අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නීවරණයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව

මෙහිදී භාවනාවට අරමුණුවන්නාවූ නීවරණ ධර්ම පසෙකි. එනම්:

  1. කාමච්ඡන්‍ද නීවරණය
  2. ව්‍යාපාද නීවරණය
  3. ථිනමිද්ධ නීවරණය
  4. උද්ධච්ච කුක්කුච්ච නීවරණය
  5. විචිකිච්ඡා නීවරණය

කාමච්ඡන්‍ද නීවරණ මනසිකාරය - කාමච්ඡන්‍දාදි නීවරණ ධර්මයන් පිළිබඳ විස්තරය අකුසල සංග්‍රහයේදී දක්වන ලදී. මෙහිදී ඒ නීවරණ ධර්මයන් අරමුණුකොට භාවනා කරන පිළිවෙල පමණක් දක්වනු ලැබේ.

ධම්මානුපස්සනා වශයෙන් භාවනා වඩන්නාවූ යොගාවචර තෙමේ පළමුකොට තම සන්තානයෙහි අභිණ්හ සමුදාචාර වශයෙන් හෙවත් විටින් විට ඇසිරීම් පැවතීම් වශයෙන් කාමච්ඡන්‍දය පවත්නේදැයි බලා දැනගනී. එසේම තම සතන්හි නොපැවතීම් වශයෙන් හෝ පහව ගිය බැවින් අවිද්‍යමානවූ හෝ කාමච්ඡන්‍දය වේ නම් එය ද දනී.

සුභනිමිත්තෙහි අයොනිසොමනසිකාරය කරණකොට ගෙන කාමච්ඡන්‍දයාගේ ඉපදීම වන්නේය. මෙහි කාමච්ඡන්‍දයත් සුභාරම්මණයත් යන දෙකම සුභනිමිත්ත වේ. උපාය රහිතවූ මනස්කාරයද, අනිත්‍යයෙහි නිත්‍ය කියා හෝ දුකෙහි සුඛය කියා හෝ අනාත්මයෙහි ආත්මය කියා හෝ අසුභයෙහි සුභය කියා හෝ මෙනෙහි කිරීම අයොනිසො මනසිකාරය නම් වේ. ඒ සුභ නිමිත්තයෙහි බොහෝ සේ සිත පවත්වන යොගාවචරයාහට කාමච්ඡන්‍දය උපදී. එසේම උපන් කාමච්ඡන්‍දයාගේ නැවත නැවත වැඩීම පිණිස විපුලත්‍වය පිණිසද පවති.

අසුභ නිමිත්තයෙහි යොනිසො මනස්කාරයෙන් ඒ කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය හෙවත් පැහීම වේ. මෙහි අසුභයත්, අසුභාලම්බණයත් යන දෙකම අසුභ නිමිති වේ. උපායමනස්කාරයත්, අනිත්‍යයෙහි අනිත්‍යය කියා හෝ දුක්ඛයෙහි දුකය කියා හෝ, අනාත්මයෙහි අනාත්මය කියා හෝ අසුභයෙහි අසුභය කියා හෝ මෙනෙහි කිරීම යොනිසො මනසිකාරය නම් වේ. ඒ අසුභ නිමිත්තයෙහි බොහෝ සේ පවත්වන යොගාවචරයා හට කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ එසේම නූපන් කාමච්ඡන්‍දයාගේ නොඉපදීම පිණිසද පවත්නේය.

එසේම අසුභාලම්බනය ඉගෙණීමය, අසුභ භාවනායෙහි නියුක්තවීමය, චක්‍ෂුරාදී ෂඩෙන්ද්‍රියයන්හි පියනලද දොර ඇතිබවය, භොජනයෙහි ප්‍රත්‍යවේක්‍ෂණ මාත්‍රත්‍වාදී ඥාන ඇති බවය, කල්‍යාණ මිත්‍රයන් ඇති බවය, සප්‍රාය කථා ඇති බවය යන මේ ෂඩකාරණයෝ කාමච්ඡන්‍දයාගේ පැහීම පිණිස පවතිත්.

මේ ෂඩ්විධ ධර්‍මයන් හේතුකොට ගෙන ප්‍රහීනවූ කාමච්ඡන්‍දයාගේ මත්තෙහි නො ඉපදීම රහත් මග හේතු කොට ගෙන වේ යයිද හෙතෙමේ දනී.

ව්‍යාපාද නිවරණය - පටිඝ නිමිත්තයෙහි අයොනිසොමනස්කාරය කරණකොටගෙන ව්‍යාපාදයාගේ ඉපදීම වේ මෙහි පටිඝය යයි කියන ලද වෙෂයත්, පටිඝයට කාරණවූ ආලම්බනයත් යන දෙකම පටිඝ නිමිත්ත නම් ප්‍රතිඝ නිමිත්තයෙහි අයොනිසො මනසිකාරය බොහෝසේ පුරුදු කිරීම නූපන් ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසද, උපන් ව්‍යාපාදයාගේ නැවත වැඩීම පිණිසද, විපුලත්‍වය පිණිසද පවතී.

