ධම්මානුපස්සනාව
රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන පඤ්චුපාදානස්කන්ධයන් අරමුණු කොට විදර්ශනා වඩන්නාවූ යෝගාවචර තෙමේ ඒ රූපාදී ස්කන්ධයන් හා ඒ ස්කන්ධයන්ගේ හටගැනීමත්, ඒ ස්කන්ධයන්ගේ අස්තංගමයත් මෙනෙහි කරමින් වාසය කරන්නේය.
රූපුපාදානස්කන්ධය වනාහි අතීතානාගත පච්චුප්පන්න ආදි එකොළොස් තන්හි සිටි භූතොපාදාය භෙදයෙන් අටවිසි වැදෑරුම් රූපයෝ යයිද, ඒ රූපයාගේ විද්‍යමාන ස්වභාවයද දැනගන්නේය. එසේම අවිද්‍යාදී ප්‍රත්‍යය කරණකොට ගෙන රූපයාගේ හටගැනීම වන බවත් අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් රූපයාගේ අස්තංගමය වන බවත් දැන වාසය කරන්නේය.
වෙදනුපාදානස්කන්ධය වනාහි අතීතානාගත පච්චුප්පන්න ආදී එකොළොස් තන්හි සිටි රූපයන් නිසා පවත්නා සුඛ දුක්ඛ උපෙක්ඛා යයි කියන ලද වෙදනාත්රය වන්නේය. එසේම අවිද්‍යාදී ප්‍රත්‍ය කරණකොට ගෙන වෙදනාවගේ හටගැනීම වන බවත් අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් වෙදනාවගේ නිරෝධය වන බවත් දැන වාසය කරන්නේය.
සඤ්ඤුපාදානස්කන්ධය වනාහි එකොළොස් තන්හි සිටි සංඥාවයයිද, අවිද්‍යාදී ප්‍රත්‍ය කරණකොට ගෙන සංඥාවගේ හට ගැනීම වන බවද, අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් සංඥා නිරෝධය වන බවද දැන වාසය කරන්නේය.
සංඛාරූපාදානස්කන්ධය වනාහි එකොළොස් තන්හි සිටි කුසලාදී නොයෙක් ප්‍රභේද ඇති චේතනාදිවූ සංස්කාර ධර්මයන් යයිද, අවිද්‍යාදි ප්‍රත්‍යයන් කරණකොට ගෙන සංස්කාරයන්ගේ හට ගැනීම වන බවද අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වන බවද දැන වාසය කරන්නේය.
විඤ්ඤාණුපාදානස්කන්ධය වනාහි එකොළොස් තන්හි පිහිටි චක්ඛුවිඤ්ඤාණාදි නොයෙක් ප්‍රභේද ඇති විඤ්ඤාණයෝයයිද, අවිද්‍යාදි ප්‍රත්‍ය කරණකොට ගෙන විඤ්ඤාණයාගේ හටගැනීම වන බවද, අවිද්‍යා නිරෝධයෙන් විඤ්ඤාණයාගේ නිරෝධය වන බවද දැන වාසය කරන්නේය.
මෙසේ අධ්‍යාත්ම සන්තාන වශයෙන්ද, බාහිර සන්තාන වශයෙන්ද, අධ්‍යාත්ම හා බාහිර සන්තාන වශයෙන්ද පවත්නා රූපාදීවූ පඤ්චුපාදානස්කන්ධයන්, උපාදානස්කන්ධයන් අනුව බලමින් වාසය කරන්නේ ඥානයාගේ වැඩීම කරණකොට ගෙන රහත් ඵලයටද පැමිණෙන්නේය.