8. අතිපරිත්තාරම්මණ වීථි සය

රූපාරම්මණය ඉපද චිත්තක්ෂණ දසය එකොළොස දොළොස තෙළෙස තුදුස පසළොස පසු වී චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් අතිපරිත්තාරම්මණ වීථි සය ඇති වේ.

රූපාරම්මණය ඉපද චිත්තක්ෂණ දහයක් පසු වී ප්‍ර‍සාදයෙහි ගැටෙන අරමුණ ගැන වීථි සිත් උපදිත හොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ ව්‍යවස්ථාපනය දක්වා සිත්වලට පමණකි. ජවනය වෙනුවට ජවනස්ථානයෙහි තවත් ව්‍යවස්ථාපනයක් ඇති වීමට කලක් නැත්තේ ය. ඒ අරමුණ ඉතා දුබල බැවින් එහි පඤ්චද්වාරාවජ්ජනාදි වීථි සිත් ද නූපදී. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ භවාඞ්ගය සෙලවීම පමණෙකි. චිත්තක්ෂණ දසයට වඩා ඉක්ම ප්‍ර‍සාදයෙහි ගැටෙන අරමුණු වලින් ද භවාඞ්ග චලනය වේ. අතිපරිත්තාරම්මණ වීථි සයක් වන්නේ එහෙයිනි.

අතිපරිත්තාරම්මණ වීථි සයේ සටහන්

  1. තී තී තී තී තී තී තී තී තී තී න න භ භ භ භ භ
  2. තී තී තී තී තී තී තී තී තී තී තී න න භ භ භ භ
  3. තී තී තී තී තී තී තී තී තී තී තී තී න න භ භ භ
  4. තී තී තී තී තී තී තී තී තී තී තී තී තී න න භ භ
  5. තී තී තී තී තී තී තී තී තී තී තී තී තී තී න න භ
  6. තී තී තී තී තී තී තී තී තී තී තී තී තී තී තී න න

සෝතද්වාර වීථි ආදිය

ඉපද එක් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණය සෝත ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් සෝතද්වාර අතිමහන්තාරම්මණ වීථිය ඇති වේ. චක්ෂුර්ද්වාර අතිමහන්තාරම්මණ වීථියට වඩා එහි ඇති වෙනස චක්ඛුවිඤ්ඤාණය ඇති වුණු සෝත විඤ්ඤාණය ඇති වීම පමණෙකි. සෝතද්වාර වීථි පසළොස ම චක්ෂුර්ද්වාර වීථි අනුව තේරුම් ගත යුතු ය. ඝාන-ජිව්හා-කායද්වාර වීථිවලත් වෙනස පඤ්චද්වාරාවජ්ජනයට අනතුරුව ඝාන-ජිව්හා-කාය විඤ්ඤාණයන් ඇතිවීම පමණෙකි. පඤ්චද්වාර වීථි පන් සැත්තෑවෙකි.

රූප ශබ්දාදි අරමුණු ඉතා හොඳට දැනෙන්නේ අතිමහන්තාරම්මණ වීථිවල සිත්වලට ය. මහන්තාරම්මණ වීථිවල සිත්වලට අරමුණු හොඳට දැනේ. ජවන චිත්තයක් නූපදනා බැවින් පරිත්තාරම්ණ වීථිවලට අරමුණු හොඳට නො දැනේ. ඒවායින් වන දැනීම ඉතා දුබල ය. රූපාරම්මණයක් ගැන පරිත්තාරම්මණ වීථි ඇති වුවහොත් සිහිනෙන් දුටුවා වැනි, පෙනුණා නො පෙනුණා වැනි දුබල දැනීමක් ඇති වේ. ශබ්දාරම්මණය ගැන පරිත්තාරම්මණ වීථි ඇති වූ කල්හි ද ඇසුණා නො ඇසුණා වැනි දුබල දැනීමක් ඇති වේ. අනික් අරමුණුවල දැනීමත් එසේ ම ය. අතිපරිත්තාරම්මණයෙහි වීථි සිත් ඇති නො වන බැවින් ඒ අරමුණ පිළිබඳ දැනීමක් සම්පූර්ණයෙන් ම ඇති නො වේ. ඒ වීථිවලින් කිසි ම ප්‍රයෝජනයක් නැත.

