භාවය
1. යම් සඞ්ඛත ධර්මකෙනෙකුන්ට යම් ධර්මකෙනෙක් යම් ආකාරයකින් ප්රත්යයවෙත් ද එහි විභාගය දැන් සුදුසු පරිද්දෙන් කියන්නෙමි.
2. පටිච්චසමුප්පාද නය පට්ඨාන නය යයි දෙවැදෑරුම්වූ ප්‍රත්‍යය සංග්‍රහය දතයුතු. ඒ ප්‍රත්‍යය ධර්මයන්ගේ වීමෙන් වන සුළුවූ, වීම් ආකාර මාත්‍රයෙන් උපලක්ෂිතවූයේ පටිච්ච සමුප්පාද නය නම් වේ. පට්ඨාන නය වනාහි වෙසෙසා පැවති ප්‍රත්‍යය අරභයා කියනු ලැබේ. ආචාර්‍ය්‍යවරයෝ ඒ නය දෙක මිශ්‍ර කොට විස්තර කෙරෙත්.
3. එහි අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ ද සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයද, විඤ්ඤාණප්රත්යයයෙන් නාම රූපයද, නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතනයද, සළායතන ප්‍රත්‍යයයෙන් ඵස්සයද, ඵස්ස ප්‍රත්‍යයයෙන් වෙදනාවද, වෙදනා ප්‍රත්‍යයයෙන් තණ්හාවද තණ්හාප්රත්යයයෙන් උපාදානයද, උපාදාන ප්‍රත්‍යයයෙන් භවයද භවප්‍රත්‍යයයෙන් ජාතියද, ජාතිප්‍රත්‍යයයෙන් ජරා-මරණයද සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාසයෝද හටගනිත්. මෙසේ මේ සියළු දුක්ඛ රාශියගේ පහළවීම වෙයි.
මෙය ප්‍රත්‍යය සංග්රහයෙහි පටිච්ච සමුප්පාද නය වෙයි.
4. එහි අද්ධ තුනක් ද, අඞ්ග දොළොසක් ද, ආකාර විස්සක්ද, සන්ධි තුනක්ද, සඞ්ඛෙප සතරක් ද, වට්ට තුනක්ද, මුල් දෙකක් ද දතයුත්තාහ.
5. කෙසේද? අවිජ්ජා සඞ්ඛාර දෙක අතීත අද්ධ නමි. ජාති ජරා මරණ අනාගත අද්ධ නමි මධ්‍යයෙහි වූ අඞ්ග අට ප්‍රත්‍යුත්පන්න අද්ධ නමි. මෙසේ අද්ධ තුනෙක් වෙති.
6. අවිජ්ජා, සඞ්ඛාර, විඤ්ඤාණ නාමරූප, සළායතන, ඵස්ස, වෙදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණයයි අඞ්ග දොළොසෙක් වෙති. මෙහි සොකාදි වචන ජාතියගේ ද අප්‍රධාන ඵලය දැක්වීමය.
7. අවිජ්ජා සඞ්ඛාරයන් ගැනීමෙන් තණ්හා, උපාදාන, කර්මභවයෝ ද ගන්නා ලද්දාහු වෙත්. එසේම තණ්හා උපාදාන භවයන් ගැනීමෙන් අවිජ්ජා සඞ්ඛාරද, - ජාති ජරා මරණයන් ගැනීමෙන් විඤ්ඤාණාදි ඵල පඤ්චකයද ගන්නා ලද්දේ වෙයි.
8. අතීත භවයෙහි හේතු පඤ්චකයක් ද, මේ ප්‍රත්‍යුත්පන්න භවයෙහි ඵල පඤ්චකයක් ද, මේ ප්‍රත්‍යුත්පන්න භවයෙහි හේතු පඤ්චකයක් ද, අනාගතයෙහි ඵල පඤ්චකයෙක් දැයි මෙසේ ආකාර විස්සෙක් ද සන්ධි තුනෙක් ද සඞ්ඛෙප සතරෙක්ද වේ.
