ආයතනයන්ගේ වශයෙන්
ධම්මානුපස්සනාව
චක්ඛායතන, සොතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන යන අධ්‍යාත්මිකවූ ෂඩායතන ධර්මයන් හා රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ඨබ්බායතන, ධම්මායතන යන බාහිරවූ ෂඩායතන ධර්මයන් අරමුණු කොට විදර්ශනා වඩන්නාවූ යොගාවචර තෙමේ චක්ඛු ආදී වූ ඒ ඒ ආයතනයන් යථා ස්වභාව වශයෙන් ද ඔවුනොවුන්ට විෂයවූ ආයතනයන්ගේ එක්වීම හේතුකොට ගෙන උපදනා කාම රාග පටිඝාදී දසවිධ සංයෝජනයන්ද, ඒ සංයෝජනයන්ගේ ප්රභාණ ක්රමයද සොවන් ආදී මාර්ගවලට පැමිණ සංයෝජනයන්ගේ අනුත්පාද නිරෝධය වන සැටිද මනා නුවණින් බලා වාසය කරන්නේය.
චක්ඛායතනය හා රූපායතනය - චක්ඛායතනය වනාහි සම විසම තැන කියා දෙන්නෙකු මෙන් හඟවන්නා වූද ඉතා දුරවූ රූපාදී අරමුණු ගන්නාවූද චක්ෂුප්රසාද රූපය යයි යථාස්වභාව වශයෙන් දන්නේය. රූපය වනාහි විකාරයට පැමිණීම ස්වභාව කොට ඇති චක්ෂුසට ගොචරවූ රූපය බවද දන්නේය. ඒ චක්ඛු රූප දෙදෙනාගේ එක්වීම හේතු කොට ගෙන ඉෂ්ටාරම්මණවූ රූපයෙහි ලෝභ උපදවා කාමාස්වාද වශයෙන් ආස්වාද කරන්නාහට කාමරාග සංයෝජනය උපදනා බවද, අනිෂ්ටාරම්මණයෙහි නොසතුටුව සිත ගැටීමෙන් කිපෙන්නා හට පටිඝ සංයෝජනය උපදනා බවද, මා හැර අන් කවරෙක් මේ රූපාරම්මණය වඩන්නට සමර්ත්ථ වන්නේදැයි සිතන්නාහට මාන සංයෝජනය උපදනා බවද, රූපාරම්මණය නිත්‍ය, සුභ, සුඛ, ආත්ම වශයෙන් ගන්නාහට දිට්ඨි සංයෝජනය උපදනා බවද, රූපාරම්මණය සත්ත්වයෙක් හෝ වේද සත්ත්වයෙකුට අයත් හෝ වේදැයි සැක ඇති වන්නාහට විචිකිච්ඡා සංයෝජනය උපදනා බවද, මතු භවයන්හිදී මේ රූප දර්ශනයම පැතීමෙන් භවරාග සංයෝජනය උපදනා බවද, රූප දර්ශන ලාභය සඳහා සීල ව්‍රත සමාදානයෙහි යෙදෙන්නාහට සීලබ්බත පරාමාස සංයෝජනය උපදනා බවද, රූප සංදර්ශනය අනිකෙක් නොලදහොත් ඉතා යෙහෙකැයි සිතා ඊර්ෂ්‍යා කරන්නාහට ඉස්සා සංයෝජනය උපදනා බවද, තමා විසින් දර්ශනයෙහි ආස්වාද ලත් රූපාරම්මණය අනිකක් හට දර්ශනයට අවකාශ නොදී මසුරු කරන්නාහට මච්ඡරිය සංයෝජනය උපදනා බවද, සහජාත අඥාන භාවය නිසා අවිජ්ජා සංයෝජනය උපදනා බවද, නුවණින් දැනගෙන වාසය කරන්නේය. එසේම හට ගත්තා වූ සංයෝජනයන්ගේ තදඞ්ග විෂ්කම්භන වශයෙන් ප්රහාණය වන සැටිත් සෝවාන් ආදී මාර්ග ඥානයෙන් නැවත නූපදනා පරිදි ප්රහාණය කළහැකි බවත් දැන වාසය කරන්නා වූ යෝගාවචර තෙමේ ක්‍රමයෙන් රහත් ඵලයට පැමිණෙන්නේය.
ශ්‍රෝතායතන, සද්දායතන යනාදීන්හිද මේ ක්රමයම බව දතයුතු. අධ්‍යාත්ම සන්තානය පිළිබඳවූද, බාහිර සන්තානය පිළිබඳවූ ද අධ්‍යාත්ම බාහිර සන්තානයන් පිළිබඳවූ ද ආයතනයන්ගේ වශයෙන් අනුපස්සනාව පෙරකී නයින් දතයුතු.