අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සමථ විපස්සනා භාවනා

ශීලයෙන් මනා කොට කාය වාග් සංවරය ලබාගත් තැනැත්තේ ධ්‍යාන, මාර්ග ඵල ආදිය ලබා නිවණ අවබෝධ කරගැනීම පිණිස උත්සාහවත් වන්නේය. හෙතෙමේ පළමු කොට චිත්ත දමනය පිණිස භාවනායෙහි යෙදෙන්නේය. භාවනාව නම් සිත තැන්පත් කරගැනීම පිණිස සුදුසු අරමුණෙක සිත වැඩීම නොහොත් අරමුණ නැවත නැවත සිහි කිරීමය.

මේ භාවනාව, චිත්ත භාවනා හෙවත් සමථ භාවනාය පඤ්ඤාභාවනා හෙවත් විදර්ශනා භාවනා යයි දෙවැදෑරුවේ.

සමථ භාවනා නම් ධ්‍යාන අභිඥා ආදිය ලබනු පිණිස කාමච්ඡන්‍දාදී නීවරණ ධර්‍ම හෙවත් ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් හා විතර්‍කාදී ඖදාරික ධ්‍යානාඞ්ගයන් සංසිඳවාගෙන සමාධි නම් වූ චිත්තෙකග්ගතාව පිණිස චිත්තයාගේ වැඩීමයි.

විදර්ශනා භාවනා නම් සත්ත්‍ව, පුද්ගල, ස්ත්‍රී, පුරුෂාදී වශයෙන් හෝ නිත්‍ය, සුභ, සුඛ, ආත්ම වශයෙන් හෝ නොබලා මේ පඤ්චස්කන්‍ධාදිය හෙවත් නාමරූප ධර්‍මයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මයයි නුවණින් මනා කොට බැලීම පිණිස චිත්තයාගේ වැඩීමයි. මෙයින් නිවණ අරමුණු කිරීමෙන් මාර්‍ග ඵලයන්ට පැමිණිය හැකි වේ.