15. අරූපාවචර සිත් දොළොස

star_outline

රූපයන් ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍ර‍ණීත බවට පත් කරන ලද පඤ්චම ධ්‍යාන චිත්තය “අරූපාවචර චිත්තය” යි කියනු ලැබේ. එය ද රූපාවචර චිත්තය සේ ම කුශල - විපාක - ක්‍රියා වශයෙන් තුනට බෙදෙන්නේ ය.

අරූපාවචර කුසල් සිත් සතර

  1. ආකාසානඤ්චායතන කුසල් සිත ය
  2. විඤ්ඤාණඤ්චායතන කුසල් සිත ය
  3. ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත ය
  4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල් සිත ය

කියා ආරම්මණ භේදයෙන් අරූපාවචර කුසල් සිත් සතරක් වේ. ආරම්මණයන් ගේ වශයෙන් භේදයට පැමිණෙන්නා වූ එක ම සිත මේ අරූපාවචර සිත ය. අරූපාවචර සිත් උපදවා ගත හැක්කේ රූපාවචර පඤ්චමධ්‍යානය උපදවා ගත් අයට පමණි. රූපාවචර පඤ්චමධ්‍යානය ලබා ගත් අය ගෙන් ඇතැමෙක් රූප - කය පරිහරණය කිරීමේ කරදරය දැක, රූප - කය නිසා ම සත්ත්වයන්ට බොහෝ දුක් ඇති වන බව දැක රූප - කය කෙරෙහි කලකිරී, අරූපී ආත්ම භාවයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අරූප ධ්‍යාන උපදවති.

අරූප ධ්‍යාන උපදවන්නේ මෙසේ ය:- රූපාවචර පඤ්චමධ්‍යානලාභියා ආකාස කසිණයෙන් අන්‍ය වූ කසිණයක් අරමුණු කරන පඤ්චම ධ්‍යාන චිත්තයෙන් මඳ වෙලාවක් හිඳ, තමා ගේ ධ්‍යාන චිත්තය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ධ්‍යාන චිත්තයේ අරමුණ වූ කසිණ නිමිත්ත දෙස සිතින් බලා ගෙන, එය රූපයක් සේ නො සිතා, ආකාශය ය කියා සිතන්නට හෙවත් භාවනා කරන්නට පටන් ගනී. එසේ භාවනා කරන කල්හි රූප කසිණ නිමිත්ත නැති වී, පළමු කසිණ නිමිත්ත පෙනුණු තැන ආකාශය පෙනෙන්නට වේ. කසිණයෙන් ගන්නා ලද්දක් නිසා ඒ පෙනෙන ආකාශයට “කසිණුග්ඝාටිමාකාසය” යි කියනු ලැබේ. ඉදිරියට “ආකාශය - ආකාශය” කියා භාවනා කරන කල්හි කලින් රූප නිමිත්තක පැවැති රූපාවචර පඤ්චම ධ්‍යානය ඒ ආකාශය අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පඤ්චම ධ්‍යානය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීම ය. රූප නිමිත්තයෙන් බැහැර කර ගන්නා ලද ඒ පඤ්චම ධ්‍යාන සිත, පළමු වන අරූපාවචර සිත ය.

ඒ සිතට අරමුණු වන ආකාශය යෝගාවචරයා ගේ සිතට පමණක් ඇති සැටියට දැනෙනවා මිස ඇත්තට ම ඇති දෙයක් නො වේ. එය ප්‍ර‍ඥප්තියකි. සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ ආකාශයට පළමුවෙන් ඇති වීම වූ මුල් කොන ද නැත්තේ ය. නැති වී යෑම වූ අන්තිම කොන ද නැත්තේ ය. එබැවින් එයට අනන්තාකාශ යයි කියනු ලැබේ. අනන්තාකාශය අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත වන බැවින් පළමු වන අරූපාවචර කුසල් සිතට “ආකාසානඤ්චායතන කුසල් සිත ය” යන නම දී තිබේ.

