත්ත සාධාරණ නම් වූ මේ චෛතසික සත සියලු එකුන් අනූ (89) සිත්හි ලැබෙති.

12. ප්‍රකීර්ණකයන් අතුරෙන් විතර්කය දෙපස්විඤ්ඤාණයන් හැර ඉතිරි කාමාවචර චිත්තයන්හි ද, එකොළොස් ප්‍රථමධ්‍යාන සිත්හිද යන පස්පනස් (55) සිත්හි උපදී.

13. විචාරය ඒ සිත්හි ද, එකොළොස් දුතියධ්‍යාන සිත්හි ද යන සසැට (66) සිත්හිද

14. අධිමොක්ඛය දෙපස් විඤ්ඤාණ සහ විචිකිච්ඡා සහගත සිත හැර ඉතිරි සිත් හිද

15. විරිය පඤ්චද්වාරාවජ්ජනය, දෙපස්විඤ්ඤාණය, සම්පටිච්ඡන සන්තීරණ සිත් හැර ඉතිරි සිත් හිද

16. ප්‍රීතිය, දොම්නස් සිත්, උපෙක්ඛාසහගත සිත්, කායවිඤ්ඤාණ චතුර්ථධ්‍යාන සිත් හැර ඉතිරි සිත්හි ද,

17. ඡන්දය අහේතුක සිත් මොමූහ සිත් හැර ඉතිරි සිත්හි උපදී. එය පිළිවෙලින්.

18. සිත් සැටසයෙක (66) පස්පනසෙක (55), එකොළොසෙක, සොළොසෙක, සැත්තෑවෙක (70), විස්සෙක ප්‍රකීර්ණකයෝ නොයෙදේ. සිත් පස්පනසෙක, සැටසයෙක, සැත්තෑ අටෙක, සැත්තෑතුනෙක, එක්පනසෙක, එකුන්සැත්තෑවෙක යන සිත්හි පිළිවෙලින් යෙදෙත්.

19. අකුසලයන් අතුරෙන් මොහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච යන මේ චෛතසික සතර සබ්බාකුසල සාධාරණ නම් වෙත්. මොව්හු සියලු දොළොස් අකුසල් සිත්හි ලැබෙත්.

20. ලෝභය, ලෝභසහගත සිත් අටෙහිම ලැබේ. දිට්ඨිය, දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙහි ම ලැබේ. මානය දිට්ඨිගත විප්‍රයුක්ත සිත් සතරෙහි ම ලැබේ.

21. දොස, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන මොහු පටිඝසම්ප්‍රයුක්ත සිත් දෙක්හි ද,

22. ථීනය හා මිද්ධය සසඞ්ඛාරික සිත් පසෙහි ද,

23. විචිකිච්ඡාව විචිකිච්ඡා සහගත සිතෙහි ද ලැබේ.

24. සියළු අකුසල් සිත්හි සතරෙක් ද, ලෝභ මූල සිත්හි තුනෙක් ද, දොස මූල සිත්හි සතරෙක් ද, සසඞ්ඛාර සිත්හි දෙකෙක් ද, විචිකිච්ඡාව විචිකිච්ඡා සිතෙහි ද, මෙසේ මේ තුදුස දොළොස් අකුසල් සිත්හි පස් ආකාරයකින් යෙදෙති.

25. සෝභනයන් අතුරෙන් එකුන් විසි සෝභනසාධාරණ චෛතසිකයෝ සියලු එකුන් සැට සෝභන සිත්හිම ලැබෙති.

26. විරතිත්‍රය ලෝකෝත්තර සිත්හි සර්වප්‍රකාරයෙන් නියතව එකට ම ලැබෙත්. ලෞකික සිත් අතුරෙන් කාමාවචර කුසල් සිත්හිම ඇතැම් විටෙක වෙන වෙනම ලැබෙත්.

