9. බෝධිපාක්‍ෂික ධර්ම (සම්බොජ්ඣඞ්ග, මග්ගඞ්ග)

star_outline

සම්බොජ්ඣඞ්ග සත නම්,

1 සතිසම්බොජ්ඣඞ්ගය, 2 ධම්මවිචය බොජ්ඣඞ්ගය, 3 විරිය සම්බොජ්ඣඞ්ගය, 4 පීතිසම්බොජ්ඣඞ්ගය, 5 පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, 6 සමාධි සම්බොජ්ඣඞ්ගය, 7 උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යන මොහු යි.

සම්බෝධි යනු සතර මාර්ග ඥානයට නමෙකි. එයින් චතුස්සත්‍යය හෝ නිර්වාණය හෝ මනාකොට අවබෝධ කෙරෙයි යන අර්ථයෙන් සම්බෝධිය උපදවන අඞ්ගයෝ-සහකාරි බලවත් ප්‍රත්‍යයෝ සම්බොජ්ඣඞ්ගයෝ ය. සෝවාන් ආදි සතර මාර්ග ඥානය උපදවන්නා වූ එහි සම්ප්‍රයුක්ත වූ ධර්ම සමූහයෙක් චෛතසික කොටසෙක් සම්බොජ්ඣඞ්ගයෝ ය යි කී නිසා දත යුතුයි. “සතර මාර්ගඥානය උපදවන්නාවූ” යන මෙයින් ශීල විශුද්ධි ආදියෙහි යෙදෙන සති ආදි ලෞකික ද, “එහි සම්ප්‍රයුක්ත වූ යන්නෙන්” මාර්ගයෙහි යෙදෙන සති ආදි ලෝකෝත්තර ද කියවෙන්නේය. මෙහිලා ලෝකෝත්තරය විශේෂයෙන් අභිප්‍රේත යි.

1. සති ම සම්බොජ්ඣඞ්ග වූයේ සතිසම්බොජ්ඣඞ්ගය. සති යනු සති චෛතසිකය යි. ඒ වනාහි කායාදි චතුර්විධ අරමුණුයෙහි යොදා වඩන්නේ පිළිවෙලින් ප්‍රමාද පක්‍ෂය මැඩැ අප්‍රමාද පක්‍ෂය පුරා චතුමාර්ගඥාන සංඛ්‍යාත සම්බෝධිය නංවා ලන්නේ ය.

2. ධම්මවිචය නම් ප්‍රඥාය. ධර්මයන් විචනය-උපධාරණය කරන්නේය යන අර්ථයෙන්. මෙහි ධර්ම යන්නෙන් විදර්ශනාවට භූමි වූ ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද පඨවි ඵස්සාදි ත්‍රෛභූමක ධර්ම ගනු ලැබේ. විචයන නම් ඒ ධර්ම, රූප නම් කර්කශත්‍වාදි වශයෙන් හෝ අනිත්‍යාදි වශයෙන් හෝ විවිධාකාරයෙන් ද, නාම නම් ඵුසනාදි වශයෙන් හෝ අනිත්‍යාදි වශයෙන් හෝ විවිධාකාරයෙන් ද විශේෂයෙන් බැලීම යි. මෙසේ ධර්ම විචයන කරන්නේ ධර්මවිචය ය. ඒ කිමෙක් ද? ප්‍රඥා ය. ධම්ම විචය ම සම්බොජ්ඣඞ්ග වූයේ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය. මෙයින් මාර්ග සිත් යෙදෙන ප්‍රඥාව කියන ලදැ යි දත යුතු. ඒ වනාහි තාමට විෂය වන ත්‍රෛභූමික ධර්මයෙහි භාවනා වශයෙන් නොවැ වැඩෙන්නේ පිළිවෙලින් සියලු අවිද්‍යා පක්‍ෂ මැඩැ ගෙනැ සියලු ප්‍රඥා පක්‍ෂ පුරා ගෙනැ තෙමේ ම චතුමාර්ගඥාන සංඛ්‍යාත සම්බෝධි වන්නේ ය.

3. සතර සම්‍යක් ප්‍රධාන සංඛ්‍යාත වීර්යය ම සම්බොජ්ඣංග වූයේ විරිය සම්බොජ්ඣංගය. විරිය වනාහි ස්වකීය චතුර්විධ ගොචරයෙහි භාවනා වශයෙන් වඩන්නේ පිළිවෙලින් කුශල ධර්ම පිළිබඳ ඇකිලෙන පැකිලෙන මැලවෙන සියලු ක්ලේශ පක්‍ෂ මැඩැ සියලු ධුර-ප්‍රග්‍රහ පක්‍ෂ පුරා චතුමාර්ගඥාන සංඛ්‍යාත සම්බෝධිය නංවන්නේ ය.

4. පීතිය ම සම්බොජ්ඣංග වූයේ පීතිසම්බොජ්ඣංගය. පීතිය වනාහි ස්වකීය විෂයයෙහි මනා වැ වැඩෙන්නේ කුශල ධර්ම පිළිබඳ සියලු අරති, උකටලි පක්‍ෂ මැඩැ සියලු ධර්මරති, ධර්මනන්‍දි, ධර්මරාම පක්‍ෂ පුරා චතුමාර්ගඥාන සංඛ්‍යාත සම්බෝධිය නංවන්නේ ය.

