17. 20 විප්පයුත්ත ප්‍රත්‍යය, 21 අස්තීප්‍රත්‍යය, 22 නාස්ති ප්‍රත්‍යය 23 විගත ප්‍රත්‍යය, 24 අවිගත ප්‍රත්‍යය.

20 විප්‍රයුක්ත ප්‍රත්‍යය

විප්‍රයුක්ත ප්‍රත්‍යය නම් විප්‍රයුක්ත වශයෙන් උපකාර වීම ය. විප්‍රයුක්ත නම් එකවට උපන්න ද මිශ්‍ර නො වැ වෙන් වැ තිබීම ය. මධුරාම්ලාදි ෂට්රසය එකට මිශ්‍ර කළ කළ ද එක් නො වැ වෙන් වැ මැ තිබී ඔවුනොවුන්ට උපකාර වන්නාක් මෙනි. රූපී ධර්ම අරූප ධර්මයන්ට විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“විප්පයුක්තපච්චයො’ති. රූපිනො ධම්මා අරූපීනං ධම්මා නං විප්පයුත්තපච්චයෙන පච්චයො අරූපිනො ධම්මා රූපීනං ධම්මානං විප්පයුත්තපච්චයෙන පච්චයො”යි.

මේ වනාහි සහජාතවිප්‍රයුක්තය, පශ්චාජ්ජාතවිප්‍රයුක්තය, පුරෙජාතවිප්‍රයුක්තය ය යි ත්‍රිවිධ වේ. සහජාත විප්‍රයුක්ත නම් එක් වැ හටගනිමින් ම වෙන් වැ යෙදීම ය. සහජාත කුසලස්කන්‍ධ චිත්තසමුට්ඨාන රූපයන්ට ද, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත කර්මජරූපයන්ට ද, සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය යි. පශ්චාජ්ජාත විප්‍රයුත්ත නම් පසු වැ හටගනිමින් ම වෙන් වැ යෙදීම ය. පශ්චාජ්ජාත කුශල ස්කන්ධ පුරෙජාත මේ කයට විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය යි. පුරෙජාත විප්‍රයුක්ත නම් පළමු හටගනිමින් ම වෙන් වැ යෙදීම ය. පුරෙජාත චක්ඛායතනාදිය චක්ඛුවිඤ්ඤාණාදියට පුරෙජාත විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය යි. විස්තර උභ්‍ය යි.

පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණය රූපයට ද, නාමය චක්ඛායතනාදියට හා රූපය මනායතනයට ද, චක්කායතනාදි පස චක්ඛුඵස්සාදි පසට ද විප්‍රයුක්ත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. සූක්‍ෂම භෙද සලකා උගත යුතු යි.

21 අස්ති ප්‍රත්‍යය.

