ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, පෛශූන්‍යවචනය, ඵරුෂවචනය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය කියා අකුශල කර්ම පථ දශයෙකි. චිත්තයන්ගේ වශයෙන් අකුශල කර්ම දොළොසෙකි.
චක්ෂුර්විඥානාදි චිත්තයන් ගේ උත්පත්තියට වුවමනා කරුණු සයක් තෘතීය පරිච්ඡේදයෙහි ද්වාර යන නාමයෙන් දක්වා ඇත. ඒවා විඥාන ද්වාරයෝ ය. ද්වාර නාමය ව්‍යවහාර කරන කර්ම සිද්ධියට වුවමනා කරුණු තුනක් ද ඇත්තේ ය. ඒවාට “කර්ම ද්වාරය” යි කියනු ලැබේ. කායකම්මද්වාර - වචීකම්මද්වාර - මනෝකම්මද්වාර කියා කර්මද්වාර තුනෙකි. කාය කර්මද්වාරය යනු කායවිඤ්ඤත්ති රූපය ය. වචී කර්ම ද්වාරය යනු වචී විඤ්ඤත්ති රූපය ය. විඤ්ඤත්ති රූප, රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත. මනඃ කර්මද්වාරය යනු සිත ම ය. ද්වාර අනුව කාය කර්මය, වාක් කර්මය, මනඃ කර්මය කියා කර්ම ද තුනකට බෙදේ.
දශ අකුශල කර්ම පථයන් අතුරෙන් ප්‍රාණඝාතය - අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන කර්ම තුන කායද්වාරයෙහි බෙහෙවින් ඇති වන බැවින් කාය කර්ම නම් වේ.
මෘෂාවාද - පෛශූන්‍යවචනය - පරුෂවචනය - සම්ඵප්‍රලාපය යන මේ සතර වාග් ද්වාරයෙහි බෙහෙවින් ඇති වන බැවින් වාක් කර්ම නම් වේ.
අභිධ්‍යාව - ව්‍යාපාදය - මිථ්‍යාදෘෂ්ටිය යන මේ කර්ම තුන මනොද්වාරයෙහි ම බෙහෙවින් ඇති වන බැවින් මනඃ කර්ම නම් වේ.
අකුශල කර්මයන් අතුරෙන් ප්‍රාණාතිපාතය - පරුෂවචනය - ව්‍යාපාදය යන තුන ද්වේෂ මූලයෙන් ඇති වේ. කාම මිථ්‍යාචාරය - අභිධ්‍යාව - මිථ්‍යාදෘෂ්ටිය යන තුන ලෝභ මූලයෙන් ම ඇති වේ. ඉතිරි කර්ම සතර මූල දෙකින් ම සිදු වේ. ඒ කර්ම සමහර අවස්ථාවක ලෝභ මූලයෙන් ද සමහර අවස්ථාවක ද්වේෂ මූලයෙන් ද සිදු වේ. මෝහය සැම අකුශලයකට ම මුල් වන බැවින් විශේෂයෙන් නොකියන ලදි.
කාමාවචර කුශලය
කාමාවචර කුශලය ද කාය කර්ම - වාක් කර්ම - මනඃ කර්ම වශයෙන් තෙවැදෑරුම් වේ. යම්කිසි ශරීරාවයවයක උපකාරය ඇති ව කරන කාමාවචර කුශලය කාය කර්ම නම් වේ. වචනයේ උපකාරයෙන් කරන ධර්මදේශනාදි කර්ම වාක් කර්ම නම් වේ. සිතින් පමණක් කරන භාවනාදි කුසල මනඃකර්ම නම් වේ.
දාන - ශීල - භාවනා වශයෙන් කාමාවචර කුශලය තෙවැදෑරුම් වේ. චිත්තයන් ගේ වශයෙන් අට වැදෑරුම් වේ. දාන - සීල - භාවනා - අපචායන - වෙය්‍යාවච්ච පත්තිදාන - පත්තානුමෝදනා - ධම්මසවණ - ධම්ම දේසනා - දිට්ඨිජ්ජුකම්ම කියා ද කාමාවචර කුශලය දස වැදෑරුම් වේ.
අකුසල් සිත් දොළොසය, කාමාවචර කුසල් සිත් අට යයි චිත්තයන්ගේ වශයෙන් කාමාවචර කර්ම විස්සෙකි.
මහද්ගත කුශලය
රූපාවචර කුශලය මනඃකර්මය ය. භාවනාමය ය. එය ධ්‍යාන භේදයෙන් පස්වැදැරුම් වේ. අරූපාවචර කුශලය ද මනඃ කර්මය ම ය. භාවනාමය ය. එය ආරම්මණ භේදයෙන් සිවු වැදෑරුම් වේ.
අකුශලයන්ගේ විපාක
අකුසල් සිත්වලින් අන්තිම සිත වූ උද්ධච්ච සහගත චිත්තය හැර, ඉතිරි සිත් එකොළොසින් සතර අපායයෙහි ප්‍රතිසන්ධිය ඇති කරනු ලැබේ. ප්‍රවෘත්ති කාලයෙහි වනාහි අකුසල් සිත් දොළොසින් ම කාම-රූප ලෝක දෙක්හි සුදුසු පරිදි අහේතුක අකුශල විපාක සිත් සත ඇති කරනු ලැබේ.
එක් එක් අකුශල සිතකින් අනිෂ්ට රූප මුණ ගැසෙන කල්හි චක්ඛුවිඤ්ඤාණ ද, අනිෂ්ට ශබ්ද මුණ ගැසෙන කල්හි සෝතවිඤ්ඤාණ ද, අනිෂ්ට ගන්ධයන් මුණ ගැසෙන කල්හි ඝාණවිඤ්ඤාණ ද, අනිෂ්ට රස මුණ ගැසෙන කල්හි ජිව්හාවිඤ්ඤාණ ද, අනිෂ්ට ස්පර්ශ ඇති වන කල්හි කායවිඤ්ඤාණ ද, ඒ අරමුණු සම්බන්ධයෙන් සම්පටිච්ඡන - සන්තීරණ - තදාරම්මණ ද ඇති කරනු ලැබේ. ලොව්තුරා බුදුවරයන්ට වුව ද අනිෂ්ට රූප දැකීමාදියෙහි දී ඇති වන්නේ අකුසල විපාක සිත් ය.
උද්ධච්ච සහගත චේතනාව දුබල බැවින් අපාය ප්‍රතිසන්ධියක් ඇති කිරීමට තරම් ශක්තියක් එයට නැත.