27. අප්‍රමාණ්‍යයෝ පඤ්චමධ්‍යාන සිත් හැර මහග්ගත සිත් දොළොසෙහි ද කාමාවචර කුසල් සිත්හිද, සහේතුක කාමාවචර ක්‍රියා සිත්හිද යන අට විසි සිත් හි ඇතැම් විටෙක වෙන් වෙන්ව උපදිත්. උපෙක්ඛා සහගත සිත්හි කරුණා මුදිතා දෙක නො ලැබෙතියි සමහරෙක් කියත්.

28. ප්‍රඥාව වනාහි දොළොස්ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර සිත්හි ද, සියලු පන්තිස් (35) මහග්ගත ලොකොත්තර සිත්හි ද යන සිත් සතළිස් (40) සතෙහි සම්ප්‍රයොග බවට යෙයි.

29. එකුන් විසි (19) ධර්මකෙනෙක් එකුන් සැටක් (59) සිත්හි ද, තිදෙ නෙක් සිත් සොළොසෙක (16) ද දෙදෙනෙක් සිත් අටවිස්සෙක (28) ද යෙදෙති. ප්‍රඥාව සිත් සතළිස් සතෙක (47) යෙදේ යයි කියන ලදී. මෙසේ ශෝභනයෝ සෝභන සිත්හිම සතර ආකාරයකින් යෙදුනාහු ය.

30. ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, විරතිත්‍රය, කරුණා, මුදිතා යන මොව්හු සහ මානය ද වෙන් වෙන්ව කිසි විටෙක උපදී. එසේම ථිනය සහ මිද්ධය ද එකටම උපදී. කියන ලද අනුසාරයෙන් සෙස්ස නියතයෝගී වෙති. දැන් ඔවුන්ගේ සංග්‍රහනය ද කියමි.

31. ලොකොත්තර සිත්හි සතිසක් (36) ද, මහග්ගත සිත්හි පන්තිසෙක් (35) ද, කාමාවචර සෝභන සිත්හි අටතිසෙක් (38) ද, අකුසල් සිත් හි සත් විස් සක් (27) ද, අහේතුක සිත්හි දොළොසෙක් ද ලැබෙති. මෙසේ ලැබෙන පරිදි යෙදීමෙන් එහි සංග්‍රහය පස් වැදෑරුම් වේ.

32. කෙසේ ද? ලොකොත්තර සිත් අතුරෙන් ප්‍රථමධ්‍යානික සිත් අටෙහි තෙළෙස් අන්‍යසමාන චෛතසිකය, අප්‍රමාණ්‍යයන් හැර තෙවිසි (23) සෝභන චෛතසිකදැයි සතිස් (36) චෛතසිකයන් සංග්‍රහ වෙත්. එසේම ද්විතියධ්‍යානික සිත්හි විතර්කය හැර ද, තෘතියධ්‍යානික සිත්හි විතර්කවිචාරයන් හැර ද, චතුර්ථධ්‍යානික සිත්හි විතක්ක විචාර පීතිය හැරද, පඤ්චමධ්‍යානික සිත්හි එය ම උපෙක්ඛා සහිතවද සංග්‍රහ වෙත්. මෙසේ සර්වප්‍රකාරයෙන් ලොකොත්තර සිත් අටෙහි පඤ්චක ධ්‍යාන යන් ගේ වශයෙන් පඤ්චවිධ සංග්‍රහයක් වෙත්.

33. ලොකොත්තර සිත්හි පිළිවෙලින් සතියෙක, පන්තියෙක, සිව්තිසෙක, තුන්තිසෙක් බැගින් යුගලයක් දැයි පඤ්චවිධ සංග්‍රහයෙක් සිටියාහුය.

