9. රූප ප්‍ර‍වෘත්ති ක්‍ර‍මය

star_outline

රූප ඇති වන සැටි දක්වා ඇත්තේ සත්ත්ව යෝනි අනුව ය. අණ්ඩජය, ජලාබුජය, සංසේදජය, ඕපපාතිකය කියා සත්ත්ව යෝනි සතරක් ඇත්තේ ය. සර්ප - පක්ෂි - මත්ස්‍යාදි අණ්ඩ කෝෂයෙහි උපදනා සත්ත්වයෝ අණ්ඩජ නම් වෙති. මිනිස් - සිවුපා ආදි වස්ති කෝෂයෙහි (වැදෑමසෙහි) උපදනා සත්ත්වයෝ ජලාබුජ නම් වෙති. මළකුණු - පල් වතුර - කොළ - මල් ආදියෙන් උපදනා සත්ත්වයෝ සංසේදජ නම් වෙති. කර්මානුරූපව පහළ වීම් වශයෙන් උපදනා දේව-බ්‍ර‍හ්මාදි සත්ත්වයෝ ඕපපාතික නම් වෙති.

මේ රූප සියල්ල ම කාම ලෝකයෙහි ප්‍ර‍වෘත්ති කාලයෙහි ලැබෙන්නේ ය. සංසේදජයන්ට හා ඕපපාතිකයන්ට චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - භාව - වත්ථු යන දශක සත ප්‍ර‍තිසන්ධි චිත්තය සමග ම පහළ වන්නේ ය. ඔවුන්ගෙන් ඇතැමකුට සමහර විට චක්ඛු - සෝත - ඝාන - භාව දසකයන් නො ලැබී ද යන්නේ ය.

ඇතැම් සත්ත්ව කෙනකුන්ට ඇතැම් ඉන්ද්‍රියයන් නො ලැබී යාම වනාහි ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්‍මයා ගේ දුබල කමින් ද සිදු වේ. යම් කිසි අකුශල කර්‍මයකින් ඉන්ද්‍රිය පහළ වීම වැළැක්වීම නිසා ද සිදු වේ.

ඒ දශකයන් ගෙන් චක්ෂුර් දශකය නො ලැබූවෝ අන්ධයෝ ය. ශ්‍රෝත්‍ර‍ දශකය නො ලැබූවෝ බිහිරෝ ය. භාව දශකය නො ලැබූවෝ නපුංසකයෝ ය. ඝාන දශකය නො ලැබූවෝ අප්‍ර‍සිද්ධයහ.

ඇතැමුන්ට නො ලැබී යන චක්ෂුර් - ශ්‍රෝත්‍ර‍ - ඝාන - භාව දශක සතර ම දුර්ගති අහේතුක, සුගති අහේතුක සංස්වේදජ සත්ත්වයනට සමහර විට නො ලැබී යන්නේ ය.

ඇතැම් දුර්ගති අහේතුක ඕපපාතිකයනට චක්ෂුශ්-ශ්‍රෝත්‍ර‍-භාව දශකයෝ නො ලැබෙති. ඝ්‍රාණ දශකය නො ලැබෙන ඕපපාතිකයන් නැති බව කියා තිබේ. ආදිකල්පික ඕපපාතික මිනිසුන්ට භාව දශකය නො ලැබීම හැර, සුගතියෙහි ඕපපාතිකයනට දශක හානියක් නැත. සංස්වේදජ සත්ත්වයෝ ඉපද ක්‍ර‍මයෙන් වැඩෙති. ඕපපාතික සත්ත්වයෝ සම්පූර්ණ ශරීර ඇති ව ම උපදිති. ඉපදීමෙන් පසු ඔවුන්ගේ වැඩීමක් නැත.

මාතෘගර්භයෙහි ශයනය කරන බැවින් අණ්ඩජ-ජලාබුජ සත්ත්වයනට ගර්භශායිකය යි කියනු ලැබේ.

සංස්වේදජ ඕපපාතික සත්ත්වයන්ට මෙන් ගර්භශායික සත්ත්වයනට බොහෝ රූප කලාප නො ලැබේ. ඔවුන්ට ප්‍ර‍තිසන්ධික්ෂණයෙහි ලැබෙන්නේ කාය භාව වස්තු දශක තුන ය. එයින් ද භාව දශකය සමහරුන්ට නො ලැබේ. ඔවුනට චක්ෂුශ්ශ්‍රෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා දශකයෝ ප්‍ර‍වෘත්ති කාලයෙහි පහළ වෙති. අල්පායුෂ්ක සත්ත්වයෝ මවු කුස මඳ කලක් වෙසෙති. දීර්ඝායුෂ්ක සත්ත්වයෝ මවු කුස වැඩි කලක් වෙසෙති. මවු කුස මඳ කලක් වෙසෙන සත්ත්වයනට චක්ෂුරාදි දශක සතර ඉක්මනින් ද, වැඩිකල් මවු කුස වෙසෙන සත්ත්වයනට කල් ගත වීමෙන් ද පහළ වේ. මනුෂ්‍යයනට චක්ෂුරාදි දශක සතර පහළ වන්නේ ප්‍ර‍තිසන්ධියෙන් පසු එකොළොස් වන සතියේ අවසාන දිනයෙහි ය. දින වශයෙන් කියත හොත් පිළිසිඳීමෙන් සත් සැත්තෑවන දිනයේ ය. මෙය පිළිබඳ ව තවත් ආචාර්‍ය්‍යවාද ඇත්තේ ය.