අස්ති ප්‍රත්‍ය්‍ය නම් විද්‍යමාන භාවයෙන් උපකාර වීම ය. විද්‍යමාන භාවය නම් ඇති බව යි. යට දැක්වූ ප්‍රත්‍යය අතුරෙන් යමෙක් ඇති බවය යි කියන ලද ක්‍ෂණ ප්‍රත්‍යුත්පන්න භාවයෙන් යුක්ත වැ එ බඳු වූ ම ක්‍ෂණ ප්‍රත්‍යුත්පන්න භාවයෙන් යුක්ත ධර්මයකට සහජාතාදි වශයෙන් උපකාර වන්නේ නම් ඒ අස්ති ප්‍රත්‍යය යි දත යුතු. හිමාලය පර්වතය තමාගේ විද්‍යමානභාවය එහි ම වෘක්‍ෂලතාදියට උපකාර වන්නාක් මෙනි. සතර අරූපස්කන්ධ අන්‍යොන්‍යයන්ට අස්තිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එසේ ම සතරමහාභූත හා ප්‍රතිසන්ධික්‍ෂණයෙහි නාමරූප අන්‍යොන්‍යයන්ට අස්ති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. චිත්ත චෛතසික තත් සමුත්‍ථාන රූපයන්ට ද, මහාභූත උපාදාය රූපයන්ට ද, චක්ඛායතනාදි පස චක්ඛුවිඤ්ඤාණාදියට හා තත්සම්ප්‍රයුක්තයන්ට ද, රූපායතනාදි පස චක්ඛුවිඤ්ඤාණාදියට හා මනොධාතුවට හා තත්සම්ප්‍රයුක්තයන්ට ද, හෘදය වස්තු රූපය මනොධාතු මනො විඤ්ඤාණධාතුන්ට හා තත්සම්ප්‍රයුක්තයන්ට ද අස්ති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“අත්‍ථිපච්චයො’ති. චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං අත්‍ථිපච්චයෙන පච්චයො. චත්තාරො මහාභූතා අඤ්ඤමඤ්ඤං අත්‍ථිපච්චයෙන පච්චයො. ඔක්කන්තික්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤං අත්‍ථිපච්චයෙන පච්චයො. චිත්තචෙතසිකා ධම්මා චිත්තසමුට්ඨානං නං රූපානං -පෙ- මහාභූතා උපාදාරූපානං -පෙ- චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානං ච ධම්මානං -පෙ- සොතායතනං -පෙ- ඝාණායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං කායවිඤ්ඤාණ ධාතුයා තංසම්පයුක්තකානංච ධම්මානං -පෙ- රූපායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානං ච ධම්මානං -පෙ- සද්දායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණධාතුයා තං සම්පයුක්තකානං ච ධම්මානං -පෙ- රූපායතනං සද්දායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනොධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං -පෙ- යං රූපං නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණධාතු ච වත්තන්තී තංරූපං මනොධාතුයාච මනො විඤ්ඤාණධාතුයා ච තං සම්පයුත්තකානං ච ධම්මානං අත්‍ථිපච්චයෙන පච්චයො” යි.

මේ වනාහි සහජාත අස්තිප්‍රත්‍යය, පුරෙජාත අස්ති ප්‍රත්‍යය, පශ්චාජ්ජාත අස්තිප්‍රත්‍යය, කබලීකාරාහාර අස්ති ප්‍රත්‍යය, රූප ජීවිතෙන්ද්‍රිය අස්තිප්‍රත්‍යය යි පංචවිධ වේ.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුණ්‍යාභිසංස්කාරයන්ට ද, විඥානය නාමරූපයන්ට ද, නාමරූප සළායතනයන්ට ද, සළායතන ඵස්සයට ද, ඵස්සය වේදනාවට ද, තණ්හාව දිට්ඨුපාදානාදී තුනට ද, උපාදාන කර්මභවයට ද අස්තිභවයට ද අස්තිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

22 නාස්ති ප්‍රත්‍යය.

නාස්ති ප්‍රත්‍යය නම් අවිද්‍යමාන භාවයෙන් උපකාර වීම ය. අවිද්‍යමාන භාවය නම් නැති බවයි. පහන නිවී යාම අන්ධකාරය ඇතිවීමට උපකාර වන්නාක් මෙනි. තමහට අනතුරු වැ උපදින අරූප ධර්මයන්ගේ පැවැත්මට අවකාශ දීමෙන් උපකාර වන සමනන්තර නිරුද්ධ චිත්තචෛතසික නාස්ති ප්‍රත්‍යයයි. වදාළේමැ යි.

“නත්‍ථිපච්චයො’ති. සමනන්තර නිරුද්ධා චිත්තචෙතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්තචෙතසිකානං ධම්මානං නත්‍ථිපනච්චයෙන පච්චයො” යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව දුතියජවනාදියෙහි ලා අපුඤ්ඤාභිසංඛාරයන්ට නාස්ති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

23 විගත ප්‍රත්‍යය.

