18. පටිච්චසමුප්පාදයෙහි පට්ඨාන නය.

අනන්ත නය සමන්තපට්ඨාන මහා ප්‍රකරණයෙහි වදාළ සූවිසි ප්‍රත්‍යය විභාගය ද ඒ එක් එක් ප්‍රත්‍යය පටිච්චසමුප්පාදයෙහි ඒ ඒ තැන යෙදෙන සැටි ද යට පාඩම්වලින් දක්වන ලද්දේ ය. පටිච්ච සමුප්පාදයෙහි එක් එක් ප්‍රත්‍යයක් එක් එක් ප්‍රත්‍යයොත්පන්නයකට පට්ඨාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයවන සැටි මෙහි දක්වනු ලැබේ.

1 අවිද්‍යාව පුණ්‍යාභිසංස්කාරයන්ට ආරම්මණ ප්‍රත්‍යයයෙන් හා උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඒ මෙසේ ය. අවිද්‍යාව ක්‍ෂය ව්‍යය වශයෙන් සම්මර්ශනය කරන කල්හි කාමාවචර පුණ්‍යාභිසංස්කාරයන්ට ද, අභිඥා සිතින් සමොහ සිත් දැනැ ගන්නා කල රූපාවචර පුණ්‍යාභිසංස්කාරයන්ට ද අවිද්‍යාව ආරම්මණ ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඒ අවිද්‍යාව දුරු කැරැගැන්ම සඳහා දානාදි පින් කරන කල්හිද රූපාවචර ධ්‍යාන උපදවන කල්හි ද එසේ මැ කාමාවචර රූපාවචර පුණ්‍යාභිසංස්කාර දෙකොටසටම උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. අවිද්‍යාවෙන් මුළා වැ කාම රූප භව සම්පත් පතමින් ඒ දෙවැදෑරුම් පින්කරන කල ද එසේ ම උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

අවිද්‍යාව අපුණ්‍යාභිසංස්කාරයන්ට නොයෙක් ආකාරයෙන් ප්‍රත්‍යය වේ. ඒ එසේ මැ යි. අවිද්‍යා අරමුණු කිරීමෙන් රාගාදිය උපදින කල ආරම්මණ ප්‍රත්‍යයයෙන් ද, අවිද්‍යාව ගරු වශයෙන් ආස්වාදනය කරන කල ආරම්මණාධිපති ප්‍රත්‍යයයෙන් හා ආරම්මණොපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ද, අවිද්‍යායෙන් මුළා වැ ප්‍රාණඝාතාදිය කරන කල උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ද ද්විතීය ජවනාදීන්ට අනන්තර සමනන්තර අනන්ත රූපනිස්සය ආසෙවන නත්‍ථි විගත ප්‍රත්‍යයයන්ගෙන් ද, අකුසල් කරන කල හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගත ප්‍රත්‍යයන්ගෙන්ද, ප්‍රත්‍යය වේ.

අවිද්‍යාව ආනෙඤ්ජාභිසංඛාරයන්ට එකම උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

2 සංස්කාර විඥානයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් හා කර්ම ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

3 විඥානය නාමයන්ට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, විපාක, ආහාර ඉන්ද්‍රිය, අත්‍ථි, අවිගත යන නව ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එසේ ම ඒ විඥානය ප්‍රතිසන්ධියෙහි වස්තු රූපයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, ඉන්ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත නය නව ප්‍රත්‍යයයෙන් ද වස්තු රූපය හැරැ සෙසු රූපයන්ට මේ නවයෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය හැරැ සෙසු අෂ්ට ප්‍රත්‍යයයෙන් ද ප්‍රත්‍යය වේ. අභිසංඛාර විඤ්ඤාණය අසඤ්ඤසත්ත රූපයට හෝ පඤ්චවොකාර භවයෙහි කර්මජ රූපයට හෝ උපනිස්සය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රථම භවාඞ්ගයෙහි පටන් අවශේෂ සියලු විඤ්ඤාණ ඒ ඒ නාමරූපයන්ට සුදුසු සුදුසු පරිදි ප්‍රත්‍ය වේ. විස්තර සැලකිය යුතු යි.

