11. අහේතුක ක්‍රියා සිත් තුන

star_outline

විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකත් නො වන සිත්වලට ක්‍රියා සිත්ය යි කියනු ලැබේ. යම්කිසි කෘත්‍යයක් සිදුකිරීම හැම සිතකම ස්වභාවය ය. විපාක උපදවන සිත්වලට කුසල්ය, අකුසල් ය යන නම් දුන් බැවිනුත් ඒවායින් උපදවන සිත්වලට විපාක යන නම දුන් බැවිනුත් ඉතිරි වන සිත් කොටසට ඒ ඒ කෘත්‍යයන් සිදුකිරීම් වශයෙන් ඇතිවීම නිමිත්ත කොට ක්‍රියා යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේ ද ඒ සිත්වලින් සිදුකරන කෘත්‍යයන් අනුව ය.

  1. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජනය
  2. උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජනය
  3. සෝමනස්ස සහගත හසිතුප්පාදය

යනු අහේතුක ක්‍රියා සිත් තුන ය.

ඇස, කන, නාසය, දිව, කය යන මේ සිත් උපදනා ස්ථානවලට ද්වාරය යි ද කියනු ලැබේ. චිත්තසන්තානයට රූපාදි අරමුණු ඇතුළු වන්නේ ඒ ද්වාරවලිනි. භවාඞ්ග චිත්තය යි කියන සත්ත්වයාගේ ප්‍ර‍කෘති චිත්තය හා තවත් බොහෝ සිත් ද ඇතිවන්නේ හෘදය කෝෂයෙහි ය. හෘදය කෝෂයෙහි පවත්නා වූ භවාඞ්ග චිත්ත පරම්පරාවට මනෝද්වාරය යි කියනු ලැබේ. නා නා කරුණු සම්බන්ධයෙන් නොයෙක් සිත් නැඟි නැඟී එන්නේ හෘදය කෝෂයෙහි පවත්නා භවාඞ්ග චිත්තයෙනි.

චක්ෂුරාදි ද්වාර පසින් යම් කිසිවකට අරමුණක් පැමිණිය හොත් එකෙණෙහි ම ඒ අරමුණ මනෝද්වාරයේ ද සැපේ. එයින් භවාඞ්ග සිත් ඉපදීම නැවතී, ද්වාරයක යම්කිසි අරමුණක් ගැටුණු බව දැනගන්නා සිතක් පහළ වේ. එය පඤ්චද්වාරයෙහි ගැටුණ අරමුණ මෙනෙහි කිරීමක් බැවින් ඒ සිතට පඤ්චද්වාරාවජ්ජන යයි කියනු ලැබේ. පඤ්චද්වාරයෙහි ගැටීමක් නො වී කෙළින් ම මනෝද්වාරයට ද අරමුණු පැමිණේ. එසේ පැමිණෙන අරමුණු සම්බන්ධයෙන් මුලින් ම පහළ වන සිත මනෝද්වාරාවජ්ජන නම් වේ.

පඤ්චද්වාරාවජ්ජනය යනු පඤ්චද්වාරයට පැමිණෙන අරමුණු මෙනෙහි කර සිතය. මනොද්වාරාවජ්ජනය යනු මනොද්වාරයට පැමිණෙන අරමුණ පළමුවෙන් ම මෙනෙහි කරන සිත ය. (මේ සිත් දෙක පිළිබඳ අවබෝධයක් ඇති කර ගත හැකි වන්නේ වීථි කාණ්ඩය උගෙනීමේ දී ය. දැන් සාමාන්‍යයෙන් සිත් දෙක පමණක් මතක තබාගන්න.)

හසිතුප්පාද චිත්තය යනු සිනා උපදවන සිත ය. සිනා උපදවන සිත් තවත් ඇත්තේ ය. මේ අහේතුක ක්‍රියා චිත්තය ද ඉන් එකකි. සිනා උපදවන අන් සිත්වලින් සිනාව පමණක් නොව තවත් දේ ද සිදු කරනු ලැබේ. මේ සිතින් කරන්නේ සිනාව පමණෙකි. එබැවින් මෙයට හසිතුප්පාද යන නම තබා ඇත්තේ ය.

