10 වන පාඩම
දුඃඛාර්‍ය්‍ය සත්‍යය, දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය, දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය, දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය කියා ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි.
ඒකාන්තයෙන් ඇති ඒ සැටියට ම වන අන් ආකාරයකින් නො වන දෙය සත්‍ය නම් වේ. සත්‍යය යි කීමෙන් පමණක් නො නවත්වා ආර්‍ය්‍ය යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය්ය සත්‍යය යි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසා ය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍ය වතුදු තවත් ආකාරයකින බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුඃඛාදි සත්‍ය සතරෙහි කවර ආකාරයකින්වත් අසත්‍ය වීමක් නැත. ඒවා එසේ ම ය. කවර ආකාරයකින් වත් වෙනස් නො වන සත්‍යය, සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍යය යන වචනයට මුලින් ආර්‍ය්‍ය යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට ය. උත්තම වූ සත්‍යය ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.
මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්‍ය්‍ය නම් වෙති. ආර්‍ය්‍ය වූ බුදුන් වහන්සේ විසින් දැක ලෝකයට ප්‍රකාශ කරන ලද ඒවා වන බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේ ගේ ය. ආර්‍ය්‍යයන් වහන්සේ ගේ සත්‍යයෝ ය යන අර්ථයෙන් මේවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.
යමකු විසින් මේ සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජන භාවය ඉක්මවා ආර්‍ය්‍ය පුද්ගල භාවයට පැමිණේ. ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්‍ය්‍ය භාවයට පමුණුවන බැවින් ද මේ සත්‍යයන්ට ආර්ය්ය සත්‍යය යි කියනු ලැබේ.
දුඃඛාර්‍ය්‍ය සත්‍යය
ලෞකික සිත් එක් අසූව ය. ලෝභයෙන් අන්‍ය වූ චෛතසික එක් පනස ය, රූප අටවිස්ස ය යන මේ ධර්ම සමූහය දුඃඛ සත්‍යයට අයත් ය.
ඉපදීමේ දුකය, දිරීමේ දුකය, මරණ දුකය, ඤාති ව්‍යසනාදිය නිසා ශෝක කරන්නට - හඬන්නට සිදු වීමේ දුකය. ඥාති ව්‍යසනාදිය නිසා අධිකව සිත වෙහෙසීමේ දුකය, අප්‍රියයන් හා එක් වීමේ දුකය, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුකය, වුවමනා දෑ නැති කමේ දුකය යන මේ සියල්ල ම ඇති වන්නේ ඒ සියල්ලට ම වස්තු වන්නේ දුඃඛ සත්‍යයට අයත් ය කී ධර්ම සමූහය ය. ඒ ධර්ම අතර ජාති - ජරා - මරණ යන මේ තුනෙන් මිදුණ එක ම ධර්මයකුදු නැත. එබැවින් ඒ ධර්ම සමූහය ඒකාන්තයෙන් ම දුක් ය. ඒකාන්තයෙන් දුක් වන නිසා ඒවාට දුඃඛ සත්‍යය යි කියනු ලැබේ.
තව ද දුඃඛ සත්‍යය යි කියන ලද ඒ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කර ගෙන සිටින තැනැත්තා සංස්කාර දුඃඛය - විපරිණාම දුඃඛය - දුඃඛ දුඃඛය යන මේ දුක් තුනෙන් පෙළෙන නිසා ද ඒ ධර්මයෝ ඒකාන්තයෙන් දුක් වෙති.
ඒ දුක් තුනෙන් සංස්කාර දුඃඛය යනු යම් කිසිවක් පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇති වන දුක ය, මිනිස් ලොව මිනිසකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතු ය. පිනක් නැතිව මනුෂ්‍ය පඤ්චස්කන්ධයක් නො ලැබිය හැකි ය. එබැවින් ලබනු කැමති තැනැත්තා විසින් එය සඳහා පින් කළ යුතු ය. පින් කරන්නට වීම මනුෂ්‍ය පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් ඇති වන එක් දුකෙකි. පින් කළේ ද බොහෝ පව් කම් කළ හොත් එය නො ලැබේ. එබැවින් පවින් වැළකිය යුතු ය. පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නො වේ. පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පඤ්චස්කන්ධය ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇති එක් දුකෙකි. මිනිස් ලෙව උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නො වේ. එය නැසෙන්නට නො දී පවත්වා ගැනීමට ආහාර පාන සැපයීමටත් ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතු ය. ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තා වූ දුක ය. ඒ සියල්ල මනුෂ්‍ය පඤ්චස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුඃඛය යි.
විපරිණාම දුඃඛය යනු ඇති වූ සංස්කාරයන් දිරායාමෙන් හා බිඳීයාමෙන් වන දුක ය. මේ මනුෂ්‍ය පඤ්චස්කන්ධය කෙසේ පෝෂණය කළත් දිර දිරා වෙනස් වන්නේ ය. වුවමනා පමණට ආහාරාදිය නො ලැබීමෙන් හෝ වුවමනා පරිදි ප්‍රත්‍යයන් නො ලැබීමෙන් හෝ අන්කිසි අන්තරායකින් හෝ මරණයට පැමිණෙන්නට වීමෙන් එය විනාශ විය හැකිය. ආයුෂය ගෙවීමෙන් කවදා හෝ මරණයට පැමිණ එය සම්පූර්ණයෙන් විනාශ වන්නේ ය. එය කවර බලයකින් වත් නො වැලැක්විය හැකි ය. පඤ්චස්කන්ධය නැසී යා හැකි රෝගාදි කරුණු දුටු කල්හි එය රැක ගැනීමට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නේ ය. විනාශ වීමේ නිමිති දුටු කල්හි මහත් වූ බියක් හා ශෝකයක් ද ඇති වේ. ඒ සියල්ල මනුෂ්‍ය පඤ්චස්කන්ධය පිළිබඳ විපරිණාම දුඃඛ ය.
