5. කාමාවචර සිත් සිවුපනස

අකුසල් සිත් දොළොස ය, අහේතුක සිත් අටළොසය, කාමාවචර සෝභන සිත් සූවිස්ස ය යි කාමාවචර සිත් සිවුපනසෙකි.

අකුසල් සිත්

යමකුගේ සන්තානයෙහි ඇති වුව හොත් අනාගතයෙහි ඔහුට අනිෂ්ට විපාක ඇති කරන්නා වූ සිත් අකුසල් සිත් නම් වේ.

ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තේ ය. ඒ තුන චෛතසික තුනෙකි. සාමාන්‍යයෙන් එකක් වන අකුසල් සිත ලෝභාදි ගුන හා එක්වීම නිමිත්ත කොට ලෝභ මූල සිත ය, ද්වේෂ මූල සිත ය, මෝහ මූල සිත ය, කියා තුනට බෙදේ.

ලෝභමූල සිත් අට

මේ දේ හොඳ ය, ලස්සන ය, මිහිරි ය කියා ඒ ඒ දේවලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය ලෝභය ය. ආශාවය - ඕනෑකම ය - රාගය ය - ගිජු කම ය - කැතකම ය - ආදරය - ප්‍රේමය යන නම් වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය. ඒ ලෝභයෙන් යුක්ත වන සිත සෝමනස්ස සහගත සිතය, උපේක්ෂා සහගත සිතය කියා නැවතත් දෙකට බෙදෙන්නේ ය.

සිත යනු යම්කිසිවක් පිළිබඳ ව ඇති වන දැනීම බව ඉහත කියා ඇත. මේ ධර්මයෙහි සිතට දැනෙන දෙයට කියන නම (ආරම්මණය) අරමුණ යනුයි. එක් සිතක් තවත් සිතකට දැනෙන බැවින් සිත ද අරමුණකි. සෑම අරමුණක ම හොඳ බව ය, නරක බව ය, මධ්‍යම බව ය යන මේ ගුණ තුනෙන් එකක් ඇත්තේ ය. ඒ ගුණවලට අරමුණු රසය යි කියනු ලැබේ. කවර අරමුණක් හෝ ගනිමින් සිතක් උපදිත හොත් ඒ සිත සමග බැඳී ඒ අරමුණේ රසය වළඳන්නා වූ විඳින්නා වූ ස්වභාවයක් ද ඇති වේ. සිත සමග ඇතිවන්නා වූ අරමුණෙහි මිහිර විඳින්නා වූ ස්වභාවයට සෝමනස්ස වේදනාවය යි ද, අරමුණෙහි මධ්‍යම බව වූ රසය විඳින ස්වභාවයට උපේක්ෂා වේදනාවය යි ද, අරමුණෙහි නරක බව විඳින්නා වූ ස්වභාවයට දෝමනස්ස වේදනාවය යි ද කියනු ලැබේ. ලෝභ සහගත සිත කිසි කලෙක දෝමනස්ස වේදනාවෙන් යුක්ත නො වේ. ලෝභ මූල සිත උපදනා කල්හි ආරම්මණයා ගේ හොඳ බව හෝ මධ්‍යම බව හෝ විඳීමත් සමග ම උපදී.

අරමුණෙහි හොඳ බව විඳීම ය, මධ්‍යම බව විඳීම ය, යන මේ කරුණු දෙකින් එකක් වූ ලෝභමූල සිත සෝමනස්ස සහගත සිත ය, උපේක්ෂා සහගත සිත ය කියා දෙකට බෙදේ. සෝමනස්ස සහගත සිත ය යනු සෝමනස්ස වේදනාවෙන් යුක්ත වන සිත ය. උපේක්ෂා සහගත සිත යනු උපේක්ෂා වේදනාවෙන් යුක්ත වන සිත ය. සතුට යනු ද සෝමනස්ස වේදනාවට ව්‍යවහාර කරන තවත් නමෙකි.

මේ සිත් දෙකින් එක එකක් නැවත ද දෙකට බෙදෙන්නේ ය. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවක දී මේ ලෝභ මූල සෝමනස්ස සහගත චිත්තය; පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වල විපාකයක් නැත, පරලොවක් නැත, කුමක් කළත් වරද නැත යනාදීන් පවත්නා මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වේ. සමහර අවස්ථාවකදී මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත නො වේ. දෘෂ්ටියට දෘෂ්ටිගත යයි ද කියනු ලැබේ. ඉහත දැක්වුණු ලෝභ මූල සිත් දෙකින් සෝමනස්ස සහගත චිත්තය දෘෂ්ටියෙන් යුක්ත වීම ය, නොවීම ය යන කරුණු දෙකින් සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත චිත්තය, සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත චිත්තය කියා දෙකකට බෙදේ. උපේක්ෂා සහගත සිත ද එසේ ම උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත චිත්තය, උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත චිත්තය කියා දෙකට බෙදේ. මෙසේ බෙදීමෙන්‍ ලෝභ මූල සිත් සතරක් වේ.

ඒ සිත් සතරෙන් පළමුවැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත නැවත ද දෙකට බෙදේ. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයුමක් - උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද, මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ. ඉතිරි සිත් තුන ද එසේ සඞ්ඛාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදෙන කල්හි ලෝභ මූල සිත් අටක් වේ. ඒ සිත් අට මෙසේ ය.

  1. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  2. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,
  3. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  4. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,
  5. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  6. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,
  7. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  8. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,

ප්‍ර‍ශ්න

  1. කාමාවචර සිත් සිවුපනස කවරහු ද?
  2. අකුසල් සිත්ය කියනුයේ කෙබඳු සිත්වලට ද?
  3. අකුශල මූලයෝ කවරහු ද?
  4. ලෝභය යනු කුමක් ද?
  5. ලෝභය කියැවෙන තවත් වචන මොනවා ද?
  6. අකුශල චිත්තය පළමු කොට බෙදෙන්නේ කෙසේද?
  7. ලෝභමූල සිත් අටක් වන්නේ කවර ධර්මයන්ගේ වශයෙන් බෙදී යෑමෙන් ද?
  8. වේදනාව කී ආකාර ද?
  9. සෝමනස්ස වේදනාව යනු කුමක්ද?
  10. උපේක්ෂා වේදනාව යනු කුමක්ද?
  11. දෘෂ්ටිය යනු කුමක් ද?
  12. අසංස්කාරික සිත යනු කුමක් ද?
  13. සසංස්කාරික සිත යනු කුමක් ද?