මේ අහේතුක ක්‍රියා සිත් තුන හැර තවත් ක්‍රියා සිත් (17) සතළොසක් ඉදිරියෙහි කියැවෙන්නේ ය. ක්‍රියා සිත් සියල්ල ම (20) විස්සෙකි. ඒ සිත්වලින් පඤ්චද්වාරාවජ්ජන, මනොද්වාරාවජ්ජන දෙක හැර ඉතිරි ක්‍රියා සිත් (18) අටළොස ම ඇති වන්නේ රහතුන්ට ය. මේ හසිතුප්පාද සිත ද රහතුන්ට පමණක් ඇති වන සිතකි. රහත්හු සාමාන්‍ය ජනයා මෙන් හඬ ලා සිනාසෙන්නාහු නො වෙති. සිනාව සයාකාර වන බව අලඞ්කාර ශාස්ත්‍රයෙහි දක්වා තිබේ. සිතය, හසිතය, විහසිතය, උපහසිතය, අපහසිතය, අතිහසිතය යනු සයාකාර සිනාවන්ගේ නාමයෝ ය.

මුහුණ බලා ඉන්නා කෙනකුට ප්‍රීතිමත් වූ බව අඟෙන පරිදි ඇස් දෙක පමණක් මඳක් විවෘත වන සිනාව සිත නම් වේ. දත්වල අග පෙනෙන හඬ නො නැගෙන සිනාව හසිත නම් වේ. බුද්ධ ප්‍රත්‍යේක බුද්ධාදි උත්තම පුද්ගලයෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හඬ නගා සිනාසීම නො කෙරෙති.

මිහිරි හඬක් නැගෙන සිනාව විහසිත නම් වේ. හිස හා උරහිස් සැලෙන සිනාව උපහසිත නම් වේ. කල්‍යාණ පෘථග්ජනයෝ ද ශෛක්ෂයෝ ද ඒ දෙයාකාරයෙන් සිනාසෙති. මහ හඬ නගා නො සිනාසෙති.

ඇස්වලින් කඳුළු ගලන සිනාව අපහසිත නමි. ශරීරාවයව සියල්ල ම සොලවමින් දඟලමින් කරන සිනාව අතිහසිත නමි. ගුණධර්ම දියුණු කර නොගත් ලාමක අදහස් ඇත්තෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හසිතෝත්පාද සිතින් ඇති කරන්නේ සිත - හසිත දෙක පමණෙකි.

අකුශල විපාක සිත් සත ය, කුශල විපාක සිත් අට ය, ක්‍රියා සිත් තුන යයි අහේතුක සිත් අටළොසකි. අහේතුක සිත් දුබල කොටසක් නිසා ඒවායේ සඞ්ඛාර භේදයක් අභිධර්ම පාළියෙහි දක්වා නැත. සිත් ගණන් ගැනීමේදී අහේතුක සිත් අටළොස ම අසඞ්ඛාරික සිත් ලෙස ගණන් ගනු ලැබේ.

අහේතුක සිත් අටළොසෙහි ඇත්තේ සෝමනස්ස සහගත සිත් දෙකකි. උපේක්ෂා සහගත සිත් (14) තුදුසෙකි. සුඛ සහගත සිත් එකකි. දුඃඛ සහගත සිත් එකකි.

අකුශල සිත් (12) දොළොස ය, අහේතුක සිත් (18) අටළොස ය යන සිත් තිසට අශෝභන සිත් යයි කියනු ලැබේ. මතු කියනු ලබන එක් ක්‍ර‍මයකින් (59) එකුන් සැටක් වූ ද, තවත් ක්‍ර‍මයකින් (91) එක් අනූවක් වූ ද සිත්වලට සෝභන සිත් ය යි කියනු ලැබේ.

ප්‍ර‍ශ්න

  1. ක්‍රියා සිත් ය කියනුයේ කෙබඳු සිත්වලට ද?
  2. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේ කුමකින් ද?
  3. හසිතුප්පාද සිතින් උපදවන සිනා දෙක කුමක් ද?
  4. ඒ සිත ඇති වන්නේ කාට ද?
  5. අශෝභන සිත් කොතෙක් ද?
  6. ඒවායේ සෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
  7. උපේක්ෂා සහගත සිත් කොතෙක් ද?
  8. දෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
  9. අසඞ්ඛාරික සිත් කොතෙක් ද?
  10. සසඞ්ඛාරික සිත් කොතෙක් ද?