9. අවිජ්ජා, තණ්හා, උපාදානයෝ කිලෙසවට්ට නමි. කර්මභව සඞ්ඛ්‍යාත වූ භව එකදේශය හා සඞ්ඛාරයෝ ද කම්මවට්ට නමි. උපපත්ති භව සඞ්ඛ්‍යාත වූ භව එකදේශය හා සෙසු විඤ්ඤාණ, නාම රූප, සළායතන, ඵස්ස, වෙදනා, ජාති, ජරා, මරණයෝද විපාකවට්ට නම්. මෙසේ වට්ට තුනෙක් වෙති.
10. අවිජ්ජා, තණ්හා වශයෙන් මුල් දෙකක්ද දත යුතුය.
11. ඒ මූලයන් නිරුද්ධ කිරීමෙන්ම වට්ටය නිරුද්ධ වෙයි. ජරා මරණ මූර්ඡායෙන් නිතර පෙළෙන සත්ත්ව සන්තානයෙහි ආශ්‍රව ධර්මයන් උපදනා බැවින් අවිද්‍යාවද පවතී මෙසේ කියනලද නයින් අතර නොසිඳී පවත්නා මුල් කොනක් නැති ත්‍රෛභූමික වෘත්තය මහා මුනීන්ද්රයන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාද යයි පනවා වදාළ සේක.
12. හේතුප්‍රත්‍යය, ආරම්මණ ප්‍රත්‍යය, අධිපති ප්‍රත්‍යය, අනන්තර ප්‍රත්‍යය, සමනන්තර ප්‍රත්‍යය, සහජාත ප්‍රත්‍යය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය, නිස්සය ප්‍රත්‍යය, උපනිස්සය ප්‍රත්‍යය, පුරෙජාත ප්‍රත්‍යය, පච්ඡාජාත ප්‍රත්‍යය, ආසේවන ප්‍රත්‍යය, කර්ම ප්‍රත්‍යය, විපාක ප්‍රත්‍යය, ආහාර ප්‍රත්‍යය, ඉන්ද්රිය ප්‍රත්‍යය, ධ්‍යාන ප්‍රත්‍යය, මාර්ග ප්‍රත්‍යය, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය, විප්‍රයුක්ත ප්‍රත්‍යය, අත්ථි ප්‍රත්‍යය, නත්ථි ප්‍රත්‍යය, විගතප්රත්යය, අවිගත ප්‍රත්‍යයයි යන මෙය පට්ඨාන නය වෙයි.
13. නාමය නාමයට ෂට් ප්රකාරයකින්ද, නාමය නාමරූපයන්ට පඤ්චප්රකාරයකින්ද, නැවත රූපයට එක් ප්රකාරයකින්ද, රූපය නාමයට එක් ප්රකාරයකින්ද, ප්රඥප්ති නාම රූපයෝ නාමයට ද්විප්රකාරයකින්ද නාම රූපද්වයය නාම රූප ද්වයයට නව ප්රකාරයකින්ද, උපකාර වෙයි මෙසේ ප්‍රත්‍යයෝ ෂට්ප්රකාර වෙත්. කෙසේද?
14. අනතුරුව නිරුද්ධ වූ චිත්ත චෛතසික ධර්මයෝ ප්‍රත්‍යුත්පන්න චිත්ත චෛතසික ධර්මයන්ට අනන්තර, සමනන්තර, නත්ථි, විගත වශයෙන්ද, පූර්වයෙහි උපන් ජවනයෝ පසුව උපදනා ජවනයන්ට ආසේවන වශයෙන්ද සහජාත වූ චිත්ත චෛතසික ධර්මයෝ ඔවුනොවුන්ට සම්ප්‍රයුක්ත වශයෙන් දැයි නාමය නාමයට ෂට් ආකාරයකින් ප්‍රත්‍යය වෙයි.
15. හෙතු ධ්‍යානාඞ්ග මාර්‍ගාඞ්ගයෝ සහජාතවූ නාම රූපයන්ට හෙතු ආදි වශයෙන්ද සහජාත චෙතනාව සහජාත නාමරූපයන්ටත් නානාක්ෂණික චෙතනාව කර්මයෙන් හටගන්නා නාමරූපයන්ටත් කර්ම වශයෙන්ද, විපාක නාමස්කන්‍ධයෝ ඔවුනොවුන්ටත් සහජාත රූපයන්ටත් විපාකවශයෙන්ද උපකාර වෙත්. මෙසේ නාමය නාමරූපයන්ට පඤ්චප්රකාරයකින් උපකාර වෙයි.
