1. ප්‍ර‍ත්‍යය කාණ්ඩය

දේව මනුෂ්‍යාදි සත්ත්ව සමූහය හා සියලු වස්තූන් සෑදෙන මූල ධාතු වන සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනස ය, රූප විසි අට ය යන පරමාර්ථ ධර්ම සමූහය ඉහත පරිච්ඡේද සතෙහි නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන ලද්දේ ය. දැන් ඔබ විසින් සෙවිය යුත්තේ ඒ පරමාර්ථ ධර්ම ඉබේ ම ඇති වෙන ඒවා ද? නැතහොත් යම් කිසි බලවතකු විසින් මවනවා ද? ඒවා ඇති වන්නේ කෙසේ ද? යන මේ කාරණය ය.

චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ නොයෙක් හේතූන් ගෙන් හට ගන්නෝ ය. එබැවින් ඒවාට සංස්කෘත ධර්ම යන නාමය ද සංස්කාර යන නාමය ද කියනු ලැබේ. නිර්වාණපරමාර්ථය ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නක් නො වේ. එබැවින් එයට අසඞ්ඛත ධාතුව ය යන නම කියනු ලැබේ.

සංස්කාර ධර්මයන් ඇති කරවන හේතූන්ට ප්‍ර‍ත්‍යය යන නාමය ද කියනු ලැබේ. ආර්‍ය්‍ය සත්‍ය ක්‍ර‍මය ය, ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය ය, ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය ය කියා ක්‍ර‍ම තුනකින් බුදුරජාණන් වහන්සේ විසින් සංස්කාරයන්ගේ උත්පත්ති හේතූන් දේශනය කොට ඇත්තේ ය. එයින් ආර්‍ය්‍ය සත්‍ය ක්‍ර‍මය ඉතා කෙටි ක්‍ර‍මය ය. ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය මධ්‍යම ක්‍ර‍මය ය. ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය විස්තර ක්‍ර‍මය ය.

ආර්‍ය්‍ය සත්‍ය විභාගය සත් වන පරිච්ඡේදයෙහි කියවුණු බැවින් මේ ප්‍ර‍ත්‍යය කාණ්ඩයේ දී විස්තර කරන්නට ඇත්තේ ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය හා ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය ය.

අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නේ ය, සංස්කාර ඇති කල්හි ඒවා නිසා විඤ්ඤාණය හට ගන්නේ ය යනාදීන් ඒ ඒ ධර්මයන් ඇති නිසා තවත් ධර්මයන් හට ගැනීමෙන් සංසාරය නො සිඳී පවත්නා සැටි උගන්වන හේතු ඵල ක්‍ර‍මය ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය ය. එය අභිධර්ම පිටකයේ විභඞ්ග ප්‍ර‍කරණයෙහි දේශනය කොට තිබේ.

ප්‍ර‍ස්ථාන මහා ප්‍ර‍කරණයෙහි දේශනය කොට ඇති හේතු ඵල ක්‍ර‍මය ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය ය. ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයෙහි අවිද්‍යාදිය නිසා සංස්කාරාදීන්ගේ ඇතිවීම පමණක් උගන්වනවා මිස, අවිද්‍යාවෙහි මේ මේ ශක්ති විශේෂ ඇත්තේ ය, ඒ ශක්ති අතුරෙන් අසවල් අසවල් ශක්තිවලින් අසවල් අසවල් ආකාර වලින් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍ර‍ත්‍යය වෙනවා ය නැතහොත් සංස්කාර උපදවනවා ය කියා උගැන්වීමක් නැත්තේ ය. ප්‍ර‍ස්ථානයෙහි වනාහි පරමාර්ථ වූ ද, පරමාර්ථ නො වූ සියලු ම ධර්මවල ඇති ප්‍ර‍ත්‍යය ශක්තීන් හා හේතු ආරම්මණාදි නොයෙක් ශක්තිවලින් ඒ ඒ ධර්ම ඒ ඒ ධර්මයන්ට ප්‍ර‍ත්‍යය යන ආකාරය උගන්වා ඇත්තේ ය. බුද්ධ ධර්‍මය පිළිබඳ අඞ්ග සම්පූර්ණ දැනුමක් ඇතිවන්නේ මේ ක්‍ර‍ම දෙකම උගෙනීමෙනි. මේ ක්‍ර‍ම දෙකින් කෙටි ක්‍ර‍මය ප්‍ර‍තීත්‍ය සමුත්පාදක්‍ර‍මය ය. එබැවින් මෙහි පළමුවෙන් ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය විස්තර කරනු ලැබේ. එය උගන්නා තැනැත්තා හට පළමුවෙන්ම ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනා පාළිය පාඩම් කර ගෙන තිබීම ප්‍රයෝජනවත් ය. එය පාඩම් කර ගන්න. ඒ මෙසේ ය:-