34. මහග්ගත සිත්හි වනාහි ප්‍රථමධ්‍යානික සිත්තුනෙහි අඤ්ඤ සමාන තෙලෙස් චෛතසිකයෝ ය. විරති හැර සෝභන දෙවිසි (22) චෛතසිකයෝ ය යන පන්තිසක් (35) ධර්ම සංග්‍රහ වෙත්. කරුණා මුදිතා දෙදෙන වෙන වෙනම යෙදිය යුත්තාහුය. එසේ ම දුතියධ්‍යානික සිත්හි විතර්කය හැර ද, තෘතියධ්‍යානික සිත්හි විතර්ක විචාරයන් හැරද, චතුර්ත්ථධ්‍යානික සිත්හි විතර්ක, විචාර ප්‍රීතිය හැරුද පඤ්චමධ්‍යානික සිත්හි එයම උපෙක්ඛාව සහිතව ද සංග්‍රහවෙත්. පසළොස් පඤ්චම ධ්‍යානික සිත්හි අප්‍රමාණ්‍යයෝ නො ලැබෙත්. මෙසේ සර්වප්‍රකාරයෙන් සත් විසි මහග්ගත සිත්හි පඤ්චකධ්‍යානයන් ගේ වශයෙන් පඤ්චවිධ සංග්‍රහයක් වෙත්.

35. මහග්ගත සිත්හි පන්තිසෙක, සිව්තිසෙක, තුන්තිසෙක, දෙතිසෙක, තිසෙක යයි මෙසේ පිළිවෙලින් පඤ්චවිධ සංග්‍රහයෙක් වෙත්.

36. කාමාවචර සොභන සිත්හි වනාහි කුසල්සිත් අතුරෙන් ප්‍රථමද්වයෙහි අඤ්ඤසමාන චෛතසික තෙළෙසය, පස්විසි සොභන චෛතසික දැයි අටතිස් ධර්ම කෙනෙක් සංග්‍රහ වෙත්. මෙහි අප්‍රමාණ්‍ය, විරති යන ධර්ම පස වෙන වෙනම යෙදිය යුත්තාහ. එසේ ම දෙවෙනි ද්වයෙහි ඤාණය හැර ද, තුන්වන ද්වයයෙහි ඤාණ සම්ප්‍රයුක්තව ප්‍රීතිය හැර ද, චතුර්ථද්වයෙහි ඤාණ ප්‍රීති හැර එයම සංග්‍රහ වෙත්.

37. ක්‍රියා සිත්හි විරති හැර එසේම සතර දුකයෙහි සතර විධ සංග්‍රහයෙක් වෙත්.

38. එසේම විපාකසිත්හිද අප්‍රමාණ්‍ය, විරතිහැර එයම සංග්‍රහ වෙත්.

39. සහේතුක කාමාවචර කුසල ක්‍රියා විපාක සිත්හි පිළිවෙලින් කුසල් සිත්හි අටතිසෙක සත්තිස බැගින් දෙකෙක, සතිසෙක ක්‍රියා සිත්හි පන්තිසෙක, සිව්තිස බැගින් දෙකෙක තුන්තිසෙක, විපාක සිත්හි තුන්තිසෙක දෙතිස බැගින් දෙකෙක, එක්තිසෙක යන චෛතසිකයෝ සංග්‍රහ වෙත්.

40. මහග්ගත සිත්හි හා මහා ක්‍රියා සිත්හිද විරහුතී නැත්තාහ. ලොකොත්තර සිත්හි අප්‍රමාණ්‍යයෝ නැත්තාහ. එසේම මහා විපාක සිත්හි විරති අප්‍රමාණ්‍යයෝ නැත්තාහ.

41. ලොකොත්තර සිත්හි ධ්‍යාන ධර්මයෝ ද, මධ්‍යම වූ මහග්ගත සිත්හි අප්‍රමාණ්‍යයෝ ද, පරිත්තවූ කාම සෝභන සිත්හි විරති, ඤාණ, ප්‍රීතිහු ද, විසෙසකර වෙත්.

42. අකුසල්සිත් අතුරෙන් ලෝභ මූල සිත්හි ප්‍රථම අසඞ්ඛාරික සිතෙහි තෙළෙස් (13) අඤ්ඤසමාන චෛතසිකයෝය. අකුසලසාධාරණ සතරය, යන සතලොස (17) සහ ලෝභ දිට්ඨි සහිතව එකුන් විසි (19) ධර්ම කෙනෙක් සංග්‍රහ වෙත්.