චිත්ත නියාමය

රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් මේ පඤ්චද්වාර වීථිවල ඇති නො වේ. චක්ෂුර්ද්වාර වීථිවල ලැබෙන්නේ ද්වාර සංග්‍ර‍හයෙහි චක්ෂුර් ද්වාරික සිත් වශයෙන් කියවුණු සිත් සතළිස් සය ය. ශ්‍රෝත්‍ර‍ද්වාර වීථි ආදියෙහි ලැබෙන සිත් ගණන ද ද්වාර සංග්‍ර‍හයෙහි දැක්වුණු පරිදි ම කිය යුතු ය. පඤ්චද්වාර වීථිවල සෑම ආකාරයෙන් ම ලැබෙන්නේ කාමාවචර සිත් පනස් සතර ය.

මේ වීථිවල ලැබෙන පඤ්චද්වාරාවජ්ජනය ක්‍රියා සිතකි. පඤ්චවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණයෝ විපාකයෝ ය. ව්‍යවස්ථාපනය ක්‍රියා සිතකි. ජවන කුසල් ද වේ. අකුසල් ද වේ. ක්‍රියා ද වේ. තදාරම්මණ විපාකයෝ ය.

ඉෂ්ට හෙවත් හොඳ රූප ශබ්දාදි ආරම්මණයන් ප්‍ර‍සාදවල ගැටුණු කල්හි කුශල විපාක පඤ්චවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ උපදිති. අනිෂ්ට හෙවත් නරක රූප ශබ්දාදිය ද්වාරයන්ට මුණ ගැසුණු කල්හි අකුශල විපාක පඤ්ච විඤ්ඤාණ සම්පටිච්ඡ සන්තීරණ තදාරම්මණයෝ වෙති. ආරම්මණය ඉතා ම හොඳ වන කල්හි සෝමනස්ස සහගත සන්තීරණ තදාරම්මණයෝ වෙති.

ඉතා ම නරක දෙයක් වන අසූචියත් සමහර සත්තු හොඳ සැටියට සලකති. බොහෝ සම්පත් ඇති ඇතැම්හු සමහර හොඳ දේව්ල ද නරක ලෙස සලකති. එබැවින් අරමුණුවල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කර ය. ඒවායේ හොඳ නරක බව මධ්‍යම ජනයාගේ සැලකීම අනුව කළ යුතු බව අටුවාවේ දක්වා ඇත්තේ ය.

අරමුණ ගැන පුද්ගලයා ගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇති වන්නේ කුශල විපාක සිත් ය. එසේ ම නරක අරමුණෙහි ඇති වන්නේ ද අකුශල විපාක සිත් ය. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නො වේ. එබැවින් බුදුන් වහන්සේ ගේ ශරීරය දැකීමට පවා නුසුදුසු නො මනා අරමුණක් ලෙස සලකන මිසදිටුවන්ට බුද්ධ දර්ශනයේ දී කුශල විපාක වූ ම චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ වෙති. නරක දෙයක් වූ අසූචිය ප්‍රිය කරන සත්ත්වයාට අසූචිය දැකීමේ දී ඇති වන්නේ ද අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ ය.

ජවනය පුද්ගලයන්ගේ අදහස් අනුව ඇති වන්නකි. කුශලාධ්‍යාශය ඇති කුශලයට කැමති අයට හොඳ නරක මධ්‍යම සියලු අරමුණුවලදී ම කුශල ජවනයන් ඇති විය හැකි ය. ධර්මයෙන් ඈත්ව යෝනිසෝමනසිකාරයෙන් තොර ව පවෙහි ඇලී වාසය කරන්නවුන්ට සියලු ම අරමුණුවල අකුසල ජවන් ඇතිවිය හැකි ය. රහතුන්ගේ වීථිවල ක්‍රියා ජවන් ඇති වේ.

චක්ඛුද්වාර වීථියට අයත් සිත්වලින් චක්ෂුර්වස්තුවෙහි උපදින්නේ චක්ඛුවිඤ්ඤාණය පමණෙකි. අනික් සිත් ඇති වන්නේ හෘදය වස්තුවෙහි ය. එහෙත් ඒ සියල්ල ම රූපාරම්මණය චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීම නිසා ම ඇති වන බැවින් සම්පූර්ණ වීථිය චක්ෂුර්ද්වාර වීථියක් සැටියට සලකනු ලැබේ. සෝතද්වාර වීථි ආදියත් ඒ ක්‍ර‍මයෙන් තේරුම් ගත යුතු ය.