2. සර්ව චිත්ත සාධාරණ චෛතසික සත

star_outline

ඵස්ස ය, වේදනාව ය, සඤ්ඤාව ය, චේතනාව ය, ඒකග්ගතාව ය, ජීවිතින්ද්‍රිය ය, මනසිකාරය යයි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතෙකි.

සෑම සිතක් ම ඇති වීමට මේ චෛතසික සත වුවමනා ය. කුශලාකුශලාදි වශයෙන් විශේෂයක් නො මැති ව සියලු ම සිත්වල යෙදෙන බැවින් මේ චෛතසික සතට “සර්ව චිත්ත සාධාරණය” යි කියනු ලැබේ.

ඵස්ස

අරමුණෙහි සැපෙන ස්වභාවය ඵස්ස නම් වේ. සැපීම ය යනු අතරක් නො සිටින පරිදි ළං වීම ය. එයට ගෑවීම යයි ද කියනු ලැබේ. අඳුරෙහි අත ගාන කෙනකුට දත හැකි වන්නේ අතේ ගෑවුණු දෙයක් පමණෙකි. එමෙන් සිතට දැනෙන්නේ ද සිතෙහි ගෑවුණු දෙය පමණෙකි. එබැවින් සිතක් හෙවත් දැනීමක් ඇති වීමට දතයුත්ත හා සැපීමක් විය යුතුම ය. සැපීමෙන් තොර ව දැනීමක් නො විය හැකි බැවින් මේ “ඵස්ස චෛතසිකය” සියලු ම සිත් වලට වුවමනා අඞ්ගයක් බව දත යුතුය. සිත පිළිබඳ වූ මේ ඵස්සය වස්තු දෙකක් එකට සැපීම බඳු සැපීමක් නොව, සැපීමය යන නාමයෙන් හඳුන්වන එක්තරා සූක්ෂ්ම ස්වභාවයෙකි. තේරුම් ගැනීමට අපහසු චෛතසිකයෙකි.

වේදනා

ආරම්මණයෙහි හොඳ බව වූ හෝ නරක බව වූ හෝ මධ්‍යස්ථ බව වූ හෝ රසය විඳින ස්වභාවය වේදනා නම් වේ. චිත්ත පරිච්ඡේදයේ දී සෝමනස්ස - දෝමනස්ස - උපෙක්ඛා - සුඛ - දුක්ඛ යන නම් වලින් කියවුණේ මේ වේචනා චෛතසිකය ය.

සඤ්ඤා

ආරම්මණයා ගේ ආකාරය ගන්නා ස්වභාවය සඤ්ඤා නම් වේ. ඒ ඒ දෙය අනික් දේවලින් වෙන් කොට හැඳින ගැනීමට උපකාර වන විශේෂ ආකාරයක් සැම දෙයක ම ඇත්තේ ය. අරමුණක් ගැනීම් වශයෙන් සිතක් උපදනා කල්හි ඒ සිත සමඟ අරමුනේ ආකාරය ගන්නා සංඥා චෛතසිකය ද සැම කල්හි ම ඇති වේ. ඒ සංඥා කලින් ඇති වූ සංඥා අනුව ඒ ඒ දෙය හැඳින ගැනීමක් ද, මතුවට හැඳින ගැනීමට සලකුණක් කිරීමක් ද වේ. ආරම්මණයා ගේ ආකාරය ගැනීම හැඳිනීමක් ද වන බැවින් බොහෝ පොත් වල “අරමුණු හැඳින ගන්නා ස්වභාවය සංඥාවය” යි කියා ද තිබේ.

චේතනාව

බැලීම්-ඇසීම්-කෑම්-පීම්-යෑම්-ඊම්-දීම්-ගැනීම් ආදි ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනා නම් වේ. සත්ත්වයන් විසින් සිදු කරන අප්‍ර‍මාණ ක්‍රියා ඇත්තේ ය. ඒ හැම ක්‍රියාවක් ම සිදු කිරීමේ උත්සාහය චේතනා චෛතසිකය ය. ප්‍රාණඝාත චේතනා - අදත්තාදාන චේතනා - දාන චේතනා යනාදීන් අප්‍ර‍මාණ චේතනා ඇත්තේ ය. චේතනා භාවයෙන් ඒ සියල්ල ම චේතනා චෛතසිකය වශයෙන් සලකනු ලැබේ.

යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහය ඇති වන කල්හි එයට අනුකූල ව සිතක් ද ඇති වේ. ඒ ක්‍රියාව සිදු කිරීමට වුවමනා චෛතසික රාශියක් ද, චේතනාව අනුව එය හා බැඳී ඇති වේ. චේතනාව ඒ සියල්ලට ප්‍ර‍ධානය. එබැවින් “චේතනාව සේනාපතියකු වැනි ය” යි ද කියා තිබේ. සැම සිතක් ම ඇති වන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීම් වශයෙනි. එබැවින් සැම සිතකම චේතනාවක් ඇත්තේ ය. ක්‍රියා සිදු කිරීමේ දී චේතනාව ප්‍ර‍ධාන ය. අරමුණ ගැනීමේ දී සිත ප්‍ර‍ධාන ය. “කර්මය” යි කියනුයේ ද මේ චේතනා චෛතසිකයට ය.

ඒකග්ගතාව

නො සැලෙන පරිදි සිත අරමුණෙහි මනා කොට පිහිටවන ස්වභාවය ඒකග්ගතා නමි. එක අරමුණක වුව ද, ඒ අරමුණ සිතට ගත හැකි, සිතින් සලකා ගත හැකි, නොයෙක් ආකාර ඇත්තේ ය. එක් වස්තුවක් දෙස එක් තැනක සිට බලන කල්හි ඒ වස්තුව එක් ආකාරයකින් පෙනේ. අන් තැනක සිට බලත හොත් ඒ වස්තුව ම තවත් ආකාරයකින් පෙනේ. මෙසේ ස්ථාන සියයක සිට බලත හොත්, එක ම වස්තුව ආකාර සියයකින් පෙනේ. ඒ පෙනෙන සෑම ආකාරයක් ම ඒ වස්තුව සිතින් ගත හැකි ආකාරයෝ ය.

එක් දෙයක් සිතින් ගැනීමේ දී අරමුණෙහි ඇති ඒ අනේකාකාරයන් ගෙන් එක් ආකාරයකින් ඒ අරමුණ ගත යුතු ය. කීප ආකාරයකින් එක වර එක සිතකට එක අරමුණක් ගත නො හැකි ය. සිතට අරමුණ ගත හැකි වීමට අරමුණෙහි ඇති එක් ආකාරයක පිහිටිය යුතු ය. ඒකග්ගතාවෙන් කෙරෙනුයේ අරමුණෙහි යම්කිසි එක් ආකාරයක පිහිටීම ය. ඒ පිහිටීම නිසා සිතට එක් ආකාරයකින් අරමුණ ගතහැකි වන්නේ ය. අරමුණුවල අනේකාකාර ඇති බැවින් ඒකග්ගතාව නැති ව සිතකට අරමුණක් නො ගත හැකිය. එබැවින් ඒකග්ගතාව සෑම සිතකට ම වුවමනා ය. “සමාධිය” යනු ද ඒකග්ගතා චෛතසිකයට කියන තවත් නමෙකි. බොහෝ සෙයින් ඒ නම ව්‍යවහාර වන්නේ දියුණු වූ ඒකග්ගතාවට ය.

ජීවිතින්ද්‍රිය

චිත්ත චෛතසිකයන් ගේ ජීවන බලය - ජීවත් වීමේ ශක්තිය “ජීවිතින්ද්‍රිය” නම් වේ. ශරීරය ආහාර පානයන්ගේ උපස්තම්භනයෙන් චිර කාලයක් ඇද නො වැටී පවතී. සිතේ පැවැත්මට උපකාර වන, පිටතින් ගන්නා දෙයක් නැත. එහෙත් චිත්ත පරම්පරාවේ පැවැත්මට උපකාර වන යම් කිසි දෙයක් ද තිබිය යුතු ය. එබන්දක් නැති ව නිවනට පැමිණීම දක්වා මේ චිත්ත පරම්පරාවට නො සිඳී නො පැවතිය හැකි ය. නිවනට පැමිණීම දක්වා සත්ත්වයා ගේ චිත්ත පරම්පරාව පැවැත්මට උපකාර වන, එය පාලනය කරන දෙය, මේ ජීවිතින්ද්‍රිය චෛතසික ය ය. එයින් කෙරෙන පාලනය නිසා චිත්ත පරම්පරාව මරණයෙනුදු නො සිඳී පරිනිර්වාණය තෙක් පවතී.

මනසිකාරය

සිතට අරමුණෙන් ඉවත් වන්නට නො දී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය මනසිකාර නම් වේ. ප්‍ර‍තිසන්ධියෙහි පටන් ම ක්ෂණයක් පාසා බිඳෙමින් අරමුණෙන් ඉවත් වන චිත්ත පරම්පරාව, මේ චෛතසිකය නිසා නැවත නැවතත් ඉපද ඉපද අරමුණු ගැනීමෙහි යෙදෙන බව කියනු ලැබේ. මෙය තේරුම් ගැනීමට දුෂ්කර අප්‍ර‍කට චෛතසිකයෙකි.