6. ලෝභමූල සිත් ඇති වන අවස්ථා

අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිසුණාවාචය, සම්පප්‍ර‍ලාපය, අභිධ්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්ම පථ සත කෙරෙන්නේ, ලෝභමූල සිත් වලිනි.

තව ද සුරාපානය - සූදුව - අල්ලස් ගැනීම, අල්ලස් දීම, රස විඳිනු පිණිස නැටීම හා නැටුම් බැලීම, වීණා ආදිය වාදනය කිරීම හා ඇසීම, ගී කීම හා ඇසීම, ආස්වාදය පිණිස සුවඳ ඇඟ ගැල්වීම, ලස්සන ඇඳුම් පැළඳුම් හැඳීම, පැළඳීම, ආස්වාදය පිණිස මිහිරි බොජුන් වැළඳීම, මිහිරි පානයන් බීම, රස විඳිනු පිණිස ලස්සන දේවල් බැලීම, ක්‍රීඩා කිරීම, ක්‍රීඩා බැලීම, ධනය සැපයීම සඳහා නොයෙක් දේ කිරීම, ධනය ලබා ගැනීම, ලබා ගත් ධනය ආරක්ෂා කිරීම, ප්‍රිය වස්තූන් ලැබීම සඳහා ධනය දීම, ඇඳුම් පැළඳුම් ගෙවල් රිය ආදි ප්‍රිය වස්තූන් පිළියෙළ කිරීම, ඒවා පරිභෝග කිරීම යන මේවායේ දී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

තරුණ තරුණියන් ඔවුනොවුන් දැකීමේ දී ඔවුනොවුන් හා කථා කිරීමේදී ඔවුනොවුන් හා ගනුදෙනු කිරීමේදී අඹුසැමියන් ඔවුනොවුන් දැකීමේදී ප්‍රිය කථා කිරීමේදී භාර්‍ය්‍යාවන්ට දූ දරුවන්ට ලස්සන ඇඳුම් පැළඳුම් සැපයීමේදී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. විනෝද ගමන් යෑමේදී ද බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. දූ දරුවන් පෝෂණය කිරීමේදී ඔවුන් සුරතල් කිරීමේ දී ඔවුනට ආවාහ විවාහ කරදීමේදී බොහෝ කොට ඇති වන්නේ ලෝභ මූල සිත් ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන සාමාන්‍ය ජනයාට නින්දට යන තුරු දවස මුළුල්ලේ ඇති වන සිත්වලින් වැඩි කොටස ලෝභ මූල සිත් බව ම කිය යුතු ය.

ශ්‍ර‍ද්ධාව - මෛත්‍රිය - කරුණාව පෙරදැරි කර ගෙන ධන සැපයීම් ආදිය කරන්නවුනට ඒවායේදී අකුසල් සිත් ඇති නො වේ. ප්‍රයෝජනාදිය සලකමින් නුවණ පෙරදැරි කරගෙන ධන සැපයීම් ධනය පරෙස්සම් කිරීම්, වියදම් කිරීම්, ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයීම් හැඳීම් කෑම් පීම් කරන්නහුට ද අකුසල් සිත් ඇති නො වේ.

රසය ගැන අපේක්ෂාවෙන් හෝ ශරීරය ලක්ෂණ කර ගැනීම් ආදිය ගැන අපේක්ෂාවෙන් හෝ ආහාරයක් පිළියෙළ කරන්නා හට ද වළඳන්නාහට ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

සාගින්න සන්සිඳවා ගැනීම, ජීවිතය පවත්වා ගැනීම අපේක්ෂා කොට ආහාරයක් පිළියෙළ කරන්නා හට ද ඇති වන්නේ අකුසල් සිත් නොවේ.

ලස්සන වීමේ අපේක්ෂාවෙන් - අනුන්ගේ සිත් ගැනීමේ අපේක්ෂාවෙන් - උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ අපේක්ෂාවෙන් ඇඳුම් පැළඳුම් පිළියෙළ කිරීමේදී ද හැඳීමේ පැළඳීමේ දී ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

දකින්නවුන් පිළිකුල් කරන තැන් වසා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ශීත නැති කර ගැනීමේ-උෂ්ණය නැතිකර ගැනීමේ - මැසි මදුරුවන් ගෙන් ආරක්ෂා වීමේ බලාපොරොත්තුවෙන් ඇඳුම් පිළියෙළ කරන්නා වූ ද, හඳින්නා වූ ද තැනැත්තාට අකුසල් සිත් ඇති නොවේ.

ඇඳුම ලස්සන නැති බව නිසා දක්නවුන් කරන අවමානයෙන් මිදීමේ අපේක්ෂාවෙන් ලස්සන ඇඳුමක් වටිනා ඇඳුමක් පිළියෙළ කිරීමේදී ද හැඳීමේදී ද අකුසල් සිත් ඇති නො වේ.

කන සැටි බලා විනෝදය ලබනු පිණිස සතුන්ට කුඩා ළමුන්ට කෑම දීමේදී ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය. සතුන්ට අනුග්‍ර‍හයක් වශයෙන් කෑම දෙන කල්හි ඇති වන්නේ කුසල් සිත් ය.

ලස්සන සතුන් දැක අල්ලා ගැනීමේදී ද, ලස්සන බලනු පිණිස ඔවුන් පෝෂණය කිරීමේදී ද ඇති වන්නේ ලෝභ මූල සිත්ය.

ප්‍ර‍ශ්න

  1. ලෝභමූල සිත්වලින් සිදුවන අකුශල කර්මපථ කවරහු ද?
  2. ලෝභමූල සිත්වලින් සිදුවිය හැකි තවත් ලොකු පව් මොනවාද?
  3. ලෝභමූල සිත්වලින් ඇඳුමක් අඳින්නේ කෙසේද?
  4. පව් සිත්වලින් තොර ව ලස්සන ඇඳුමක් අඳින්නේ කෙසේ ද?
  5. සතකුට කෑම දීමේ දී ලෝභමූල සිත් ඇති වන්නේත් නො වන්නේත් කෙසේ ද?