සම්මුතිය, පරමාර්ථය යි ධර්ම ද්විවිධ ය. පරමාර්ථ යට දක්වන ලදි. ඒ වනාහි නාම, රූප, චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, චක්ඛාදි ආයතන, චක්ඛාදි ධාතු ආදි වශයෙන් දක්වන ලද්දේ ය. සම්මුති නම් ප්‍රඥප්ති ය.
ප්‍රඥප්ති යන්නෙන් පනවනු ලබන දේද, පනවන නම් ද ගනු ලැබේ. එයින් එය අර්ථ ප්‍රඥප්තිය නාම ප්‍රඥප්ති ය යි ද්විවිධ වන බව දත යුතු. අර්ථ ප්‍රඥප්ති නම් පරමාර්ථ වශයෙන් බලන කල්හි නැතැයි කිය යුතු වූ එහෙත් ඒ පරමාර්ථයන්ගේ ම ඡායාකාරයෙන් සිතට අරමුණු වන්නා වූ දේ ය. එය ඒ ඒ ආකාර වශයෙන් සලකා එසේ ගණන් ගනු ලැබේ. එබැවින් එයට සංඛාය යි කියති. එසේ දන්නා ලැබේ. එබැවින් එයට සමඤ්ඤාය යි කියති. එසේ ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් එයට වොහාරය යි කියති. එසේ පනවනු ලැබේ යන අර්ථයෙන් පඤ්ඤත්තිය යි කියත්.
ඒ පඤ්ඤත්ති වනාහි සමූහ පඤ්ඤත්ති, සණ්ඨාන පඤ්ඤත්ති, සත්ත පඤ්ඤත්ති, දිසාපඤ්ඤත්ති, කාලපඤ්ඤත්ති, ආකාසපඤ්ඤත්ති, නිමිත්ත පඤ්ඤත්ති ආදි වශයෙන් නානාවිධ ය.
පෘථිවි ආදි මහාභූතයන්ගේ පැතිරීම්, ඝන ආදි භෙද ඇති ඒ ඒ විශේෂාකාර ගෙනැ ව්‍යවහාර කරනු ලබන්නේ සමූහපඤ්ඤත්තිය, පෘථිවි, පර්වත, නදී, සාගර යනාදිය මෙනි.
දර මැටි වැල් ආදි උපකරණයන්ගේ සටහන් ආකාරය ගෙනැ ව්‍යවහාර කරනු ලබන්නේ සණ්ඨානපඤ්ඤත්තිය රථ, සකට, ඝට පට ආදිය මෙනි.
හේතු ඵල පරම්පරා වශයෙන් පවත්නා විඤ්ඤත්ති ඉන්‍ද්‍රිය සහිත ස්කන්‍ධපඤ්චකය ගෙනැ ව්‍යවහාර කරනු ලබන්නේ සත්තපඤ්ඤත්තිය පුරුෂ, පුද්ගල, දිව්‍ය, මනුෂ්‍ය ආදිය මෙනි.
චන්ද්‍රසූර්යයන්ගේ උදාවීම් ආදිය ගෙනැ දිසාපඤ්ඤත්ති ලැබේ. පූර්වදිශා පශ්චිමදිසා ආදිය මෙනි. සූර්යයා උදාවූ කල්හි දවස පිළිබඳ පූර්වභාගාදිය ගෙනැ කාලපඤ්ඤත්තිය ලැබේ. පූර්වාහ්න, මධ්‍යාහ්න ආදිය මෙනි.
ඒ ඒ රූපකලාපයන්ගේ අසම්ඵුට්ඨාකාරය ගෙනැ ආකාස පඤ්ඤත්තිය ලැබේ. කූප, ගුහාදිය මෙනි.
ඒ ඒ කාසිණමණ්ඩල ස්වභාවාදි භෙද ඇති මහාභූත නිමිති ද පරිකර්මාදි භෙද ඇති භාවනා විශේෂ ද ගෙනැ නිමිත්තපඤ්ඤත්ති ලැබේ. පරිකර්ම නිමිත්ත, උද්ග්‍රහනිමිත්ත ආදිය මෙනි. මේ ය අර්ථ ප්‍රඥප්ති නම්,
නාම ප්‍රඥප්ති නම් පරමාර්ථයන්ට හෝ ඒ අර්ථ ප්‍රඥප්තියට හෝ පනවන නම් ය. එය නාම, නාමකර්ම, නාමධෙය, නිරුක්ති, බ්‍යඤ්ජන, අභිලාප යන නම් වලින් ද හඳුන්වනු ලැබේ. එසේ පනවන්ෙන් ය යන අර්ථයෙන් පඤ්ඤත්තිය යි ද කියනු ලැබේ. එ ද විද්‍යමාන ප්‍රඥප්ති, අවිද්‍යමාන ප්‍රඥප්ති, විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති, අවිද්‍යමානයෙන්, විද්‍යමාන ප්‍රඥප්ති, විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්තිය යි ෂඩ්විධ වේ.
