16. මාර්ග වීථි හා ඵලසමාපත්ති වීථි

19 වන පාඩම

සෝවාන් මාර්ග වීථිය, සකෘදාගාමි මාර්ග වීථිය, අනාගාමි මාර්ගවීථිය, අර්හත් මාර්ග වීථිය කියා මාර්ග වීථි සතරෙකි. “ප්‍ර‍ථම ධ්‍යාන ශ්‍රෝතාපත්ති මාර්ගය” යනාදීන් ධ්‍යාන ක්‍ර‍මයෙන් ශ්‍රෝතාපත්ති මාර්ග සිත් පසක් පසක් වන බැවින් ශ්‍රෝතාපත්ති මාර්ග වීථි පසක් වේ. ඉතිරි මාර්ග වීථි ද එසේ ම පස බැගින් වන හෙයින් මාර්ග වීථි විස්සක් වේ. ඒ එක් එක් වීථියක් මන්දප්‍රාඥ-තීක්ෂණ ප්‍රාඥයන්ගේ වශයෙන් දෙවැදෑරුම් වීමෙන් මාර්ග වීථි සතළිසක් වේ.

ප්‍ර‍ථම ධ්‍යාන ශ්‍රෝතාත්පත්ති මාර්ග වීථිය මෙසේ ය:- සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නා වූ යෝගාවචරයා හට ලෝකෝත්තර මාර්ගය ඇති වීමට ළං වූ කල්හි, භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරු ව යම් කිසි සංස්කාරයක් අරමුණු කොට මනෝද්වාරාවර්ජන චිත්තය ඉපද නිරුද්ධ වේ. එයට අනුතරු ව ඒ සංස්කාරය ම අනිත්‍ය වශයෙන් හෝ දුඃඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ විදර්ශනා කිරීම් වශයෙන් ඥානසම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශල චිත්තයක්, පරිකර්මය - උපචාරය - අනුලෝමය යන නම්වලින් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව ඒ කාමාවචර කුශල ජවනය ම නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍ර‍භූ යන නාමයෙන් ඉපද නිරුද්ධ වේ. එයට අනතුරු ව නිවන ප්‍ර‍ත්‍යක්ෂ කෙරෙමින් සෝවාන් මාර්ග චිත්තය එක් වරක් ද සෝවාන් ඵලචිත්තය දෙවරක් ද ඉපදීමෙන් පසු භවාඞ්ග වේ. මේ මන්දප්‍රාඥයාගේ සෝවාන් මාර්ග වීථිය ය.

තීක්ෂ්ණප්‍ර‍ඥයා හට පරිකර්ම චිත්තය ඇති නො වේ. ඔහුට උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ නාමයෙන් කාමාවචර ජවනය තුන් වරක් ඇති වීමෙන් පසු මාර්ග චිත්තය එක් වරක් ද ඵල චිත්තය තුන් වරක් ද ඇති වී භවාඞ්ග වේ.

මන්දප්‍රාඥයාගේ සෝවාන් මාර්ග වීථිය.

න - ද - ම - ප - උ - අ - ගෝ - මා - ඵ - ඵ - භ.

තීක්ෂ්ණප්‍රාඥයාගේ සෝවාන් මාර්ග වීථිය.

න - ද - ම - උ - අ - ගෝ - මා - ඵ - ඵ - ඵ - භ.

සකෘදාගාමි - අනාගාමි - අර්හත් මාර්ග වීථි ද මෙසේ ම ය. වෙනස ඒවායේ ගෝත්‍ර‍භූ චිත්තයක් නැති බව පමණෙකි. ඒ වීථිවල ගෝත්‍ර‍භූ චිත්තයේ තැනට ඇති වන සිතට වෝදාන යන නම කියනු ලැබේ. එහි තේරුම මාර්ගචිත්තය ඇති වීමට බාධක ක්ලේශයන් දුරු කොට පිරිසිදු කරන සිත ය යනු යි.

මන්ද ප්‍රාඥයාගේ සකෘදාගාමි මාර්ග වීථිය.

න - ද - ම - ප - උ - අ - වෝ - මා - ඵ - ඵ - භ.

තීක්ෂ්ණප්‍රාඥයාගේ වීථිය.

න - ද - ම - උ - අ - වෝ - මා - ඵ - ඵ - ඵ - භ.

ඉතිරි වීථි ද මේ ක්‍ර‍මයෙන් දත යුතු ය.

ප්‍ර‍ත්‍යවේක්ෂා වීථි.

මාර්ග වීථිවලින් පසු මාර්ගය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, ඵලය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, නිර්වාණය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, ප්‍ර‍හීණ ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, අප්‍ර‍හීණ ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද වීථිහු ඇති වෙති. රහතුන්ට අප්‍ර‍හීණ ක්ලේශයන් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථියක් නො ලැබේ. භවාඞ්ග චලනය - භවාඞ්තෝපච්ඡේදය මනෝද්වාරාවජ්ජනය - ප්‍ර‍ත්‍යවේක්ෂා ජවන සත ය යන මේ සිත් පරම්පරාව ප්‍ර‍ත්‍යවේක්ෂා වීථිය ය. මාර්ගාදි එක් එක් දෙයක් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම් වශයෙන් එක් එක් ප්‍ර‍ත්‍යවේක්ෂා වීථියක් ඇති වේ.

ඵල සමාපත්ති වීථි

ඵල සමාපත්ති වීථි ද මාර්ග වීථි මෙන් ම සතළිසක් වන්නේ ය. තමා ලත් ඵලයට සමවදිනු කැමති සෝවාන් පුද්ගලයා ඵලයට සමවැදීමේ බලාපොරොත්තුවෙන් සංස්කාරයන් විදර්ශනා කරන කල්හි භවාඞ්ග චලන - භවාඞ්ගෝපච්ඡේදයන්ගෙන් පසු සංස්කාරයන් අරමුණු කොට, මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපද නිරුද්ධ වේ. අනතුරු ව ඒ සංස්කාරයන් ම අරමුණු කොට ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශල චිත්තයක් අනුලෝම ජවන භාවයෙන් යෝගාවචරයා මන්දප්‍රාඥයකු නම් සතර වරක් ද, තීක්ෂ්ණ ප්‍රාඥයකු නම් තුන් වරක් ද ඉපදීමෙන් පසු සෝතාපත්ති ඵල ජවනය වාර බොහෝ ගණනක් ඉපදීමෙන් පසු භවාඞ්ග වේ. මේ සෝතාපත්ති ඵල සමාපත්ති වීථිය ය. ඵල සමාපත්ති වීථිවල උපදනා ඵල සිත්වල සඞ්ඛ්‍යා නියමයක් නැත්තේ ය. එක් වීථියක උපදනා ඵල සිත් සිය ගණනක් ද විය හැකි ය. දහස් ගණනක් - ලක්ෂ ගණනක් - කෝටි ගණනක් ද විය හැකි ය. ඵල සිත් කොතෙක් උපනත් වීථිය එක ම ය. ඉතිරි ඵල සමාපත්ති වීථි ද මේ සෝතාපත්ති ඵල සමාපත්ති වීථිය අනුව තේරුම් ගත යුතු ය.

මන්දප්‍රාඥයා ගේ ඵලසමාපත්ති වීථිය

න - ද - ම - අ - අ - අ - අ - ඵලසිත් - භ

තීක්ෂ්ණප්‍රාඥයා ගේ වීථිය

න - ද - ම - අ - අ - අ - ඵලසිත් - භ