10. මනෝද්වාර වීථි ඇති වන අවස්ථා

මනෝද්වාර වීථි ගැන හොඳ අවබෝධයක් ඇතිවීමට ඒවා ඇති වන අවස්ථා දැන ගත යුතු ය. චිත්තක්ෂණ සතොළොසකට ආයු ඇති වර්තමාන රූප දෙවිස්ස අරමුණු කොට සප්තදශායුෂ්ක විභූතාරම්මණ අවිභූතාරම්මණ මනෝද්වාර වීථි ඇති වන බව ඉහත කියන ලදී. රූපය ශබ්දය ගන්ධය රසය ස්ප්‍ර‍ෂ්ටව්‍යය යන අරමුණු පස ඒ රූප දෙවිස්සට ඇතුළත් ය.

ඔබ රුවන්වැලි මහසෑය කරා ගිය හොත් ඒ මහ සෑය ඔබ දක්නෙහි ය. රුවන්වැලි සෑය දැකීමය කියන්නේ අනිකක් නොව රුවන්වැලි සෑය අරමුණු කොට ඔබගේ සන්තානයෙහි යම්කිසි චක්ෂුර්ද්වාර වීථියක් ඇති වීමය.

ඔබ නිවසට ගියකල්හි දුටු රුවන්වැලි මහසෑය ඔබට සිහිවේ. ඒ රුවන්වැලි මහසෑය සිහිවීම නම්, ඔබ කලින් දුටු රුවන්වැලි මහසෑය අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වීම ය.

ඔබ දුටු රුවන්වැලි සෑය චිත්තක්ෂණ සතොළොසක් ආයු ඇති රූප සමූහයකි. චිත්තක්ෂණ සතොළොස වූ ආයුෂය ගෙවී ඒ රූප සමූහය එකෙණෙහි ම නිරුද්ධ විය. දැන් ඒවා නැත. දුටු රුවන්වැලි සෑය සිහි කිරීම් වශයෙන් ඔබ සන්තානයේ ඇති වූ මනෝද්වාර වීථියට අරමුණු වන්නේ ඔබ ඒ වේලාවේ දී දුට, දැන් නැති, අතීත රූප සමූහයෙකි. ඔබට ඒ වේලාවේ දී ඇති වූයේ අතීත රූප අරමුණු කරන චිත්තක්ෂණ සතළොසක් නැති මනෝද්වාර වීථි දෙකින් එකකි.

ඔබ නිවසේ සිට ඇසට නො පෙනෙන රුවන්වැලි මහසෑය දෙසට හැරී එයට වඳින්නෙහි නම්, ඒ වැඳීමට ලක් වන්නේ ඔබ කලින් දුටු රුවන්වැලි මහ සෑය නොව, ඒ වේලාවෙහි එතැන ඇති රුවන්වැලි සෑය ය. එයට නමස්කාර කිරීම් වශයෙන් ඔබට ඇති වන්නේ වර්තමාන රූපය අරමුණු කරන සප්තදශායුෂ්ක විභූතාරම්මණ වීථි පසෙන් හා අවිභූතාරම්මණ වීති දෙකින් යම් කිසි වීථියකි. ඒ වන්දනාවට ලක් වන්නේ කලින් දුටු රුවන්වැලි සෑය නොවේය යි කියන්නේ, ඔබ රුවන්වැලි සෑය වශයෙන් කලින් ඇසින් දුටු රූප සියල්ල ම නිරුද්ධ වූ බැවිනි.

ඔබ නිවසේ සිට රුවන්වැලි මහ සෑය වැඳීමේ දී රුවන්වැලි සෑය වශයෙන් ඔබ සලකන, ඉපද එක් චිත්තක්ෂණයක් ඉක්මුණු රූප කලාප සමූහය ද ඔබගේ මනෝද්වාරයට යොමු විය හැකි ය. චිත්තක්ෂණ දෙක තුන සතර පහ ඉක්මුණු රුවන්වැලි මහ සෑයේ රූප කලාප ද ඔබගේ මනෝද්වාරයට එළඹ සිටිය හැකි ය. එවායින් ඔබට පළමු වන දෙවන තුන්වන සතරවන පස්වන විභූතාරම්මණ වීථි ඇති වේ. චිත්තක්ෂණ සයක් හෝ සතක් ඉක්මුණු රූප මනෝද්වාරයට යොමු වී නම් එකල්හි අවිභූතාරම්මණ වීක්ථි ඇති වේ.

රුවන්වැලි මහසෑය නමැති ප්‍ර‍ඥප්තිය මනෝද්වාරයට යොමු වී නම්, එකල්හි ඇති වන්නේ චිත්තක්ෂණ සතළොසක් නැති ප්‍ර‍ඥප්තිය අරමුණු කරන මනෝද්වාර වීථිය ය.

රුවන්වැලි මහසෑය දුටු බව ඔබට මතක් වේ නම්, එකල්හි ඔබට ඇති වූයේ චක්ඛුවිඤ්ඤාණය හෝ චක්ඛුද්වාර වීථිය අරමුණු කරන මනෝද්වාර වීථියකි. එය සිත් අරමුණු කොට ඇති වන මනෝද්වාර වීථියකි. රුවන්වැලි සෑය සිහිවීම අනිකකි. රුවන්වැලිසෑය දුටු බව සිහිවීම අනිකකි. අවුල් කර නො ගෙන ඒ දෙකේ වෙනස තේරුම් ගන්න.

රුවන්වැලි සෑය දැකීමෙන් සමහර විට ඔබට මහත් ප්‍රීතියක් ඇති වන්නට ඇත. ප්‍රීතිය චෛතසිකයෙකි. රුවන්වැලි සෑය දැකීමෙන් ඇති වූ ප්‍රීතිය ඔබට සිහි වෙනවා නම්, එකල්හි ඇති වන්නේ ප්‍රීති චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි.

වේදනාව ද චෛතසිකයෙකි. ඔබට ඇති වූ වේදනාවක් සිහි වේ නම්, එකල්හි ඇති වන්නේ වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි. වේදනාවෙන් පෙළෙන අනිකකු දුටු විට ඔහුගේ වේදනාව ඔබට දැනුන හොත්, එකල්හි ඇති වූයේ ද වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි.

ඔබ සන්තානයේ ඇති වන ආදරය කෝපය මානය ඊර්‍ෂ්‍යාව මෛත්‍රිය කරුණාව යනාදිය සිහි වන විට ද, අනුන් කෙරෙහි ඇති වන ඒ කරුණු දැනෙන විට ද, ඇති වන්නේ චෛතසික අරමුණු කරන මනෝද්වාර වීථිය ය.

මෙතෙකින් කියන ලදුයේ පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ටිකකි. කියන ලද කරුණු අනුව සිතා, රූප හා චිත්ත - චෛතසිකයන් අරමුණු කොට මනෝද්වාර වීථි ඇති වන සැටි තේරුම් ගන්න.