පරමාර්ථ වශයෙන් රූප වෙදනාදිය ඇත්තේ ය. ඒ ඇත්තා වූ ම රූප වේදනාදියට රූප වේදනා ආදිය යි කියති. ඒ විද්‍යමාන ප්‍රඥප්ති යි.
පරමාර්ථ වශයෙන් භූමි පර්වතාදිය නැත්තේ ය. නැත්තා වූ භූමිපර්වතාදියට භූතවිශේෂාකාරය ගෙනැ භූමිපර්වතාදිය යි කියති. ඒ අවිද්‍යමාන ප්‍රඥප්ති යි.
ෂට් අභිඥා ලාභියෙකුට ෂඩ්භිඥ ය යි කියනු ලැබේ. පරමාර්ථ වශයෙන් අභිඥා ඇත්තේ ය. ඒ ලාභි පුද්ගලයෙක් යයි කිය යුත්තෙක් නැත්තේ ය. එහෙත් එබන්දකුට ෂඩ්භිඥය යි කියති. ඒ විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති යි.
ස්ත්‍රීශබ්දය යි කී කල්හි පරමාර්ථවශයෙන් ස්ත්‍රියක් නැත. ශබ්දයෙක් නම් නැත. මෙය අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති යි.
චක්‍ෂුර් විඥානය යි කී කල්හි පරමාර්ථ වශයෙන් චක්‍ෂු ද ඇත්තේ ය. විඥාන ද ඇත්තේ ය. එ බැවින් එය විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති යි.
රාජ පුත්‍රය යි කී කල්හි පරමාර්ථ වශයෙන් රාජයෙක් ද නැත්තේ ය. පුත්‍රයෙක් ද නැත්තේ ය. එ බැවින් එය අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති යි.
නාමපඤ්ඤත්තිය මේ ගාථායෙන් පැහැදිලි කරනු ලැබේ.
“වචීඝොසානුසාරෙන සොත විඤ්ඤාණවීථියා
පවත්තානන්තරුප්පන්න මනොද්වාරස්ස ගොචරා
අත්‍ථා යස්සානුසාරෙන විඤ්ඤායන්ති තතොපරං
සායං පඤ්ඤත්ති විඤ්ඤෙය්‍යා ලොකසඞ්කෙත නිම්මිතා”
රූප, වේදනා, භූමි, පර්වත යනාදි ශබ්ද ඇසීමෙන් ඇති වන සොතවිඤ්ඤාණ වීථි ප්‍රවෘත්තියට අනතුරු වැ උපදින මනොද්වාර වීථියට අරමුණු වන අර්ථයෝ එයින් මතු යම් ප්‍රඥප්තියෙක අනුසාරයෙන් දැනගනු ලැබෙත් ද ලෝක සඞ්කෙත නිර්මිත ව එය (නාම) ප්‍රඥප්තිය යි දත යුතු යනු එහි අර්ථ යි.
ප්‍රඥප්ති අවබෝධයට පහසු බැවින් සංක්‍ෂෙප කරන ලදි.
ප්‍රශ්න.
- ප්‍රඥප්ති යනු කිම? ඒ කී වැදෑරුම් ද?
- අර්ථ ප්‍රඥප්ති කීපයක් දක්වා උදාහරණ දෙනු.
- නාමප්‍රඥප්ති කී වැදෑරුම් ද? ඒ කවරේ ද?
- වේදනා, පර්වත, ෂඩ්භිඥ මේ කවර ප්‍රඥප්තිවලට ඇතුළත් ද?
- ප්‍රඥප්ති ප්‍රකාශක ගාථා ලියා අර්ථ පැහැදිලි කරනු.
පටිච්චසමුප්පාදය නානා නයයෙන් ප්‍රතිමණ්ඩිත ය. මහා සමුද්‍රය මෙන් ගම්භීර ය. අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමි මෙයට අටුවා ලියන්නට ගොස්, “මම මහමුහුදෙහි වැටුණකු මෙන් ප්‍රතිෂ්ඨා නො ලදිමි”යි කීයේ ය. මෙහි දක්වන ලද්දේ දිඩ්මාත්‍රයෙකි. විශේෂ විභාග ආචාර්ය මුඛයෙන් හා ග්‍රන්ථාන්තරයෙන් උගත යුතු යි.
පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්වාමීන්ද්‍රයන් කළ අභිධර්මචන්ද්‍රිකාවේ පටිච්චසමුප්පාද පාදයයි.