නාමාදිය නාමාදියට ස ආකාරයෙකින් ප්‍රත්‍යය වන සැටි යට පාඩම් දෙකින් දක්වන ලද්දේ ය. සූවිසි පට්ඨාන ප්‍රත්‍යය එහිම ප්‍රත්‍යය සතරෙක ඇතුළත් වන සැටි මෙහි දක්වනු ලැබේ.
ආරම්මණ ප්‍රත්‍යය, උපනිශ්‍රය ප්‍රත්‍යය, කර්මප්‍රත්‍යය, අස්ති ප්‍රත්‍යය යන මේ සතර ප්‍රත්‍යයයෙහි සියලු පට්ඨාන ප්‍රත්‍යය ඇතුළත් වන්නේ ය. ඒ මෙසේ ය.
අධිපතිප්‍රත්‍යය ආරම්මණාධිපති, සහජාතාධිපතිය යි ද්විවිධය. ඉන් ආරම්මණාධිපති කර්මප්‍රත්‍යය හැරැ සෙසු තුන් ප්‍රත්‍යයයෙහි ඇතුළත් වේ. ආරම්මණ ප්‍රත්‍යය පවා කර්ම ප්‍රත්‍යයයෙහි ඇතුළත් නො වන බව ද ආරම්මණාධිපති කැල ම එහි ඇතුළත් නො විය හැකි බව ද ටීකාවෙක දක්වයි. සහජාතාධිපති අස්තිප්‍රත්‍යයයෙහි ඇතුළති.
නිශ්‍රය ප්‍රත්‍යය සහජාත, වස්තු පුරෙජාත, වත්‍ථාරම්මණ පුරෙජාතය යි ත්‍රිවිධ ය. ඉන් සහජාත, වස්තුපුරෙජාත නිශ්‍රය ප්‍රත්‍යය දෙක අස්ති ප්‍රත්‍යයයෙහි ඇතුළති. වත්‍ථාරම්මණ නිස්සය වනාහි ආරම්මණ අස්ති යන ප්‍රත්‍යය දෙකෙහි ඇතුළති. එ ද ඉදින් ගරුකත නම් උපනිශ්‍රය ප්‍රත්‍යයයෙහි ඇතුළති.
පුරෙජාත ප්‍රත්‍යය ද ආරම්මණ පුරෙජාත, වස්තුපුරෙජාත, වත්‍ථාරම්මණ පුරෙජාතය යි ත්‍රිවිධ ය. ඉන් වස්තුපුරෙජාත අස්තිප්‍රත්‍යයයෙහි ද සෙසු දෙක ආරම්මණ අස්ති යන ප්‍රත්‍යය දෙකෙහි ද ඒ දෙක ද ඉදින් ගරුකත නම් උපනිශ්‍රය ප්‍රත්‍යයයෙහි ද ඇතුළති.
කර්මප්‍රත්‍යය සහජාතකර්ම, නානාක්‍ෂණික කර්මය යි ද්විවිධ ය. ඉන් සහජාත කර්මප්‍රත්‍යය අස්තිප්‍රත්‍යයයෙහි ඇතුළති. නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය බලවත් ය. දුර්වලය යි ද්විවිධ ය. ඉන් බලවත් නානාක්‍ෂණික කර්මප්‍රත්‍යය උපනිශ්‍රය ප්‍රත්‍යයයෙහි ද, දුර්වල නානාක්‍ෂණික කර්මප්‍රත්‍යය කර්ම ප්‍රත්‍යයයෙහි ද ඇතුළති.
සියලු ආහාර ප්‍රත්‍යය ද, සියලු ඉන්ද්‍රිය ප්‍රත්‍යය ද අස්ති ප්‍රත්‍යයෙහි ඇතුළති.
විප්‍රයුක්ත ප්‍රත්‍යය සහජාත, වස්තුපුරෙජාත, වත්‍ථාරම්මණ පුරෙජාත, පච්ඡාජාතය යි චතුර්විධ ය. ඉන් මුල් දෙක හා අන්තිම එක අස්තිප්‍රත්‍යයයෙහි ඇතුළති. වත්‍ථාරම්මණ පුරෙජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය වනාහි ආරම්මණ, අස්ති යන ප්‍රත්‍යය දෙක්හි ඇතුළති. එ ද ඉදින් ගරුකත නම් උපනිශ්‍රය ප්‍රත්‍යයයෙහි ය.
සෙසු සතළොස් ප්‍රත්‍යය අතුරෙන් හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, විපාක, ඣාන, මග්ග, සම්පයුත්ත, අවිගත, පච්ඡාජාත යන ප්‍රත්‍ය නවය අස්තිප්‍රත්‍යයයෙහි ඇතුළති. අනන්තර, සමනන්තර, අසෙවන, නත්‍ථි, විගත යන පඤ්ච ප්‍රත්‍යය උපනිශ්‍රය ප්‍රත්‍යයයෙහි ඇතුළති.
