ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියා මරණ සතරෙකි. හැම සත්ත්වයකුට ම තම තමන් ගේ ජීවිතය කෙළවර වන්නේ ඒ මරණ සතරින් එකකට පැමිණීමෙනි.
ආයුක්ෂය මරණය
ඒ ඒ සත්ත්ව ජාතීන්ට නියමිත ජීවත්වීමේ කාල පරිච්ඡේදයක් ඇත්තේ ය. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය ඉතා කෙටි ය. දින ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය සති ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය මාස ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය වර්ෂ ගණනෙකි. මිනිසුන් කෛරහි කුශල මූලයන් වැඩෙන කල්හි ඔවුන් ගේ ආයුඃ කාලය දික්වේ. අකුශල මූලයන් වැඩෙන කල්හි ආයුඃ කාලය කෙටි වේ. ආයුඃ කාල නියමය වන්නේ මා-පියන් ගේ ශරීරවලත්-වළඳන ආහාරවලත් - කාල ගුණයේත් තත්ත්වය අනුව ය.
සතියකට ආයු නැති ජාතිවල සත්ත්වයන් ගේ ශරීරවල වැඩීමත් දිරා යෑමත් සතිය තුළ දී සිදු වේ. එබැවින් ඔවුහු සතියකට වඩා ජීවත් නො වෙති. සිය වසක් ආයු ඇති ජාතිවල සත්ත්වයන් ගේ ශරීරවල වැඩීමත් දිරීමත් සිය වස තුළ දී සිදු වේ. සිය වසකින් ඔබ ඔවුනට ජීවත් විය නො හැකිය. අවුරුදු දහසක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයකින් සිය වසක් ආයුඃ ප්‍රමාණය වන මිනිසුන් අතර උපදින්නේ ද ඒ තැනැත්තාට සිය වසකට වඩා ජීවත් විය නො හැකිය. කුමක් නිසා ද? ජීවිතයට ආධාර වන ශරීරය සිය වසකදී දිරා යන හෙයිනි. කර්ම ශක්තිය ඇති අයට සෘද්ධි බලයෙන් හා රසායන බෙහෙත් බලයෙන් ආයුඃ කාලයට වැඩි කාලයක් ජීවත් විය හැකි බව ද කියා තිබේ. නියමිත ආයුඃ කාලය ගෙවීමෙන් වන මරණය ආයුඃක්ෂය මරණ නම් වේ.
කර්මක්ෂය මරණය
ඇතැම් දුබල කර්ම ප්‍රතිසන්ධිය ඇති කිරීමට සමත් වෙතත් ඒ කර්මයෙන් උපන් තැනැත්තා ආයුඃ කාලය ඇති තෙක් ජීවත් කරවීමට සමත් නො වේ. එබඳු කර්මවලින් උත්පත්තිය ලැබුවෝ ආයුඃ කාලය ගෙවීමට කලින් මිය යෙති. කර්ම බලය ඉවර වීමෙන් වන ඒ මරණය කර්මක්ෂය මරණ නම් වේ.
උභයක්ෂය මරණය
ආයුඃ කාලය ය, කර්ම ශක්තිය ය යන දෙක ම එකවිට ගෙවීමෙන් වන මරණය උභයක්ෂය මරණ නම් වේ. සත්ත්වයකුට ආයුඃ කර්ම දෙක එක වර ම ගෙවී යෑමක් වන්නේ කලාතුරකිනි.
උපච්ඡේදක මරණය
ආයුෂයත් තිබිය දී කර්ම බලයත් තිබිය දී අතීත භවවල දී කළ ප්‍රාණඝාතාදි කර්මයකින් හෝ වර්තමානභවයේ කළ පාප කර්මයකින් ම හෝ රෝගාදි අන්තරායයන් ඇති කොට සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වේ.
