14. රූපාවචර සිත් පසළොස

star_outline

රූපාවචර - අරූපාවචර - ලෝකෝත්තර සිත් තුන් වර්ගය පොදු ජනයාට ඇති නො වන, පෙර පින් හා මහා වීර්‍ය්‍ය ඇති, කාමාශාවන් බැහැර කළ, උසස් පුද්ගලයන් ටික දෙනකුට පමණක් ඇති වන, විශේෂ සිත් කොටසෙකි. පොදු ජනයාට ඇති වන්නේ කාම සිත් පමණකි. ඒවායින් ද, හසිතුප්පාදය හා මහා ක්‍රියා සිත් අට ඔවුනට ඇති නො වේ.

රූපාවචරාදි සිත්වලට “ධ්‍යාන සිත් ය” යි කියනු ලැබේ. ඒවා කාමාවචර සිත්වලට වඩා බොහෝ වෙනස් ය. උසස් ය. බලවත් ය. සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කළ හැකි වන්නේ ඒ සිත්වල බලයෙන් ය.

රූපාවචර චිත්තය: කුශල - විපාක - ක්‍රියා වශයෙන් තුන් කොටසකට බෙදේ. ඒ එක් එක් කොටසක් නැවත ධ්‍යානයන් ගේ වශයෙන් පසට පසට බෙදේ. එසේ වීමෙන් රූපාවචර සිත් පසළොසක් වේ.

කාමාවචර සිත් වලට ශක්තිය ඇත්තේ අරමුණ යන්තමට ගැනීමට ය. අරමුණ හොඳින් ගත හැකි (දත හැකි) ශක්තිය ඇත්තේ ධ්‍යාන සිත් වලට ය. ධ්‍යාන සිත් තමන් විසින් ගන්නා කසිණාදි ආරම්මණය බදා ගන්නාක් මෙන් ඉතා හොඳින් ද, තදින් ද, ගන්නේ ය. ධ්‍යාන සිතට එසේ කළ හැකි වන්නේ ධ්‍යානයේ බලයෙනි.

ප්‍ර‍ථම ධ්‍යානය - ද්විතීය ධ්‍යානය - තෘතීය ධ්‍යානය - චතුර්ථ ධ්‍යානය - පඤ්චම ධ්‍යානය කියා ධ්‍යාන පසක් ඇත්තේ ය. ඒවා චෛතසික ධර්ම සමූහයෝ ය. ප්‍ර‍ධාන ධ්‍යානාඞ්ගය බලවත් වූ ඒකාග්‍ර‍තාව ය. පොදු ජනයා ගේ සිතෙහි ද දුබල ඒකාග්‍ර‍තාවක් ඇත්තේ ය. එය එක අරමුණක සිත බොහෝ වේලාවක් පැවැත්වීමට සමත් නො වේ. ධ්‍යාන ඒකාග්‍ර‍තාව වනාහි බොහෝ වේලාවක් එක අරමුණක සිත පැවැත්වීමට සමත් වේ. ධ්‍යාන ලාභීන්ට පැය ගණනක් වුව ද දවස මුළුල්ලෙහි ම වුව ද තමන් ගේ සිත එක අරමුණේ ම පැවැත්විය හැකි ය.

ඒකාග්‍ර‍තාවට හෙවත් සමාධියට “විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, උපේක්ෂාව ය” යි උපකාරක ධර්ම පසක් ඇත්තේ ය. සමාධි චිත්තයට පසු බසින්නට හැකිලෙන්නට නො දී විතර්කය යෝගාවචරයා ගේ සිත නැවත නැවත අරමුණට යවයි. විචාරය අරමුණ පිරිමදී. සිත ප්‍රබෝධ කරයි. සුඛයෙන් ආස්වාදය ඇති කරයි. විතර්කාදී ධර්ම සතරේ උපකාරයෙන් සමාධිය බලවත් වී ප්‍ර‍ථම ධ්‍යානය සෑදේ. අන්‍යොන්‍ය සම්බන්ධයෙන් යුක්ත වන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා යන ධර්ම පස ප්‍රථම ධ්‍යානය ය.

ප්‍ර‍ථම ධ්‍යානය ලැබූ තැනැත්තා ඉදිරියට ද භාවනාවෙහි යෙදෙන කල්හි විතර්කයෙන් තොරව පැවැත්විය හැකි තත්ත්වයට සමාධිය දියුණු වේ. එකල්හි ඔහුට විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍ර‍තා යන චතුරඞ්ගයෙන් යුක්ත ද්විතීය ධ්‍යානය පහළ වේ. යෝගාවචරයා නැවත භාවනා කරන කල්හි ක්‍ර‍මයෙන් සමාධිය දියුණු වී ප්‍රීති, සුඛ, ඒකාග්‍ර‍තා යන අඞ්ග තුනෙන් යුක්ත වන තෘතීය ධ්‍යානය ද, සුඛ ඒකාග්‍ර‍තා යන අඞ්ග දෙකින් යුක්ත වන චතුර්ථ ධ්‍යානය ද උපේක්ෂා, ඒකාග්‍ර‍තා යන අඞ්ග දෙකින් යුක්ත වන පඤ්චම ධ්‍යානය ද ඇති වේ. ධ්‍යානයෙන් යුක්ත වන සිත්වලට ‘ධ්‍යාන සිත්ය’ යි කියනු ලැබේ.

