7. ලෝභමූල සිත් අට උපදනා සැටි

(1) “පොහොසතා වෙත වැඩිපුර ඇති දෙය ගැනීමේ වරදක් නැත. අධර්මයෙන් උපයා තිබෙන මේ වස්තුව ගැනීමේ වරදක් නැත.” යනාදීන් යම් කිසි මිථ්‍යා අදහසක් පෙරටු කොට ගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුන් අයත් වස්තුව සොරා ගැනීම, “මේවා අපට දෙවියන් දුන් ඒවාය” කියා මිථ්‍යා අදහසක් පෙරදැරි කරගෙන කාගේවත් මෙහෙයීමක් නැති ව මහත් සතුටින් රස විඳිමින් බොජුන් වැළඳීම යනාදියෙහි සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංකාරික සිත උපදී.

(2) අනිකකුගේ මෙහෙයීමකින් හෝ පසු බස්නා වූ තමාගේ සිත තමා විසින් ම උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කරන්නහුට සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

(3) යම්කිසි දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනකුගේ මෙහෙයීමක් ද නැතිව සතුටින් අන්සතු වස්තුව සොරා ගැනීම, දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනකුගේ මෙහෙයීමක් ද නැතිව සතුටින් රස බොජුන් වැළඳීම යනාදිය කිරීමේ දී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

(4) අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් ම තමාගේ සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

(5) “වැඩිපුර ඇති මිනිසාගෙන් ගත්තාට පවක් නැත.” යනාදීන් යම්කිසි මිථ්‍යා අදහසක පිහිටා කාගේවත් මෙහෙයවීමක් ද නැතිව ප්‍රීතියෙන් ද තොරව අන්සතු වස්තුව සොරකම් කිරීම: මේවා දෙවියන් දුන් ඒවාය යනාදීන් මිථ්‍යා අදහසක් පෙරදැරි කරගෙන ප්‍රීතියක් හා කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව සුරා පානය කිරීම යනාදිය කරන්නහුට උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

(6) අනුන් ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් පසුබස්නා සිත උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

(7) මිථ්‍යාදෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන, ප්‍රීතියකුත් නැති ව, කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව, අදත්තාදානාදිය කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

(8) කෙනකු ගේ මෙහෙයීමෙන් හෝ තමා විසින් ම පසුබස්නා සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ එසේ කරන්නහුට උපේක්ෂා සසහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

විපාක දීමේදී අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරීම් වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹු-දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබල ය. ඒවායේ විපාක දීම ද අනියත ය. දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අකුසල සිත බලවත් ය. සසංඛාරික සිතට වඩා අසංඛාරික සිත බලවත් ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය.

ප්‍ර‍ශ්න

  1. දෙවියන් දුන් දරුවාය කියා තමා ගේ දරුවා සිප වැළඳගන්නා මවට ඇති වන සිත කුමක් ද?
  2. මිත්‍ර‍යකුගේ ආමන්ත්‍ර‍ණයෙන් ගොස් නාට්‍යයක් බලා ප්‍රීති වන්නහුට උපදනා සිත කුමක් ද?
  3. ලස්සන බලු පැටවකු දැක ආදරය ඇති වී ඌට කෑමක් දෙන්නහුට ඇති වන සිත කුමක් ද?
  4. හිතවතුන්ගේ ඉල්ලීම නිසා කැමැත්තක් නැති රසවත් අහරක් වළඳන කෙනකුට ඇති වන සිත කුමක් ද?
  5. අනුන්ට වඩා ලස්සන වීමේ බලාපොරොත්තුවෙන් හොඳ ඇඳුමක් ඉතා ඕනෑ කමින් මහත් සතුටින් අඳින්නහුට ඇති වන සිත කුමක් ද?
  6. ලෝභ මූල සිත් වලින් විපාක දීමේ ශක්තිය ඉතා ම වැඩි සිත කුමක් ද?
  7. විපාක දීමේ ශක්තිය ඉතා ම අඩු ලෝභ මූල සිත කුමක් ද?