4 අරූප භවයෙහි විපාක නාමය මනායතනයට ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති දෙක්හිම සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, විපාක, අත්‍ථි, අවිගත යන සප්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. මෙහි හේතු ප්‍රත්‍යය හා ආහාර ප්‍රත්‍යය ලැබෙන සැටිද සලකනු. ප්‍රවෘත්තියෙහි ද අවිපාක නාමය මනායතනයට යට දැක්වුණු සප්තප්‍රත්‍යයන් අතුරෙන් විපාක ප්‍රත්‍යය හැරැ සෙසු ෂට්ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. එහි දු හේතු ප්‍රත්‍යය හා ආහාර ප්‍රත්‍යය ලැබෙන සැටි සලකනු.

පඤ්චවෝකාර භවයෙහි විපාක නාමය හෘදයවස්තු සහාය වැ මනායතනයට ප්‍රතිසන්ධියෙහි දී අරූප භවයට දැක්වූ සප්තප්‍රත්‍යයයෙන් ම ප්‍රත්‍යය වේ. චක්ඛායතනාදි වූ පසට චතුර්මහාභූත සහාය වැ සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ෂට් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙහි දු හේතු, ආහාර ප්‍රත්‍යය ලැබෙන සැටි සලකනු. ප්‍රවෘත්තියෙහි දී ප්‍රතිසන්ධියට කී පරිදිම විපාක නාමය විපාක මනායතනයට සප්තප්‍රත්‍යයයෙන් ද අවිපාකනාමය අවිපාක මනායතනයට විපාක ප්‍රත්‍යය හැරැ සෙසු ෂට් ප්‍රත්‍යයයෙන් ද චක්ඛායතනාදි වූ පසට පච්ඡාජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන සතර ප්‍රත්‍යයයෙන් ද ප්‍රත්‍යය වේ. අවිපාක නාමය ද මෙසේ දත යුතු. මේ නාමය ෂඩායතනයන්ට ප්‍රත්‍යය වන සැටියි.

අරූපභවයෙහි කිසි ද රූපයෙක් කිසි ද ආයතනයකට ප්‍රත්‍යය නොවේ. එහි රූප කැල ම නැති බැවිනි.

පංචවොකාර භවයෙහි වස්තුරූප මනායතනයට ප්‍රතිසන්‍ධියෙහි දී සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විප්පයුත්ත අත්‍ථි, අවිගත යන ෂට් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. භූතරූප සතර ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති දෙක්හි ම ලැබෙන ලැබෙන පරිදි චක්ඛායතනාදි පසට සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන සිව් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ජීවිතින්ද්‍රියරූපය චක්ඛායතනාදි පසට ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි දෙක්හි ම අත්‍ථි, අවිගත, ඉන්ද්‍රිය යන තුන් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ආහාර රූපය අත්‍ථි, අවිගත, ආහාර යන තුන් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එ ද ආහාර රූප ජීවීන්ට ය. එ ද ප්‍රවෘත්තියෙහි ය. චක්ඛායතනාදි පස චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා කායවිඤ්ඤාණ සංඛ්‍යාත මනායතනයට තස්සය පුරෙජාත, ඉන්ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ෂට් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එ ද ප්‍රවෘත්තියෙහි ය. වස්තුරූපය ඒ පඤ්චවිඤ්ඤාණ හැරැ සෙසු මනායතනයට නිස්සය, පුරෙජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන පඤ්චප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එ ද ප්‍රවෘත්තියෙහි ය. මේ රූපය ෂඩායතනයන්ට ප්‍රත්‍යය වන සැටි යි.

ස්කන්ධත්‍රය වස්තුරූප සංඛ්‍යාත නාම රූප දෙක මනායතනයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගතාදි ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. සෙසු තැන් ද මෙසේ සැලකිය යුතු යි.