වරින් වර නොයෙක් කරුණෙන් ශරීරයේ නොයෙක් තැන් වල ඇති වන දුඃඛ වේදනා හා නොයෙක් කරුණෙන් ඇති වන මානසික දුඃඛ වේදනා දුඃඛ දුඃඛ නම් වේ. එක් ජීවිත කාලයකදී එබඳු දුක් බොහෝ ඇති වන්නේ ය. මනුෂ්‍ය පඤ්චස්කන්ධයක් නැති නම් ඒ දුක් එකකුදු ඇති නො වේ. එබැවින් ඒ දුක් සියල්ල ම මනුෂ්‍ය පඤ්චස්කන්ධයෙන් ම ඇති කරන ඒවා බව කිය යුතු ය. අන්‍ය පඤ්චස්කන්ධවලින් ද එසේ ම ඒ ත්‍රිවිධ දුඃඛය ඇති කරනු ලැබේ. ඉහත දුඃඛ සත්‍යයට අයත් යයි කී සංස්කාර සියල්ල ම ත්‍රිවිධ දුඃඛය නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තාට ඇති කර දෙන්නේ ය. එබැවින් ඒ සංස්කාර සමූහය සත්‍ය වූ දුක හෙවත් දුඃඛ සත්‍යය වන්නේ ය.
දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය
දුක් ඇති වීමේ සැබෑ හේතුව දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය නම් වේ. එනම් තණ්හාව ය. මෙහි අදහස් කරන තණ්හාව නම් පඤ්චස්කන්ධය හොඳ දෙයක් සැටියට, සැපය පවත්නා තැනක් සැටියට ගෙන එයට ඇලුම් කරන ස්වභාවය ය. අප්‍රහීණ භාවයෙන් ඒ තණ්හාව පවත්නා තාක් සත්ත්වයා ලැබූ පඤ්චස්කන්ධය පවත්වා ගැනීම සඳහාත් අනාගත පඤ්චස්කන්ධයන් ලබනු සඳහාත් ක්‍රියා කරන්නේ ය. කර්මය යි කියනුයේ ඒවාට ය. සත්ත්වයා කර්ම කරන තාක් ම ඔහුට නැවත නැවත පඤ්චස්කන්ධය ලැබෙන්නේ ය. පඤ්චස්කන්ධය ලැබෙනතාක් සත්ත්වයා කියන ලද දුක් තුනෙන් නො මිදෙන්නේ ය. එබැවින් ඒ තණ්හාව දුක් ඇති කිරීමේ සැබෑ හේතුව වශයෙන් කියනු ලැබේ.
දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය
නිර්වාණය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය නම් වේ. පඤ්චස්කන්ධය යම් තාක් කල් පවතී නම් එතෙක් කියන ලද තුන් ආකාර දුඃඛය ද පවත්නේ ය. තුන් ආකාර දුඃඛය නො පවත්නේ පඤ්චස්කන්ධය නිවී ගිය කල්හි ය. එබැවින් පඤ්චස්කන්ධයාගේ නිරෝධය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.
දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය
ලෝකෝත්තර මාර්ග චිත්තයෙහි ඇති වන සම්මා දිට්ඨි සම්මාසඞ්කප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන මාර්ගාඞ්ග අට ඒ දුඃඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය ය. තෘෂ්ණාව ඇති තාක් මේ දුක නැවත නැවත එන බැවින් දුකින් මිදීමේ එක ම මාර්ගය ඒ දුක් උපදවන තණ්හාව නැසීම ය. කියන ලද ලෝකෝත්තර මාර්ගය ඇති වන්නේ ඒ තෘෂ්ණාව නසමින් ය. තණ්හාව නැසීමේ බලය ඇති එක ම දෙය ඒ අෂ්ටාඞ්ගික මාර්ගය ය. එබැවින් එයට දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ. (මෙහි සෑම තැනක ම පඤ්චස්කන්ධය යි කීයේ ලෞකික ධර්මයන්ට පමණක් බව ද සැලකිය යුතු ය.)
කොටින් චතුරාර්‍ය්‍ය සත්‍යය
ලෞකික සිත් එක් අසූව ය, චෛතසික එක් පනස ය, රූප විසි අට ය යන මේවා දුඃඛ සත්‍යය ය. තෘෂ්ණාව හෙවත් ලෝභ චෛතසිකය සමුදය සත්‍යය ය. නිවන නිරෝධ සත්‍යය ය. ලෝකෝත්තර කුසල් සිත් සතරෙහි යෙදෙන සම්මාදිට්ඨි ආදි මාර්ගාඞ්ග අට මාර්ග සත්‍ය ය.
ලෝකෝත්තර කුසල්සිත් සතර ය, ඒවායේ යෙදෙන මාර්ගාඞ්ග අටෙන් අන්‍ය වූ චෛතසිකයෝ ය. ඵල සිත් සතර හා ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය. යන මේ ධර්මයෝ සත්‍ය සඞ්ග්‍රහයට ඇතුළත් නො වෙති. චතුරාර්‍ය්‍ය සත්‍යයට අයත් නො වෙති.
මෙතෙකින් සමුච්චය සංග්‍රහ නම්වූ සප්තම පරිච්ඡේදය නිමියේ ය.