16. පසුව උපදනා චිත්තචෛතසික ධර්මයෝ පූර්වයෙහි උපදනා මේ කයට පච්ඡාජාත වශයෙන් උපකාර වෙත්. මෙසේ නාමය එක් ප්‍රකාරයකින් රූපයට උපකාර වෙයි.
17. ෂට් වස්තුහු ප්රවෘත්ති කාලයෙහි සප්තවිඤ්ඤාණ ධාතුන්ටත් පඤ්චාරම්මණයෝ පඤ්චවිඤ්ඤාණ වීථියටත් පුරේජාත වශයෙන් උපකාර වෙත් මෙසේ රූපය නාමයට එක් ප්‍රකාරයකින් උපකාරවෙයි.
18. ආරම්මණ වශයෙන්ද උපනිස්සය වශයෙන්දැයි දෙයාකාරයෙන් ප්රඥප්ති නාම රූපයෝ නාමයටම ප්‍රත්‍යය වෙත්.
19. එහි ආරම්මණ ප්‍රත්‍යය රූපාදි වශයෙන් ෂට්විධ වෙයි.
20. උපනිශ්‍රය ප්‍රත්‍යය වනාහි ආරම්මණූපනිස්සය අනන්තරූපනිස්සය පකතූපනිස්සය යයි ත්‍රිවිධ වෙයි.
21. ඔවුන් අතුරෙන් ගරුකොට සලකන ලද අරමුණම ආරම්මණුපනිස්සය නම් වේ.
22. අනතුරුව නිරුද්ධවූ චිත්ත චෛතසික ධර්මයෝ අනන්තරූපනිස්සය නම් වේ.
23. රාගාදී අකුසල ධර්මද, ශ්‍රද්ධාදී කුසල ධර්මද, සුඛයද, දුක්ඛයද, පුද්ගලයාද, භොජනයද, ඍතුවද, සෙනසුනද, සුදුසු පරිද්දෙන් අද්ධ්‍යාත්ම සන්තානයෙහිත්, බාහිර සන්තානයෙහිත් කුසලාදි ධර්මයන්ටද, කර්මය, විපාකයන්ටද උපකාරවෙයි. මෙසේ පකතුපනිස්සය ප්‍රත්‍යය බොහෝ ප්‍රභේද ඇත්තේ වෙයි.
24. අධිපති, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය, ආහාර ඉන්ද්රිය, විප්පයුත්ත, අත්ථි, අවිගත වශයෙන් සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යය ශක්ති නවයෙකින් නාමරූපයෝ නාමරූපයන්ට ප්‍රත්‍යය වෙත්.
25. එහි ගරුකොට සලකනලද අරමුණු ආරම්මණාධිපති වශයෙන් නාමයන්ටද, චතුර්විධවූද සහජාතාධිපති තෙම සහජාත වශයෙන් සහජාත නාමරූපයන්ට දැයි මෙසේ අධිපතිප්‍රත්‍යය ද්විධ වෙයි.
26. චිත්ත චෛතසික ධර්මයෝ ඔවුනොවුන්ටද, සහජාත රූපයන්ටද, මහා භූතයෝ ඔවුනොවුන්ටද, උපාදාරූපයන්ටද, ප්රතිසන්ධික්ෂණයෙහි හදයවස්තුවත් විපාක නාමස්කන්ධයෝත් ඔවුනොවුන්ටද උපකාර වෙත්. මෙසේ සහජාත ප්‍රත්‍යය ත්‍රිවිධ වෙයි.
27. චිත්ත චෛතසික ධර්මයෝ ඔවුනොවුන්ටද, මහා භූතයෝ ඔවුනොවුන්ටද, ප්රතිසන්ධික්ෂණයෙහි හෘදයවස්තු විපාකයෝ ඔවුනොවුන්ටද උපකාර වෙත්. මෙසේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ත්‍රිවිධ වෙයි.