මේ ඉතා දුර්බොධ ය. සිහි නුවණ උපදවා උගත යුතු යි.

5 චක්ඛායතනාදි පස චක්ඛුසම්ඵස්සාදි පසට නිස්සය පුරෙජාත ඉන්ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි අවිගත යන ෂට් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විපාක මනායතනය විපාක මනොඵස්සයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක ආහාර ඉන්ද්‍රිය, සම්පයුත්ත අත්‍ථි අවිගත යන නව ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. බාහිර වූ රූපායතනාදි පස චක්ඛුසම්ඵස්සාදි පසට ආරම්මණ පුරෙජාත, අත්‍ථි, අවිගත යන සිව් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඒ රූපායතනාදි පස ද ධම්මාරම්මණය ද මනොසම්ඵස්සයට ආරම්මණ ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

6 චක්ඛුසම්ඵස්සාදි ඵස්ස පස පඤ්චද්වාරයෙහි චක්ෂුඃ ප්‍රසාදාදි වස්තුක වූ පඤ්චවේදනාවන්ට සහජාත, අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක, ආහාර, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන අෂ්ට ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඒ පස ම එක් එක් ද්වාරයෙහි සෙසු සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණ වශයෙන් පැවැති කාමාවචර විපාක වේදනාවන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. සහජාත මනොසම්ඵස්ස සංඛ්‍යාත ඵස්සය මනොද්වාරයෙහි තදාරම්මණ වශයෙන් පැවැති කාමාවචර විපාක වේදනාවන්ට මුල දැක්වුණු අෂ්ට ප්‍රත්‍යයෙන්ම ප්‍රත්‍යය වේ. පටිසන්ධි භවඞ්ග චුති වශයෙන් පැවැති ත්‍රෛභූමක විපාක වේදනාවන්ට ද ඒ මනෝසම්ඵස්සය එසේ ම ප්‍රත්‍යය වේ. මනොද්වාරයෙහි තදාරම්මණ වශයෙන් පැවැති කාමාවචර වේදනාවන්ට මනොද්වාරාවර්ජන සම්ප්‍රයුක්ත මනොසම්ඵස්සය උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

7 වේදනාව තණ්හාවට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

8. තණ්හාව කාමුපාදානයට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ද දිට්ඨුපාදානාදි තුනට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත, හෙතූ යන සප්ත ප්‍රත්‍යයෙන් ද ප්‍රත්‍යය වේ.

9. උපාදානය භවයට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.

10. භවය ජාතියට කර්ම උපනිශ්‍රය යන ද්වි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. මෙහි භව නම් කර්ම භවය යි.

11. ජාති ජරාමරණාදීන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෙය විශුද්ධිමාර්ගය ඇසුරු කොටැ සැකෙවින් ලියන ලදි. විශේෂ විභාග එහි බැලිය යුතු යි.

ප්‍රශ්න.

  1. අවිද්‍යාව ත්‍රිවිධ සංස්කාරයන්ට කවර කවර පට්ඨාන ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වී ද?
  2. සංස්කාර විඥානයට හා භවය ජාතියට කවර කවර ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වී ද?
  3. විඥාන නාමරූපයන්ට කවර කවර ප්‍රත්‍යය ලැබැ ප්‍රත්‍යය වී ද?
  4. නාම රූපයන්ගෙන් ෂඩායතන වන කල ලැබෙන පට්ඨාන ප්‍රත්‍යය දක්වනු.
  5. ෂඩායතන ස්පර්ශයට ද, ස්පර්ශ වේදනාවට ද, වේදනාව තෘෂ්ණාවට ද, තෘෂ්ණාව උපාදානයන්ට ද, උපාදාන භවයට ද ප්‍රත්‍යය වන්නට කවර කවර ප්‍රස්ථාන ප්‍රත්‍යය ලැබිය යුතු ද? ජාති ජරා මරණයන්ට කවර ප්‍රත්‍යය ලැබැ වී ද? සෝකාදිය අවිද්‍යාවට කෙසේ ප්‍රත්‍යය වී ද?