ආකාසානඤ්චායතන කුසල් සිතය යන්නෙහි තේරුම, අනන්තාකාසය අරමුණු කොට පවත්නා කුසල් සිත ය යනු යි.

ආකාසානඤ්චායතන ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමා ගේ ධ්‍යානය තවත් රූප නිමිත්තයෙන් ඈත් කරනු පිණිස, පළමුවන අරූපාවචර චිත්තයේ අරමුණු වන ආකාශය හැර දමා, ඒ සිත පමණක් ගෙන, එය අරමුණු කරමින් “විඤ්ඤාණය, විඤ්ඤාණය” කියා භාවනා කරන්නට පටන් ගනී. එසේ කරන කල්හි පළමු වන අරූප චිත්තය අරමුණු කරන, විඤ්ඤාණඤ්චායතන කුශල චිත්තය ඔහුට උපදී.

විඤ්ඤාණඤ්චායතන කුසල් සිත ය යන්නෙහි තේරුම, විඤ්ඤාණය අරමුණු කොට පවත්නා ධ්‍යානයෙන් යුක්ත සිත ය යනුයි.

ධ්‍යාන ලැබූ අයට වුව ද ධ්‍යාන චිත්තය නිතර ඇත්තේ නො වේ. අන් සිතකින් වෙසෙන අවස්ථාවලදී ධ්‍යාන චිත්තය නැත. දෙවන අරූප ධ්‍යානය ලැබූ යෝගාවචරයා තුන් වන අරූප ධ්‍යානය ලැබීම සඳහා පළමු වන අරූප ධ්‍යාන චිත්තයේ නැති බව මෙනෙහි කිරීම් වශයෙන් “නත්ථි කිඤ්චි - නත්ථි කිඤ්චි” යි භාවනා කරයි. එසේ කරන කල්හි පළමු වන අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කෙරෙමින් තුන් වන අරූපධයාන චිත්තය වූ ආකිඤ්චඤ්ඤායතන කුශල චිත්තය උපදී.

ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත ය යන්නෙහි තේරුම පළමු වන අරූපාවචර චිත්තයා ගේ නැති බව අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත සිත ය යනුයි.

තුන් වන අරූපධ්‍යානය ලැබූ යෝගාවචරයා, සතර වන අරූප ධ්‍යානය ලබනු පිණිස, තමා ලබා සිටින තුන් වන අරූප ධ්‍යාන චිත්තය ගෙන, “මෙය ශාන්තය - මෙය ප්‍ර‍ණීතය” කියා භාවනා කරන්නට පටන් ගනී. ඒ භාවනාවෙන් තුන් වන අරූප ධ්‍යාන චිත්තය අරමුණු කොට, සතර වන අරූප ධ්‍යාන චිත්තය උපදී. එය සියුම් කමින් අග තැන් පත් සිත ය. එයට වඩා සියුම් තවත් සිතක් නැත්තේ ය. එහි සියුම් කම කොතරම් ද කියත හොත්, ඒ සිතින් යුක්ත ව වෙසෙන යෝගාවචරයා හට “සිතක් ඇතුව විසුවා ද, සිතින් තොරව ම විසුවා ද” කියා දැන ගැනීමටත් අපහසු තරම් ය. ඉතා සියුම් බැවින් ඒ සතර වන අරූපධ්‍යාන චිත්තයට නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත” යි කියනු ලැබේ.

නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත යන්නෙහි තේරුම, සංඥාවක් ඇත්තේත් නැති, නැත්තේත් නැති තරමට සියුම් වූ කුසල් සිත ය යනුයි.

ප්‍ර‍ශ්න

  1. “අරූපාවචර චිත්තය” යි කියනුයේ කෙබඳු සිතකට ද?
  2. අරූපාවචර චිත්තය ප්‍රභේදයට පැමිණෙන්නේ කුමකින් ද?
  3. අරූපාවචර සිත් සතරේ අරමුණු කවරේ ද?