28. චිත්ත චෛතසික ධර්මයන් ඔවුනොවුන්ටද, සහජාතරූපයන්ටද, මහාභූතයෝ ඔවුනොවුන්ටද, උපාදාරූපයන්ටද, ෂට්වස්තුහු ෂට්විඤ්ඤාණධාතුන්ටද උපකාර වෙත්. මෙසේ නිස්සය ප්‍රත්‍යය ත්රිවිධවෙයි.
29. කබලීකාරාහාරය මේ කයටද අරූපී ආහාරයෝ සහජාත නාමරූපයන්ටදැ යි මෙසේ ආහාර ප්‍රත්‍යය දෙයාකාරයෙන් උපකාර වෙයි.
30. පඤ්චප්‍රසාද රූපයෝ පඤ්චවිඤ්ඤාණ ධාතුන්ටද රූපජීවිතින්ද්රියය උපාදින්න රූපයන්ටද අරූපි ඉන්ද්රියයෝ සහජාත නාමරූපයන්ටද උපකාර වෙත්. මෙසේ ඉන්ද්රිය ප්‍රත්‍යය ත්‍රිවිධ වෙත්.
31. ප්රතිසන්ධික්ෂණයෙහි හදය වස්තුව විපාක ස්කන්ධයන්ට ද, චිත්තචෛතසික ධර්මයෝ සහජාත රූපයන්ට සහජාත වශයෙන් ද, පසුව උපදනා චිත්තචෛතසික ධර්මයෝ පූර්වයෙහි හටගත් මේ රූපකයට පච්ඡාජාත විප්‍රයුක්ත වශයෙන් ද, ෂට්වස්තුහු ප්‍රවෘත්තිකාලයෙහි සප්ත විඤ්ඤාණධාතුන්ට පුරෙජාත විප්‍රයුක්ත වශයෙන් ද උපකාර වෙත්. මෙසේ විප්‍රයුක්ත ප්‍රත්‍යය ත්‍රිවිධ වෙයි.
32. සියලු ආකාරයෙන් සහජාතයද, පුරෙජාතයද, පච්ඡාජාතයද, කබලීකාරාහාරයද, රූපජීවිතින්ද්රියය ද යන මේ පඤ්චවිධවූ ප්‍රත්‍යය ජාතය අත්ථිප්රත්යයද වෙයි අවිගත ප්‍රත්‍යයද වෙයි.
33. ආරම්මණ, උපනිශ්‍රය කර්ම අත්ථි ප්‍රත්‍යයන්හි සියලු ප්‍රත්‍යයයෝ සමොධානයට හෙවත් සංග්‍රහයට යෙත්.
34. එහි සියලු තන්හි සහජාත රූපයන් ප්රවෘත්ති කාලයෙහි චිත්තජරූපයන්ගේ වශයෙන් ද, ප්රතිසන්ධි කාලයෙහි කර්මජ රූපයන්ගේ වශයෙන් ද දෙවැදෑරුම් වේයයි දතයුතු.
35. මෙසේ ලැබෙන පරිද්දෙන් ත්රෛකාලිකවූ ද, අධ්‍යාත්මවූ ද, බාහිරවූ ද, එසේම සඞ්ඛතවූ ද අසඞ්ඛතවූ ද, ප්රඥප්ති නාම රූපයන්ගේ වශයෙන් තුන් ප්‍රකාරයකින් සිටියාවූ ධර්මයෝ පට්ඨානයෙහි සර්වප්රකාරයෙන් සුවිසි ප්‍රත්‍යයෝ නම් වෙත්.
36. එහි රූපධර්මයෝ රූපස්කන්ධ නම් වේ චිත්ත චෛතසික සඞ්ඛ්‍යාත සතර නාමස්කන්ධ හා නිර්වාණයද යන පඤ්චවිධ ධර්මයෝ අරූප යයිද නාමයයිද කියනු ලැබේ.
37. එයින් අවශේෂවූ ප්රඥප්තිය වනාහි පණවනු ලබන ප්රඥප්තියයි ද පණවන ප්රඥප්තියයි ද ද්විධ වේ.