රූපාවචර කුසල් සිත් පස

  1. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ප්‍ර‍ථම ධ්‍යාන සිතය
  2. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ද්විතීය ධ්‍යාන සිතය
  3. ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත තෘතීය ධ්‍යාන සිතය
  4. සුඛ ඒකාග්‍ර‍තා සහිත චතුර්ථ ධ්‍යාන සිතය
  5. උපේක්ෂා ඒකාග්‍ර‍තා සහිත පඤ්චම ධ්‍යාන සිතය

යි රූපාවචර කුසල් සිත් පසෙක් වේ.

රූපාවචර විපාක සිත්

රූපාවචර ධ්‍යාන උපදවා ගත් තැනැත්තා ධ්‍යානයෙන් නො පිරිහී කලුරිය කළ හොත් වැරදීමක් නැති ව බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදින්නේ ය. මරණයට අනතුරුව ම ඔහුට ඔහු ගේ රූපාවචර කුශලයේ ආනුභාවයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි රූපාවචර ධ්‍යාන චිත්තයක් පහළ වේ. ඒ සිත එහි පහළ වීම බ්‍ර‍හ්ම ලෝකයේ ඉපදීම ය. රූපාවචර කුශල ධ්‍යානයෙන් උපදවා ගත් අයට මරණින් මතු ඒ කුශල ධ්‍යාන චිත්තයන් ගේ ආනුභාවයෙන් බ්‍ර‍හ්ම ලෝකයේදී උපදනා ධ්‍යාන සිත් රූපාවචර විපාක සිත් ය. එක් එක් කුශල ධ්‍යාන සිතකට විපාක සිත් ද එක බැගින් ඇති බැවින් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ප්‍ර‍ථම ධ්‍යාන චිත්තය යනාදි වශයෙන් රූපාවචර විපාක සිත් ද පසක් ඇත්තේ ය.

රූපාවචර ක්‍රියා සිත්

ධ්‍යාන සුවයෙන් විසිය හැකි වනු පිණිස ද, සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ බලය ලබනු පිණිස ද, රහත්හු ද සමහර විට ධ්‍යාන උපදවති. එසේ රහතුන් විසින් උපදවන රූපාවචර ධ්‍යාන සිත්වල, මතු විපාක ඇති කිරීමේ ශක්තිය නැති බැවින් රූපාවචර ක්‍රියා නම් වෙයි. රූපාවචර ක්‍රියා සිත් ද විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ප්‍ර‍ථම ධ්‍යාන සිත ය යනාදීන් කුසලය සේ ම පසෙක් වේ.

“කුසල් සිත් පස ය, විපාක සිත් පස ය, ක්‍රියා සිත් පස යයි රූපාවචර සිත් පසළොසෙකි.

මේ ධ්‍යාන සිත්වල සුඛ වන වචනයෙන් කියැවෙන්නේ සෝමනස්සය ම ය. උපේක්ෂා යනුවෙන් කියැවෙන්නේ උපේක්ෂා වේදනාව ය. මේ සිත්වල ප්‍ර‍ථම - ද්විතීය - තෘතීය - චතුර්ථ ධ්‍යාන චිත්තයෝ සෝමනස්ස සහගත සිත් ය. රූපාවචර සිත් පසළොසෙහි ප්‍ර‍ථමාදි ධ්‍යාන සිත් තුන බැගින් ඇත්තේ ය. සෝමනස්ස සහගත සිත් දොළොසක් ඇත්තේ ය. උපේක්ෂා සහගත සිත් තුනක් ඇත්තේ ය.

රූපාවචර - අරූපාවචර - ලෝකෝත්තර සිත්වල අසඞ්ඛාරික සසඞ්ඛාරික භාවය විචාරණයෙන් අභිධර්මය උගෙනීමේ දී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. ස්වරූප බෙදීමේදී සිත් ගණන් ගැනීමේ පහසුව සඳහා ඒවා සසංස්කාරික සිත්වලට ගණන් ගනිති.

ප්‍ර‍ශ්න

  1. රූපාවචර සිත් කාට ඇති වන ඒවා ද?
  2. රූපාවචරාදි සිත් තුන කොටසට පොදු නම කුමක් ද?
  3. රූපාවචර චිත්තය පසළොස් වැදෑරුම් වන්නේ කෙසේ බෙදීමෙන් ද?
  4. ධ්‍යාන කොතෙක් ද?
  5. ධ්‍යාන සිතේ හා කාමාවචර සිතේ වෙනස කවරේ ද?
  6. ප්‍ර‍ධාන ධ්‍යානාඞ්ගය කුමක් ද?
  7. විපාක දීමේදී රූපාවචර කුශලයේ හා කාමාවචර කුශලයේ වෙනස කුමක් ද?
  8. රූපාවචර විපාක චිත්තය යනු කුමක් ද?
  9. රූපාවචර ක්‍රියා සිත් කෙබඳු සිත් කොටසක් ද?
  10. රූපාවචර සෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
  11. උපේක්ෂා සහගත සිත් කොතෙක් ද?