මෛත්‍රී සහගත චෙතොවිමුක්ති නම් ලද අර්‍පණා සමා පත්තියෙහි යොනිසොමනස්කාරය බොහෝසේ පුරුදු කිරීම නූපන් ව්‍යාපාදයාගේ නො ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිසත් නැවත නැවත නොවැඩීම පිණිසත්, විපුලත්‍වය නොවන පිණිසත් පවතී. එසේම මෛත්‍රී කර්‍මස්ථානය ඉගෙනීමය, මෛත්‍රී වැඩීමෙහි නැවත නැවත වැර කිරීමය, කර්‍මය තමා අයත් කොට ඇතිබව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමය, පටිසඞ්ඛානඥානය බහුල කොට ඇතිබවය, කල්‍යාණ මිත්‍රයන් ඇතිබවය, සත්ප්‍රාය කථා ඇතිබවය යන මේ ෂඩ්විධ ධර්‍මයෝ ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස පවතිත්.

ඔදිස්සක හෙවත් පුද්ගලාන්තරයක්හු උදෙසා පතුරණ මෛත්‍රිය, අනොදිස්සක හෙවත් සීමා භෙදය කිරීම් වශයෙන් පුද්ගලාන්තරයක්හු නො උදෙසා පතුරණ මෛත්‍රිය යන මොවුන් අතුරෙන් එක්තරා ක්‍රමයක් ඉගෙන ගන්නා යොගාවචරයා හට ව්‍යාපාදය ප්‍රහීණ වේ. ඔදිස්සකභාවය ගරු කටයුත්තෝය, අප්‍රියවත්හුය, යහළුවෝය, මධ්‍යස්ථ වූවෝය යන මොවුන්ගේ වශයෙන් දතයුතු. අනොදිස්සක භාවය සීමා භෙද කිරීම් වශයෙන් නොව හැමදෙනා කෙරෙහි එකස්වරූපවූ මෛත්‍රීභාවනාව වශයෙන් දතයුතු. මෛත්‍රිය ගේ ඉගෙනීමද උපචාර සමාධිය දක්වා දතයුතුයි. උපචාර සමාධිය හිම්කොට උගත් මෛත්‍රියගේ නැවත නැවත සෙව්නා බව මෛත්‍රි භාවනාව නමි.

තවද මේ මෛත්‍රී භාවනා තොමෝ ඔද්ධිසො ඵරණ මෙත්තා භාවනාය, අනොධිසො ඵරණ මෙත්තා භාවනාය, දිසා ඵරණ මෙත්තා භාවනාය කියා ත්‍රිවිධ වේ. ඔවුනුතුරෙන් සියලු සත්ත්‍වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ යන මොවුන් ගේ වශයෙන් පඤ්චවිධ වූ හෝ, සත්ත්‍වවාදී වූ එකක් එකක් හු කෙරෙහි අවේරා හොන්තු, අබ්‍යාපජ්ඣා හොන්තු, අතීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු, යන සතර පරිද්දෙකින් පවත්නා වශයෙන් විංශති විධවූ හෝ මෛත්‍රී භාවනා තොමෝ අනොධිසො ඵරණ මෙත්තා භාවනා නමි. සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ. සියලු ආර්‍ය්‍යයෝ, සියලු අනාර්‍ය්‍යයෝ, සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝය යන සත්ත්‍ව සීමා කිරීම් වශයෙන් පැවති හෙයින් සප්තවිධවූ හෝ සප්තවිධ ස්ත්‍රීපුරුෂාදීන් විෂයෙහි අවේරාහොන්තු යනාදි සතරාකාරයෙන් ගුණිතව අටවිසි වැදෑරුම් වූ හෝ මෛත්‍රී භාවනා තොමෝ ඔදිසො ඵරණ මෙත්තා භාවනා නමි. දසදිසාවන් කරණකොටගෙන දිසාවන් සීමාකිරීම් වශයෙන් පැවති දසවිධ වූ මෛත්‍රී භාවනා තොමෝ දිසාඵරණ මෙත්තා භාවනා නමි. එක් එක් දික්හි සත්ත්‍වාදි යෝගයෙන් හා අවේරාදි යෝගයෙන් විස්සෙක, ස්ත්‍රී පුරුෂාදී යෝගයෙන් හා අවේරාදියෝගයෙන් අටවිස්සෙකැයි එකතු කළ කල්හි අටසාළිසක් (48) ලැබෙයි. මෙසේ දසදිසාවන්ගේ වශයෙන් සාරසිය අසූවක් (480) ක්වූ මෛත්‍රී භාවනා තොමෝ අනොදිසාඵරණ ඔදිසො ඵරණ මෙත්තා භාවනා නමි.