38. කෙසේ ද? ඒ ඒ මහාභූතයන්ගේ විපරිණාමාකාරය නිසා ඒ ඒ ආකාරයෙන් සම්මත කරණ ලද්දාවූ භූමි පර්වතාදි ප්රඥප්තියද, දැව ආදි සම්භාරයන්ගේ එක්රැස් පැවතීම් ආකාරය නිසා ඒ ඒ ආකාරයෙන් සම්මත කරණ ලද ගෘහ රථ සකටාදි ප්රඥප්තියද, ස්කන්‍ධපඤ්චකය නිසා සම්මත කරන ලද පුරුෂ පුද්ගලාදි ප්රඥප්තියද සඳ හිරු නක්ෂත්රාදීන්ගේ පැවැත්ම කරණකොට ගෙන සම්මත කරන ලද දිසා කාල ප්රඥප්තියද, අසමුට්ඨාකාරය නිසා සම්මත කරන ලද කූප ගුහාදී ප්රඥප්තියද, ඒ ඒ භූතාදීවූ නිමිතිද, භාවනා විශේෂ නිසා සම්මත කරණ ලද කසිණ නිමිති ආදි ප්රඥප්තියද මෙසේ මේ ආදි පරමාර්‍ත්‍ථ වශයෙන් අවිද්‍යමාන වූද එහි ඡායාකාරයෙන් චිත්තචෛතසිකයන්ට අරමුණු වූවාහු, ඒ ඒ වස්තුව නිසා ඒ ඒ ආකාරයෙන් කල්පනා කරණ ලදුව කියනු ලැබේ. ප්‍රකාරයෙන් දන්නා ලැබේ. ව්‍යවහාර කරනු ලැබේ. ප්රඥප්ති යයිද කියනු ලැබේ. මේ ප්රඥප්තිය පණවනු ලබන අත්ථ ප්රඥප්ති නම්.
39. පණවන ලද හෙයින් ප්රඥප්තිය වනාහි නාමනාම කර්මාදි නාමයෙන් දක්වන ලදි. එය විද්‍යමාන ප්රඥප්තිය, අවිද්‍යමාන ප්රඥප්තිය, විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්රඥප්තිය, අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්රඥප්තිය, විද්‍යමානයෙන් විද්‍යමාන ප්රඥප්තිය, අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්රඥප්තිය යයි ෂඩ්විධ වේ.
40. එයින් යම් කලෙක පරමාර්‍ත්‍ථ වශයෙන් විද්‍යමාන වූ රූපවේදනාදිය මෙය කරණ කොට ගෙන පණවත්ද එකල්හි එය විද්‍යමාන ප්රඥප්තියයිද, යම් කලෙක පරමාර්‍ත්‍ථ වශයෙන් අවිද්‍යමාන වූ භුම්පර්වතාදිය මෙය කරණ කොට ගෙන පණවත්ද එකල්හි අවිද්‍යමාන ප්රඥප්තියයි කියනු ලැබේ. ඒ දෙක මිශ්‍ර කිරීම් වශයෙන් සෙසු ප්‍රඥප්තීහු පිළිවෙලින් ඡළභිඤ්ඤ, ස්ත්‍රී ශබ්දය, චක්ඛුවිඤ්ඤාණය, රාජ පුත්රයයිද දතයුත්තාහ.
41. වාග් ශබ්දයාගේ අනුසාරයෙන් සොතවිඤ්ඤාණවීථි ආදින්ගේ පැවැත්මට අනතුරුව උපදනා මනොද්වාර වීථියට අරමුණුවූ යම් නාම ප්රඥප්තියක් අනුගමනය කිරීමෙන් එයට පසුව දැනගනු ලැබෙත් ද, ඒ නාම ප්රඥප්ති ලෝක සංඞ්ඛෙතයෙන් නිර්මිතවී යයි දත යුත්තීය.
මෙය අභිධර්මාර්ථ සංග්රහයෙහි ප්‍රත්‍යය සංග්‍රහ විභාග නම් වූ අෂ්ටම පරිච්ඡේද යයි