5. පස්සද්ධිය ම සම්බොජ්ඣංග වූයේ පස්සද්ධි සම්බොජ්ඣංගය. පස්සද්ධි නම් කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි චෛතසික යුගලය යි. මෙහි ලා ඒ දෙක එකක් වශයෙන් සලකනු ලැබේ. පස්සද්ධිය වනාහි ස්වකීය විෂය ධර්මයෙහි භාවනා වශයෙන් මනාවැ වඩන්නේ චිත්තය පිළිබඳ සියලු තද-දැඩි බැව් මැඩැ සියලු ව්‍යුපශම-ශීතල පක්‍ෂ පුරා චතුමාර්ගඥානය සංඛ්‍යාත සම්බෝධිය නංවන්නේ ය.

6. සමාධිය ම සම්බොජ්ඣඞ්ග වූයේ සමාධි සම්බොජ්ඣංගය. සමාධි නම් එකග්ගතා යි. මෙ ද ස්වකීය ගොචරයෙහි භාවනා වශයෙන් වඩන්නේ චිත්තයාගේ නො සන්සුන් බව මැඩ එකඟ බව වඩා සම්බෝධිය නංවන්නේ ය.

7. උපෙක්‍ෂාව ම සම්බොජ්ඣංග වූයේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය. උපෙක්ඛා නම් තත්‍රමජ්ඣත්තතා යි. එ ද ස්වකීය ගොචරයෙහි භාවනා වශයෙන් වඩන්නේ චිත්තය පිළිබඳ සියලු ලීන උද්ධච්ච පක්‍ෂ මැඩ මධ්‍යස්ථ පක්‍ෂ වඩා මාර්ගඥාන සංඛ්‍යාත සම්බෝධිය නංවන්නේ ය.

මේ ද ශීල විශුද්ධි ආදියෙහි ලෞකික ය. මාර්ගයෙහි ලෝකෝත්තරය යි දත යුතු යි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය

ආර්ය මාර්ගාඞ්ග අට නම්:

1 සම්මා දිට්ඨි, 2 සම්මා සංකප්ප, 3 සම්මා වාචා, 4 සම්මා කම්මන්ත, 5 සම්මා ආජීව, 6 සම්මා වායාම, 7 සම්මා සති, 8 සම්මා සමාධි යන මොහු යි.

ආර්යමාර්ග යනු උතුම් මාර්ගය. චතුස්සත්‍යාවබෝධ පිණිස නිවන් යනු පිණිස පවත්නා උතුම් පාර ය. එය අංග අටෙකින් යුක්ත ය. මාර්ග වන්නේ මේ අංග අටම ය. අංග අට හැරැ මාර්ගය යි අනිකෙක් නැති.

1. සම්මා දිට්ඨි නම් ප්‍රඥා ය. එයින් මනා වැ-අවිපරීත වැ-දන්නේ ය යන අර්ථයෙන්. ඒ වනාහි දුක්ඛෙ ඤාණය, දුක්ඛ සමුදයෙ ඤාණය, දුක්ඛ නිරොධෙ ඤාණය, දුක්ඛ නිරොධගාමී පටිපදාය ඤාණය යි චතුර්විධ වේ. සෝවාන් ආදි මාර්ග සිත්හි යෙදෙන ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨි නමින් දැක්වෙන බව දත යුතු. එය මාර්ගාංග බැවිනි.

2. සම්මා සංකප්ප නම් යහපත් විතර්කය. එයින් මනා වැ-අවිපරීත වැ සංකල්පනය කරන්නේ ය යන අර්ථයෙන්. මාර්ග සිත් හි යෙදෙන විතර්ක චෛතසිකය සම්මා සංකප්ප නමින් දැක්වුණු බව දත යුතු යි.

3. සම්මා වාචා 4 සම්මා කම්මන්ත, 5 සම්මා ආජීව යනු විරතිත්‍රය ය. එහි විස්තර යට දැක්විණි.

6. සම්මා වායාම යනු යහපත් වීර්යය. සතර සම්‍යක් ප්‍රධාන වූයේත් මේ ය.

7. සම්මා සති යනු යහපත්-අවිපරීත සතිය යි. සතර සතිපට්ඨාන වූයේ ත් මේ ය.

8. සම්මා සමාධි යනු යහපත්-අවිපරීත එකග්ගතා යි.

මේ ද මාර්ග සිත්හි ලෝකෝත්තර ය ශීල විශුද්ධි ආදියෙහි ලෞකික ය. අෂ්ටාඞ්ගික මාර්ග පිළිබඳ විස්තර ප්‍රසිද්ධ බැවින් සංක්‍ෂිප්ත කරන ලදි.

ප්‍රශ්න.

  1. සප්ත සම්බොජ්ඣඞ්ග දක්වනු.
  2. සම්බොද්‍යඞ්ග යන්නෙහි අර්ථය පැහැදිලි කරනු.
  3. සම්බොජ්ඣඞ්ග නමින් දැක්වුණු චෛතසික මේ මේය යි දක්වනු.
  4. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය යනු කිම?
  5. මේ සත ලෞකික වන්නේ කොතැන්හි ද? ලෝකෝත්තර වන්නේ කොතැන්හි ද?