උපච්ඡේදක මරණය අකාල මරණය ය. එය කර්මයෙන් පමණක් නො ව, තවත් බොහෝ හේතූන් ගෙන් ද සිදු වන්නකි. ජීවිතය ඉතා දුබල එකකි. කර්මයත් දුබල එකකි. ආහාර පානාදියේ උපකාරය නො ලද හොත්, ආරක්ෂාව නො සැලසුන හොත්, කර්ම ශක්තියට පමණක් ජීවිතය පැවැත්විය හැකි නොවේ. ජීවිතය පවත්නේ ද අන්තරාය මධ්‍යයේ ය. ශරීරය ඇතුළේ ම ද බොහෝ ජීවිත නාශක හේතු ඇත්තේ ය. ශරීරයෙන් පිටත සත්ත්වයා වටේටත් ජීවිත නාශක හේතු පිරී ඇත්තේ ය. ඒ සෑම එකකින්මත් අකාල මරණය සිදු විය හැකි ය.
නාගසේන මහ රහතන් වහන්සේ විසින් මිළිඳු රජුට අකාල මරණ හේතු අටක් වදාරා තිබේ. වාතයෙන් හට ගන්නා ආබාධය, පිතින් හට ගන්නා ආබාධය, සෙමෙන් හට ගන්නා ආබාධය, සන්නිපාතයෙන් වන ආබාධය, සෘතු විපර්‍ය්‍යාසය, ශරීරය නො මනා කොට පරිහරණය කිරීම, උපක්‍රම කිරීම, කර්ම විපාකය යනු ඒ කරුණු අටය ය.
සන්නිපාතයෙන් වන ආබාධය යනු දොස් දෙකකින් හෝ තුනෙන් ම හට ගන්නා ආබාධය ය.
සෘතු විපර්යාසය යනු ශීතෝෂ්ණ දෙක්හි අඩු වැඩි වීම ය. මහ වැසි වැස, ගම් නියම් ගම් යට කොට ගලා යන වතුරට හසු වී වන මරණත්, වැසි නැති වීමෙන් නොයෙක් රෝග හට ගැනීමෙන් හා බත් පැන් නැති වී යෑමෙන් සිදු වන මරණත් සෘතු විපර්‍ය්‍යාසයෙන් වන මරණයෝ ය.
පරෙස්සම් නො වීම නිසා රථ වාහනවලට යටවීම්, ගින්නට හසු වීම්, දියෙහි වැටීම් ආදියෙන් සිදු වන මරණය ශරීරය නො මනා කොට පරිහරණයෙන් වන මරණ ය.
උපක්‍රමයෙන් වන මරණය තමාගේ උපක්‍රමයෙන් හා අනුන්ගේ උපක්‍රමයෙන් ද යන දෙයාකාරයෙන් ම සිදු වේ. ඇතැම්හු විෂ පානය කිරීම්, බෙල්ලේ වැල ලා ගැනීම්, දියට පැනීම්, දුම්රියට බෙල්ල තැබීම් ආදිය කොට මිය යති. ඒ මරණය තමාගේ උපක්‍රමයෙන් සිදු වන මරණය ය. සර්පයන් ගෙන් ද, චණ්ඩ මෘගයන් ගෙන් ද, අමනුෂ්‍යයන් ගෙන් ද, යුද්ධයෙන් ද, සොරුන්ගෙන් ද, සතුරන් ගෙන් ද, රජුන් ගෙන් ද, වන මරණ පරෝපක්‍රමයෙන් වන මරණයෝ ය.
අතීත භවවලදී කළ ප්‍රාණඝාතාදි කර්ම නිසාත්, වර්තමාන භවයේ ම කළ කර්ම නිසාත් ඇතැම්හු මැරෙති. එය කර්ම විපාකයෙන් වන මරණය ය. සියල්ල කර්මයෙන් ම වන්නේය යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි. කර්මයෙන් මරණය සිදු කරන්නේ ද වාතකෝපාදිය ඇති කිරීමෙනි. එබැවින් අකාලයේ කෙනකු මළ හොත් එය කර්මයකින් වූවක් ද අනික් හේතුවකින් ම වූවක් ද කියා නො දත හැකිය.