ථිනමිද්ධ නිවරණය - අරති හෙවත් උකටලී බවත්, තන්‍දි හෙවත් ශරීරයාගේ මැලී බවත්, විජම්භිතා හෙවත් ශරීරය විවිධාකාරයෙන් නැමුණු බවත්, භත්තසම්මදො හෙවත් බත් බුදීම් හේතුකොට ගෙන මුසපත්වීමත්, චෙතසො ලීනත්තා හෙවත් චිත්තයාගේ හැකිළුණු බවත් යන ආදීන්හි අයෝනිසෝමනසිකාරය බොහෝ සේ පුරුදු කිරීම නූපන් ථීනමිද්ධයාගේ ඉපදීම පිණිසත්, උපන් ථීන මිද්ධයාගේ නැවත නැවත වැඩීම පිණිසත් විපුලත්‍වය පිණිසත් පවතී.

ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු යනාදීන් හි යෝනිසෝ මනසිකාරය හේතුකොට ගෙන ථීනමිද්ධයා ගේ ප්‍රහාණය වේ. ඒ ධාතුත්‍රය අතුරෙන් පළමු වෙන් ඇරඹූ වීර්‍ය්‍යය ආරම්භ ධාතු නමි කුසිත භාවයෙන් නික්මගිය බැවින් ඒ ආරම්භ ධාතුවට වඩා අතිශයින් බලවත්වූ වීර්‍ය්‍යය නික්කම ධාතු නමි. මතු මත්තෙහි කුසිත බව මඬණා හෙයින් නික්කම ධාතුවට වඩා අතිශයින් බලවත්වූ වීර්‍ය්‍යය පරක්කම ධාතු නමි. ආරම්භ ධාතු ආදීන්හි යෝනිසෝමනසිකාරය බොහෝසේ පුරුදු කිරීම නූපන් ථීනමිද්ධයාගේ නො ඉපදීම පිණිසද, උපන් ථීනමිද්ධයාගේ නැවත නැවත නොවැඩීම පිණිසද, විපුලත්‍වය නොවන පිණිසද පවතී.

තවද, අධික භෝජනයෙහි ථීනමිද්ධයාගේ නිමිති ගැන්මය හෙවත් මෙතෙක් භෝජනය වැළඳු කල්හි ථීනමිද්ධයට කරුණු වෙයි, මෙතෙක් භෝජනය වැළඳු කල්හි ථීනමිද්ධයට කරුණු නොවෙයි කියා ථීනමිද්ධයාගේ කාරණය හා අකාරණය වටහා ගැනීමය, ඉරියව් මනා කොට පිරිවටන බවය හෙවත් යම් ඉරියව්වෙක්හි ථීන මිද්ධය බැසගනීද, ඒ ඉරියව්වෙන් අනික් ඉරියව්වක් ගැනීමය, ආලෝක සංඥාවගේ මෙනෙහි කිරීම හෙවත් රාත්‍රි කාලයෙහි සඳඑලි, පහන් එළි, පන්දම් එලි, දහවල සූර්‍ය්‍යාලෝකය මෙනෙහි කිරීමය, අභ්‍යවකාශයෙහි හෙවත් එලිමහනෙහි විසීමය, පහවූ ථීනමිද්ධය ඇති කල්‍යාණ මිතුරන් ඇතිබවය, සප්පාය කථා ඇති බවය හෙවත් සිටීම්, හිඳීම් ආදි ඉරියව් වැටුම්හි හා ධුතාඞ්ගාශ්‍රිත කොට පැවති සත්ප්‍රාය කථා ඇති බවය යනාදී ෂඩ්විධ ධර්‍මයන් කරන කොට ගෙන ථීන මිද්ධයාගේ ප්‍රහාණය වේ. ථීන මිද්ධයාගේ මත්තෙහි නො ඉපදීම රහත් මගින්ම සිදුවේ.

උද්ධච්චකුක්කුච්ච නීවරණය - චිත්තයාගේ නොසන්සුන් බැව්හි අයොනිසොමනසිකාරය බොහෝසේ පුරුදු කිරීම නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම පිණිසද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නැවත නැවත වැඩීම පිණිසද විපුලත්‍වය පිණිසද පවතී. සමාධි නම් ලද චිත්තයාගේ සන්සුන් බව ඇති කල්හි හෙවත් සිත්හුගේ සන්සුන් බැව්හි යොනිසොමනසිකාරය හේතුකොට ගෙන නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ නොඉපදීමත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නැවත නැවත නොවැඩීමත් විපුලත්‍වයට නොපැමිණීමත් සිදුවන්නේය.

