“සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, උපේක්ෂා වේදනාවය” යි වේදනා තුනෙකි. “සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, සෝමනස්ස වේදනාවය, දෝමනස්ස වේදනාවය, උපේක්ෂා වේදනාවය” යි තවත් ක්‍රමයකින් වේදනා පසෙකි.
මෙහි වේදනා ය යි කියනුයේ දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ වේදනා චෛතසිකය ය. එය තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තැන්වල අනේකාකාරයෙන් විභාග කොට දක්වා වදාරා තිබේ. වේදනාව ය යන අරමුණු රසය විඳීම ය. මිහිරක් වශයෙන් ද අරමුණු රසය විඳිනු ලැබේ. අමිහිරක් වශයෙන් ද අරමුණු රසය විඳිනු ලැබේ. මධ්‍යස්ථ වශයෙන් ද අරමුණු රසය විඳිනු ලැබේ. මේ තුන් ආකාරය හැර අරමුණු රස විඳීමේ තවත් ආකාර නැත. එබැවින් වේදනාව අරමුණු රසය විඳීම අනුව තුන් ආකාර වේ. මෙහි පස් ආකාරයකින් වේදනාව දක්වා ඇත්තේ, ඉන්ද්‍රිය දේශනාව අනුව ය. ඉන්ද්‍රිය දේශනාවෙහි කායික සුඛ වේදනාව සුඛින්ද්‍රිය යයිද, මානසික සුඛ වේදනාව සෝමනස්සින්ද්‍රිය යයි ද, කායික දුඃඛ වේදනාව දුක්ඛින්ද්‍රිය යයි ද, මානසික දුඃඛ වේදනාව දෝමනස්සින්ද්‍රිය යයි ද, උපේක්ෂා වේදනාව උපෙක්ඛින්ද්‍රිය යයිද වදාරා තිබේ.
ඒ ඒ වේදනාවලින් යුක්ත වන සිත් චිත්ත පරිච්ඡේදයේ දැක්වෙන පරිදි පහසුවෙන් ම සොයා ගත හැකි ය. සුඛ සහගත සිත් ඇත්තේ අහේතුක කුශල විපාක කාය විඤ්ඤාණය පමණෙකි. දුක්ඛ සහගත සිත් ඇත්තේ අහේතුක අකුශල විපාක කාය විඤ්ඤාණය පමණෙකි.
ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතර ය, අහේතුක කුශල විපාක සෝමනස්සසහගත සන්තීරණය, හසිතුප්පාදය, කාමාවචර සෝභන සෝමනස්ස සහගත සිත් දොළොසය, ප්‍රථම ධ්‍යානසිත් එකොළොසය, ද්විතීය ධ්‍යාන සිත් එකොළොසය, තෘතීය ධ්‍යාන සිත් එකොළොසය, චතුර්ථ ධ්‍යාන සිත් එකොළොසය යන මේ සිත් සැට දෙක සෝමනස්ස සහගත චිත්තයෝ ය.
ද්වේෂ මූල සිත් දෙක දෝමනස්ස සහගත සිත් ය.
අකුශලයේ සයක් ද, අහේතුකයේ තුදුසක් ද, කාම ශෝභනයේ දොළොසක් ද, රූපාවචරයේ තුනක් ද, අරූපාවචරයේ දොළොසක් ද, ලෝකෝත්තරයේ අටක් ද වීමෙන් උපේක්ෂා සහගත සිත් පනස් පසක් වේ.
ප්‍රශ්න
- වේදනාව තුන් ආකාර වන්නේ කුමක් අනුව ද?
- වේදනාව පස් ආකාර වන්නේ කුමක් අනුව ද?
- සෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
- උපේක්ෂා සහගත සිත් කොතෙක් ද?