1. චෛතසික දෙපනස

මඳකුදු පෙර පසු නො වී සිත හා එකට ඉපදීම ය. එකට ම නිරුද්ධ වීම ය, සිතින් ගන්නා අරමුණ ම ගැනීම ය, සිත උපදනා තැන ම ඉපදීමය යන කරුණු සතරින් සිත හා සම්ප්‍රයෝග වන ධර්මයෝ චෛතසිකයෝ ය.

සම්ප්‍රයෝග වීමය යනු කවර ආකාරයකින් වත් වෙන් කළ නො හෙන පරිදි මිශ්‍ර‍වීම ය. එකට ඉපදීම ආදි කරුණු සතරට “සම්ප්‍රයෝග ලක්ෂණ සතරය” යි කියනු ලැබේ.

චෛතසික දෙපනසක් ඇත්තේ ය. ඒ සියල්ල ම එක සිතක් හා එක වර ම උපදින්නේ නො වේ. එක් එක් සිතක් සමඟ උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍යය සිදුකිරීමට වුවමනා චෛතසික පමණෙකි. ආලෝකය හා අන්ධකාරය මෙන් එකිනෙකට විරුද්ධ චෛතසික ද ඇත්තේ ය. අන්‍යොන්‍ය විරුද්ධ චෛතසිකයෝ කිසි කලෙක එකට නූපදිති. එබැවින් චෛතසික දෙපනසට ම එක් සිතක් හා බැඳී එක වර නූපදිය හැකිය.

එක් සිතක් සමඟ එක වරකට උපදනා වැඩිම චෛතසික ගණන සතිසකි. හත, දහය, එකොළොස, දොළොස යනාදි ගණන් ඇති චෛතසික සමූහයෝ ඒ ඒ සිත් හා උපදිති.

චෛතසිකයන්ගේ සහයෝගය නැති ව සිතකට නූපදිය හැකිය. සිතේ සහයෝගය නැතිව චෛතසිකයකට ද නූපදිය හැකි ය. එබැවින් සිතත්, ඒ සිතින් සිදුකරන කෘත්‍යය සිදු කිරීමට වුවමනා චෛතසික සමූහයත්, පෙර පසු නොවී එක වර ම ඉපදිය යුතු ය. සිත හා එක වරට ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කීයේ එහෙයිනි.

ලීයක අරටුව ඉතිරි වී ඵළය පළමුවෙන් දිරා නැති වී යන්නාක් මෙන්, එක් චිත්ත චෛතසික රාශියකට අයත් ධර්මයන්ගෙන් සමහරක් ඉතිරි වෙද්දී සමහරක් නැති වන්නේ නො වේ. එකක් නිරුද්ධ වෙතොත් එය හා සමඟ ම නිරුද්ධ නොවී අනික් ඒවාට නො පැවතිය හැකිය. එබැවින් සිත හා එක වරම නිරුද්ධ වන බවත් චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

අරමුණ ගැනීම සිතට අයත් කෘත්‍යය ය. සිතින් කරන එකම වැඩේ අරමුණ ගැනීම ය. අරමුණෙහි රසය විඳීම, අරමුණට ඇලුම් කිරීම, විරුද්ධවීම යන ආදිය චෛතසිකයන්ට අයත් කෘත්‍යයෝ ය. යම් අරමුණක් ගන්නා සිතක් හා උපදනා චෛතසිකයන් කරන්නේ, ඒ සිතින් ගන්නා ලද අරමුණෙහි රස විඳීම, ඒ අරමුණට ඇලුම් කිරීම, ඒ අරමුණට විරුද්ධව වීම යනාදියය. එබැවින් සිතින් ගන්නා අරමුණ ම ගන්නා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය. යම් කිසි ස්ථානයක සිත උපදී නම්, ඒ සිත හා උපදනා චෛතසිකයෝ ද ඒ ස්ථානයෙහි ම ඒ වස්තුව ම ඇසුරු කර ගෙන උපදී. එබැවින් සිත උපදින තැන ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

අන්‍යසමාන රාශිය ය - අකුශල රාශිය ය - ශෝභන රාශිය ය කියා චෛතසික රාශි තුනක් ඇත්තේ ය. සර්වචිත්ත සාධාරණ චෛතසික සත ය - ප්‍ර‍කර්ණක චෛතසික සය ය කියා අන්‍යසමාන රාශියට අයත් චෛතසික තෙළෙසකි. අකුසල රාශියට අයත් චෛතසික තුදුසෙකි. ශෝභන සාධාරණ චෛතසික එකුන් විස්ස ය - විරති චෛතසික තුන ය - අප්‍ර‍මාණ්‍ය චෛතසික දෙක ය - ප්‍ර‍ඥා චෛතසික ය යන චෛතසික පස් විස්ස ශෝභන රාශියට අයත් චෛතසිකයෝ ය.

ප්‍ර‍ශ්න

  1. චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණ සතර කවරහු ද?
  2. සම්ප්‍රයෝග වීමය යන්නෙහි තේරුම කුමක් ද?
  3. චෛතසික සියල්ල ම එක සිතක නූපදින්නේ කුමක් නිසා ද?
  4. සිතට පෙර පසු වී චෛතසික නූපදිය හැක්කේ මක්නිසා ද?
  5. සිත නිරුද්ධ වීමෙන් පසු චෛතසිකයෝ පවතිත් ද?
  6. සිතට කලින් චෛතසිකයන්ට නිරුද්ධ විය හැකි ද?
  7. චෛතසික කොතෙක් ද?
  8. චෛතසික රාශි තුන කවරහු ද?
  9. ඒ ඒ චෛතසික රාශියට අයත් චෛතසික ගණන දක්වන්න.