තවද, බහුශ්‍රැතත්‍වය හෙවත් එක් නිකායක් හෝ දෙනිකායක් හෝ තුන් නිකායක් හෝ සතර නිකායක් හෝ පස් නිකායම හෝ පෙළ හැදෑරීම වශයෙන් හා අර්‍ත්‍ථ ඇස්වීම් වශයෙන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවය, පරිප්‍රශ්නකත්‍වය හෙවත් කැප අකැප පිළිවිසීම් බහුල කොට ඇති බවය, විනය ප්‍රඥප්තියෙහි පුරුදු පුහුණු කිරීමෙන් තතු දැනුම් ඇති බවය, ශීලාදි ගුණයෙන් වැඩි සිටි මහළු තෙරුන් සෙව්නා ලද බවය, විනයධර කල්‍යාණ මිත්‍රයන් සෙව්නා බවය, සිටීම් හිඳීම් ආදි ඉරියව් වැටුම්හි කැප අකැපවත් පිළිබඳ කොට පැවති සත්ප්‍රාය කථා ඇති බවය යන ෂඩ්විධ කරුණු හේතුකොට ගෙන උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය වන්නේය. එයින් උද්ධච්චයාගේ ප්‍රහාණය රහත් මගින්ද, කුක්කුච්චයාගේ ප්‍රහාණය හෙවත් මත්තෙහි නොඉපදීම අනාගාමි මගින්ද සිදුවේ.

විචිකිච්ඡා නීවරණය - විචිකිච්ඡාවට ප්‍රවෘත්ති ස්ථානවූ ධර්මයන්හි අයෝනිසෝමනසිකාරය බොහෝ සේ පුරුදු කිරීම නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම පිණිසද උපන් විචිකිච්ඡාවගේ නැවත නැවත වැඩීම පිණිසද, විපුලත්‍වය පිණිසද පවතී.

කුසලාකුසල ධර්ම, සාවද්‍ය නිරවද්‍ය ධර්ම, සෙවිය යුතු නොසෙවිය යුතුවූ ධර්ම හීන ප්‍රණිතවූ ධර්ම කළු සුදු බඳුවූ පාප පුණ්‍ය ධර්ම යනාදීන්හි යෝනිසෝමනසිකාරය බොහෝ සේ පුරුදු කිරීම, නූපන් විචිකිච්ඡාවගේ නොඉපදීම පිණිසත් උපන් විචිකිච්ඡාවගේ නැවත නැවත නොවැඩීම පිණිසත් විපුලත්‍වය නොවන පිණිසත් පවතී.

තවද බහුශ්‍රැතත්‍වය හෙවත් බොහෝ ඇසූ තැන් ඇති බවය, පරි ප්‍රශ්නකත්‍වය හෙවත් තෙරුවන් පිළිබඳ ප්‍රශ්න පිළිවිසීම් ඇති බවය, විනය ප්‍රඥප්තියෙහි පියවි තතු දැනුම් ඇති බවය, තෙරුවන්හි නිශ්චය සඞ්ඛ්‍යාත අධිමෝක්‍ෂය බහුලකොට ඇති බවය හෙවත් ඇදහීම් වශයෙන් රත්නත්‍රය ගුණ සංඞ්ඛ්‍යාත ආලම්බනයට බැසඟන්නා ඔකප්පනීය සද්ධායයි කියන ලද අධිමෝක්‍ෂය බහුල කොට ඇති බවය, ශ්‍රද්ධා අධික කල්‍යාණ මිත්‍රයන් ඇති බවය, තෙරුවන් ගුණ නිශ්‍රිත සත්ප්‍රාය කථා ඇති බවය යන ෂඩ්විධ ධර්මයන් කරණකොට ගෙන විචිකිච්ඡාවගේ ප්‍රහාණය වන්නේය. සෝවාන් මග හේතුකොටගෙන ප්‍රහීණවූ විචිකිච්ඡාවගේ මත්තෙහි නොඉපදීම වන්නේය.

මෙසේ අධ්‍යාත්මයෙහි හෝ පංච නීවරණ ධර්මයන් කෙරෙහි නීවරණ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. පරසන්තානයන් කෙරෙහි පවත්නා නීවරණ ධර්මයන්ද නීවරණ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. කිසි විටෙක තම සන්තානයෙහිද, කිසිවිටෙක පරසන්තානයෙහිද පවත්නා නීවරණ ධර්මයන්, නීවරණ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. එමෙන්ම, නීවරණ ධර්මයන්ගේ උත්පාදයද ප්‍රහාණයද දැන වාසය කරන්නේය.

මෙසේ අනුපස්සනා වශයෙන් දක්නා යෝගාවචරයාගේ ඤාණය වැඩීම කරණකොට ගෙන රහත් ඵලයටද පැමිණෙන්නේය.