43. එසේ ම දෙවෙනි අසඞ්ඛාරික සිතෙහි ලෝභමානයන් සමඟ ද,

44. එසේම තුන්වෙනි අසඞ්ඛාරික සිතෙහි ප්‍රීතිය හැර ලෝභ දිට්ඨි සමඟ අටළොසෙක් (18) ද,

45. එසේම සිව්වැන්නෙහි ලෝභ මානයන් සමඟ ද,

46. පස්වෙනි පටිඝසම්ප්‍රයුක්ත අසඞ්ඛාරික සිතෙහි ‘දොස, ඉස්සා මච්ඡරිය, කුක්කුච්ච යන සතර සමඟ ප්‍රීතිය හැර ඒ විසි ධර්මයෝ ම සංග්‍රහ වෙත්. එහි ඉස්සා මච්ඡරිය කුක්කුච්චයන් වෙන වෙන ම යෙදිය යුතුය.

47. සසඞ්ඛාරික සිත් පසෙහි ද එසේ ම ථීන මිද්ධයන් වෙසෙසා යෙදිය යුතු.

48. ඡන්ද පීති හැර අන්‍ය සමාන එකොළොස (11) ද අකුසලසාධාරණ සතර ද යන පසළොස් (15) ධර්මයෝ උද්ධච්ච සම්ප්‍රයුක්ත සිතෙහි යෙදෙත්.

49. විචිකිච්ඡා සහගත සිතෙහි ද අධිමොක්ඛය හැර විචිකිච්ඡාව සමඟ පසළොස් ධර්ම කෙනෙක් එසේම ලැබෙත්. මෙසේ සර්ව ප්‍රකාරයෙන් දොළොස් අකුසල් සිත්හි වෙන වෙනම යෙදෙන්නාහු නමුදු ගණන වශයෙන් සත්පරිද්දෙකින් ම සංග්‍රහ කරන ලද්දාහු වෙත්.

50. අකුසල් සිත්හි එකුන් විස්සෙක, අටළොසෙක, විස්සෙක, එක්විස්සෙක, නැවත විස්සෙක, දෙවිස්සෙක, පසළොසෙක යයි සප්තවිධ සංග්‍රහයෙක් සිටියාහු වෙත්.

51. අකුසල සාධාරණ සතරය, අන්‍යසමාන දසය යන තුදුස සියලු අකුසල් සිත් හි යෙදෙන්නාහුය.

52. අහේතුක සිත් අතුරෙන් පළමුකොට හසන චිත්තයෙහි ඡන්දය හැර අන්‍යසමාන දොළොස් ධර්මයෝ සංග්‍රහ වෙත්.

53. එසේම වොට්ඨපන සිතෙහි ඡන්දප්‍රීති හැර ද,

54. සුඛසන්තීරණයෙහි ඡන්දවිරිය හැරද,

55. මනෝධාතුත්‍රිකය සහ අහේතුක පටිසන්ධි යුගලයෙහි ඡන්ද, පීති විරිය හැරද.

56. දෙපස් විඤ්ඤාණයන්හි ප්‍රකීර්ණකයන් හැර අන්‍ය සමානයෝ සංග්‍රහවෙත්. මෙසේ සර්වප්‍රකාරයෙන් අටළොස් අහේතුක සිත්හි ගණන වශයෙන් සතරවිධ සංග්‍රහයෙක් වෙත්.

57. අටළොස් අහේතුක සිත්හි දොළොසෙක, එකොළොසෙක දසයෙක, සතෙක යයි මෙසේ සතර ආකාරයකින් සංග්‍රහ වෙයි.

58. සියලු අහේතුක සිත්හි චෛතසික සතක් ද, සෙසු චෛතසික යෝ සුදුසු පරිද්දෙන් ද ලැබෙති. මෙසේ විස්තර වශයෙන් තෙතිස් (33) වැදෑරුම් වූ සංග්‍රහ නය කියන ලදී.

59. මෙසේ සිත හා යෙදෙන චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගනය හා සංග්‍රහනය ද දැන යෙදෙන යෙදෙන පරිද්දෙන් සිත හා සම වූ චෛතසික ප්‍රභේදය කියන්නේ ය.

මෙසේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි චෛතසික සංග්‍රහ විභාග නම් වූ

දුතිය පරිච්ඡේදය නිමි.