මෙසේ සියලු පට්ඨාන ප්‍රත්‍යය සභාග සඞ්ග්‍රහ වශයෙන් මේ ආරම්මණාදි චතුඃප්‍රත්‍යයයෙහි ඇතුළත් වන බව දත යුතුයි. පරමත්‍ථදීපනීටීකාව ඇසුරු කොට මේ ලියන ලදි. විහාවිණියෙහි දැක්වුණු ක්‍රමය මතිමාත්‍රය යි ද යුක්තියුක්ත නො වේ යයි ද එහි කියයි.
තව ද කිය යුත්තෙක් ඇත. යට දැක්වුණු සියලු තන්හි ම සහජාතරූපය යි කීයේ ප්‍රවෘත්ති කාලයෙහි ලා චිත්තජරූපයන් ට ය. ප්‍රතිසන්ධිකාලයෙහි ලා කර්මජරූපයන්ට ය. එ බැවින් සහජාත රූප චිත්තජ කර්මජ වශයෙන් දෙවැදෑරුම් වන බව දත යුතු.
එහි දු කර්මජ රූප නැති තැන චිත්තජරූප නො ලැබේ. කර්මජ රූප ඇති තන්හි ම චිත්ත චිත්තජ රූප උපදවීමෙහි සමර්ථය. අරූපභවයෙහි රූපජනන ශක්ති ඇති කාමාවචර සිත් ඉපදුණ ද ඒ චිත්තජ රූප නූපදවයි. එහි කර්මජරූප කැලම නැත.
තව ද මේ සූවිසි පට්ඨාන ප්‍රත්‍යයයෝ ලැබෙන ලැබෙන පරිදි ත්‍රෛකාලික වශයෙන් ද, කාලමුක්ත වශයෙන් ද, ආධ්‍යාත්මික වශයෙන් ද, බාහිර වශයෙන් ද, සංඛත වශයෙන් ද අසංඛත වශයෙන් ද බෙදත හැකි ය. එසේ බෙදුණු ඔව්හු ප්‍රඥප්ති, නාම, රූපය යි තුන් කොටසකට ඇතුළත් වෙති ඒ මෙසේ ය.
ආරම්මණ, අධිපති, උපනිස්සය යන ප්‍රත්‍යය තුන ත්‍රෛකාලික හා කාලමුක්ත ය. කර්මප්‍රත්‍ය වර්තමානකාලික හා අතීතකාලික ය. අනන්තර, සමනන්තර, ආසෙවන නත්‍ථි, විගත යන ප්‍රත්‍යය පස අතීතකාලික ය. සෙසු පසළොස වර්තමාන කාලික යි.
ආරම්මණ අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, උපනිස්සය, පුරෙජාත, ආහාර, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යයයෝ ආධ්‍යාත්මික ද බාහිර ද වෙති. සෙසු තුදුස ආධ්‍යාත්මික ම වේ.
ආරම්මණ, අධිපති, උපනිස්සය යන ප්‍රත්‍යය තුන සංඛත ද අසංඛත ද වේ. සෙස්ස සංඛත මැ යි. මේ තෝරා ගැන්ම සිහි නුවණ එළවා බලන කල්හි අපහසු නො වේ. එහෙයින් විස්තර නො කරන ලදි.
මෙසේ කාලික, කාලමුක්ත, ආධ්‍යාත්මික, බාහිර, සංඛත, අසංඛත වශයෙන් බෙදුණු සූවිසි ප්‍රත්‍යය ධර්ම ප්‍රඥප්ති, නාම රූප යන තුන් කොටසට ඇතුළත් වේ. එහි රූප නම් රූපස්කන්‍ධ ය. නාම නම් චිත්තචෛතසික සංඛ්‍යාත සතර අරූපස්කන්‍ධ හා නිර්වාණය ය. ඒ නාම අරූපය යි ද කියනු ලැබේ. නිර්වාණය මෙහි නාමය යි ගන්නා ලද බව දත යුතු. ඒ නාමරූප දෙකින් අවශිෂ්ට වූයේ ප්‍රඥප්ති ය. ප්‍රඥප්ති මීළඟ පාඩමෙන් දැක්වේ.
“ඉති තෙකාලිකා ධම්මා කාලමුත්තා ච සම්භවා
අජ්ඣත්තං ච බහිද්ධා ච සංඛතා සංඛතා තථා
පඤ්ඤත්ති නාමරූපානං වසෙන තිවිධා ඨීතා
පච්චයා නාම පට්ඨානෙ චතුවීසති සබ්බථා.”
අර්ථ යට දක්වන ලදි.
ප්‍රශ්න.
- සූවිසි ප්‍රත්‍යය කවර සතර ප්‍රත්‍යයයෙහි ඇතුළත් ද?
- ආරම්මණ ප්‍රත්‍යයයෙහි ඇතුළත් වන ප්‍රත්‍යය දක්වනු.
- උපනිස්සය, කර්ම, අස්ති ප්‍රත්‍යයන්හි ඇතුළත් වන ප්‍රත්‍යය දක්වනු.
- කාල, කාලමුක්ත, ආධ්‍යාත්මික, බාහිර, සංඛත, අසංඛත ප්‍රත්‍යය මේ මේ ය යි දක්වනු.
- ප්‍රඥප්ති, නාම රූප යන්නෙහි නාම, රූප මේ මේ යයි දක්වනු. නිර්වාණය කුමක් හෙයින් නාමයෙහි ඇතුළත් විණි ද?