මෙසේ සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි පටන් කර්මජ කලාපයෝ පහළ වෙති. දෙවන සිතේ උත්පාදක්ෂණයේ පටන් චිත්තජ රූපයෝ පහළ වෙති. දෙවන සිතය යි කියනුයේ ප්‍ර‍තිසන්ධියට අනතුරු ව ඇති වන භවාඞ්ග සිත ය. එය ප්‍ර‍ථම භවාඞ්ග සිත ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිති කාලයෙහි පටන් සෘතුජ කලාපයෝ පහළ වෙති. ඕජාව ශරීරයෙහි පැතිරීමේ පටන් ආහාරජ කලාපයෝ පහළ වෙති. ජීවිත නවක කලාප ද සත්ත්ව ශරීරවල ඇත්තේ ය. එහෙත් එහි පටන් ගන්නා අවස්ථාවක් දක්වා නැත.

ගර්භශායික සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය-භාව-වස්තු දශක තුන පහළ වන බව කියන ලදී. ඒවා කර්මජ කලාපයෝ ය. එක් එක් චිත්තයක උත්පාදාදි ක්ෂණ තුනෙහි ම කර්මජ රූප පහළ වන බව ද ඉහත කියා ඇත. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය-භාව-වස්තු දශක තුන පහළ වීමෙන් ම ඒවායේ ඉපදීම නවතින්නේ නො වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිති ක්ෂණයෙහි ද නැවත අලුත් කලාප තුනක් පහළ වන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අලුත් කලාප තුනක් පහළ වන්නේ ය. මෙසේ ඉදිරියට ඇති වන සිත්වල උත්පාදාදි ක්ෂණ තුන සමඟ ම කාය-භාව-වස්තු දශක පහළ වන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගෙත් ස්ථිති ක්ෂණය වන කල්හි එහි උත්පාදක්ෂණයෙහි පහළ වූ කලාප තුනට ස්ථිතියෙහි දී පහළ වූ කලාප තුන ද එකතු වීමෙන් කලාප නවයක් වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණය වන කල්හි එහිදී පහළ වන කලාප තුනට උත්පාද ස්ථිතික්ෂණවලදී පහළ වූ කලාප සය එකතු වීමෙන් කලාප නවයක් වේ. මෙසේ ඉදිරියට චිත්තක්ෂණයක් පාසා පහළ වන කලාපවලට පළමු පළමු ක්ෂණවලදී පහළ වූ කලාප එකතු වීමෙන් කලාප සඞ්ඛ්‍යාව වැඩි වන සැටි තේරුම් ගත යුතු ය.

ප්‍ර‍තිසන්ධි චිත්තය හා උපන් කර්මජ කලාප තුන නිරුද්ධ වන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයේ උත්පාදක්ෂණයේ පටන් පනස් එක් වන ක්ෂණයේ ය එය දහසය වෙනි භවාඞ්ගයාගේ භඞ්ගක්ෂණය ය. දහසය වන භවාඞ්ගයාගේ ස්ථිතික්ෂණය වන විට කර්මජ කලාප එකසිය පනසක් වන්නේ ය. පනස් එක් වන ක්ෂණය පැමිණි කල්හි එහි උපදින නිරුද්ධ වන කලාපත් සමග කර්මජ කලාප එකසිය පනස් තුනක් වන්නේ ය. ඉදිරි චිත්තක්ෂණවලදී උපදින කලාප තුනක් හා නිරුද්ධ වන කලාප තුනක් ද ඇති බැවින් කලාප ගණන පිළිබඳ වෙනසක් සිදු නොවේ. මේ රූප කලාප රාශියට ප්‍ර‍ථම භවාඞ්ගයාගේ උත්පාදක්ෂණයෙහි පටන් චිත්තයන්ගේ උත්පාදක්ෂණයක් පාසා චිත්තජ කලාපයක් ද එකතු වන්නේ ය. සෑම කලාපයක් ම තම තමන් ගේ ස්ථිතික්ෂණවලදී සෘතුජ කලාප උපදවන බැවින් ඒවා ද එකතු වන්නේ ය. මවු කුස ඉන්නා සත්ත්වයා ගේ ශරීරයට මවු අනුභව කරන ආහාරවල ඕජාව පැමිණෙන්නේ ය. එතැන් පටන් ඉහත කී රූප සමූහයට ආහාරජ රූප ද එකතු වන්නේ ය. මෙසේ කාම ලෝකයේ සත්ත්වයන්ගේ ශරීරයන්හි කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් හට ගන්නා වූ රූප කලාප පරම්පරාවෝ ජීවත් වන තාක් පවත්නාහ.