විගත ප්‍රත්‍යය නම් විගතභාවයෙන් උපකාර වීම ය. විගත භාවය නම් වෙන් වැ යාම ය-අහක් වැ යාම ය. තමා උන් කල්හි වෙන ධර්ම නූපදි යි. වෙන ධර්මයන්ට උපදීම සඳහා අවකාශ දී මුලින් තිබී අහක් වැ යන චිත්තචෛතසික විගත ප්‍රත්‍යය යි දත යුතු. සූර්යාලෝකය අහක් වැ යාම චන්ද්‍ර ලෝකයාගේ පැතිරීමට උපකාර වන්නාක් මෙනි. මෙය නාස්තිප්‍රත්‍යය බඳු යි. සමනන්තර විගත චිත්ත චෛතසික වර්තමාන චිත්තචෛතසිකයන්ට විගත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. වදාළේ මැ යි. පට්ඨානයෙහි:

“විගතපච්චයො’ති. සමනන්තර විගතා චිත්තචෙතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්තචෙතසිකානං ධම්මානං විගත පච්චයෙන පච්චයො” යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව දුතියජවනාදියෙහි ලා අපුඤ්ඤාභිසංඛාරයන්ට නාස්ති ප්‍රත්‍යයයෙන් සේ ම විගත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

24 අවිගත ප්‍රත්‍යය.

අවිගත ප්‍රත්‍යය නම් අවිගතභාවයෙන් උපකාර වීම ය. අවිගතභාවය නම් වෙන් වැ නො යාමය - අහක් වැ නොයාම ය. තමාගේ වර්තමානත්‍වය ම සෙසු ධර්මයන්ගේ පැවැත්මට උපකාර වේ නම් ඒ අවිගත ප්‍රත්‍යය යි. සමුද්‍රය එහි සත්ත්‍වයන්ට උපකාර වන්නාක් මෙනි. අවිගත ප්‍රත්‍යය අස්ති ප්‍රත්‍යය බඳු යි. බලනු.

පට්ඨානයෙහි:

“අවිගතපච්චයොති චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං අවිගතපච්චයෙන පච්චයො චත්තාරො මහාභූතාඅඤ්ඤමඤ්ඤ -පෙ- ඔක්කන්තික්ඛණෙනාමරූපං අඤ්ඤමඤ්ඤං -පෙ- චිත්තචෙතසිකා ධම්මා චිත්තසමුට්ඨානානං රූපානං -පෙ- මහාභූතා උපාදාරූපානං -පෙ- චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානං ච ධම්මානං -පෙ- සොතායතනං -පෙ- ඝාණායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං කායවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානං ච ධම්මානං -පෙ- රූපායතනං -පෙ- සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානං ච ධම්මානං -පෙ- රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනො ධාතුයා තංසම්පයුත්තකානං ච ධම්මානං -පෙ- යං රූපං නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණධාතු ච වත්තන්ති තං රූපං මනොධාතුයා ච මනොවිඤ්ඤාණධාතුයා ච තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගතපච්චයෙන පච්චයො” යි.

අස්තිප්‍රත්‍යය සේ ම මේ අවිගතප්‍රත්‍යය ද සහජාත පුරෙජාත, පශ්චාජ්ජාත, කබලීකාරාහාර රූපජීවිතින්‍ද්‍රිය යි පඤ්චවිධ වේ.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුණ්‍යාභිසංඛාරයන්ට ද, විඥානය නාමරූපයන්ට ද, නාමරූප සළායතනයන්ට ද, සළායතන ඵස්සයට ද, ඵස්සය වේදනාවට ද, තණ්හාව දිට්ඨුපාදානාදී තුනට ද, උපාදාන කර්මභවයට ද, අස්තිප්‍රත්‍යයයෙන් සේ ම මේ අවිගත ප්‍රත්‍යයයෙන් ද, ප්‍රත්‍යය වේ.

අස්ති අවිගත ප්‍රත්‍යය දෙක ද නාස්ති විගත ප්‍රත්‍යය දෙක ද සමාන ය. දේශනාවිලාසය ද විනෙයපුද්ගල විශේෂය ද එය එසේ වදාරන්නට කරුණු බව දත යුතු යි.

ප්‍රශ්න.

  1. විප්‍රයුක්ත ප්‍රත්‍යය පහදා දෙනු.
  2. අස්තිප්‍රත්‍යය කිම? එහි භෙද දක්වනු.
  3. නාස්තිප්‍රත්‍යය විස්තර කරනු.
  4. විගත අවිගත ප්‍රත්‍යය පැහැදිලි කරනු.
  5. මේ ප්‍රත්‍යය පස පටිච්චසමුප්පාදයේ යෙදෙන තැන් දක්වනු.