8. බෝධිපාක්‍ෂික ධර්ම (සෘද්ධිපාද, ඉන්ද්‍රිය, බල)

සතර සෘද්ධිපාද.

සෘද්ධිපාද සතර නම්,

1 ඡන්දිද්ධීපාදය, 2 විරියිද්ධිපාදය, 3 චිත්තිද්ධිපාදය, 4 වීමංසිද්ධිපාදය යන මොහු යි.

සෘද්ධි නම් සිද්ධිය යි-සමෘද්ධ වීම යි. ඒ ඒ යෝග කර්මයාගේ නිපැද්ම යි. ඒ වනාහි අභිඥෙය ධර්මයාගේ අභිඥා සිද්ධිය, පරිඥෙය ධර්මයාගේ පරිඥාසිද්ධිය, ප්‍රහාතව්‍ය ධර්මයාගේ ප්‍රහාණ සිද්ධිය සාක්‍ෂාත් කටයුතු ධර්මයාගේ සාක්‍ෂාත් සිද්ධිය භාවිතව්‍ය ධර්මයාගේ භාවනා සිද්ධිය යි පස් වැදෑරුම් වේ. පාද නම් හේතුව-කාරණය. යථෝක්ත ධර්මයන්ගේ සමෘද්ධියට හේතු බලවත් උපාය සෘද්ධිපාද යි. ඒ සෘද්ධිපාද වනාහි චතුර්විධ අධිපතීන්ගේ වශයෙන් චතුර්විධ වේ.

1. අධිපති වූ ඡන්‍දය ම ඉද්ධිපාද වූයේ ඡන්‍දිද්ධිපාදය. සෝවාන් ආදි මාර්ග සිත්හි පවත්නා අධිපති වූ ඡන්‍දය චතුස්සත්‍යාවබෝධයට පාද-බලවත් උපාය වන්නේ ය. යම්කිසි උපායෙකින් බැහැර කට හැකි සාමාන්‍ය ඡන්‍දය එයට උපාය නො වන්නේ ය.

2. අධිපති වූ විරියම ඉද්ධිපාද වූයේ විරියිද්ධිපාදය. සෝවාන් ආදී සිත්හි පවත්නා අධිපති වූ විරිය චතුස්සත්‍යාවබෝධයට පාද-බලවත් උපාය වන්නේ ය. යම්කිසි උපායෙකින් බැහැර කට හැකි සාමාන්‍ය විරිය එයට උපාය නො වන්නේ ය.

3. අධිපති වූ චිත්තයම ඉද්ධිපාද වූයේ චිත්තිද්ධිපාදය සෝවාන් ආදි මාර්ග සිත ම චතුස්සත්‍යාවබෝධයට පාද-බලවත් උපාය වන්නේ ය. යම් කිසි උපායකින් බැහැර කළ හැකි චිත්තය එයට උපාය නො වන්නේ ය.

4. අධිපති වූ වීමංසා (ප්‍රඥා) වම ඉද්ධිපාද වූයේ වීමංසිද්ධිපාදය. සෝවාන් ආදී මාර්ග සිත්හි පවත්නා අධිපති වූ ප්‍රඥාවම චතුස්සත්‍යාවබෝධයට පාද - බලවත් උපාය වන්නේ ය. යම් කිසි පළිබෝධයකින් බැහැර කළ හැකි සාමාන්‍ය ප්‍රඥාව එයට උපාය නො වන්නේ ය.

සෝවාන් ආදි මාර්ග සිත්හි යෙදෙන ඡන්‍ද, විරිය, චිත්ත, ප්‍රඥා සෘද්ධිපාද වූ බව මෙයින් දත යුතුය. මාර්ග සිත්හි යෙදෙන කල මොව්හු ලෝකෝත්තර ය. සෙසු ශීලවිශුද්ධි ආදියෙහි ලෞකික යි.

සෘද්ධි නම් සෘද්ධිවිධ ඥානය යි. එයට පාද වූයේ සෘද්ධි පාද යි. මේ වශයෙන් ද සෘද්ධිපාද සතර දත යුතු යි. මෙහි දී වනාහි පළමු දැක්වුණු ක්‍රමය ම යෙදේ. බෝධිපාක්‍ෂික වශයෙන් කියන බැවිනි.

පඤ්චින්‍ද්‍රිය

ඉන්‍ද්‍රිය පසනම්: 1 සද්ධින්ද්‍රිය, 2 විරියින්ද්‍රිය, 3 සතින්ද්‍රිය 4 සමාධින්ද්‍රිය, 5 පඤ්ඤින්ද්‍රිය යන මොහු යි.

මොවුන්ගේ අර්ථ බාවීසතින්ද්‍රිය විභාගයෙහි දක්වන ලදි. මාර්ග සිත්හි පවත්නා ස්දධාව ඉන්‍ද්‍රිය වූයේ - ඊශ්වර වූයේ සද්ධින්‍ද්‍රිය ය. විරිය ඉන්‍ද්‍රිය වූයේ - ඊශ්වර වූයේ විරියින්ද්‍රිය ය. සතිය ඉන්‍ද්‍රිය වූයේ - ඊශ්වර වූයේ - සතින්ද්‍රිය ය. සමාධිය ඉන්‍ද්‍රිය වූයේ ඊශ්වර වූයේ - සමාධින්ද්‍රිය ය. ප්‍රඥාව ඉන්ද්‍රිය වූයේ - ඊශ්වර වූයේ පඤ්ඤින්ද්‍රිය ය. සද්ධින්ද්‍රිය සතර සෝතාපත්ති අංගයෙහි ද, විරියින්‍ද්‍රිය සතර සම්‍යක් ප්‍රධානයෙහි ද සතින්ද්‍රිය සතර සතිපට්ඨානයෙහි ද, සමාධින්ද්‍රිය චතුර්ථධ්‍යානයෙහි ද, පඤ්ඤින්‍ද්‍රිය චතුරාර්ය සත්‍යයෙහි ද දැක්ක යුතුයි.

මේ ද ශීලවිශුද්ධි ආදියෙහි ලෞකික ය. මාර්ගයෙහි ලෝකෝත්තර යි.

පඤ්ච බල.

බල පස නම්:

1 සද්ධාබල, 2 විරිය බල, 3 සති බල, 4 සමාධි බල, 5 පඤ්ඤා බල යන මොහු යි.

මොවුන්ගේ අර්ථ නවබල විභාගයෙහි දක්වන ලදි. සද්ධාදි පස ම බලත්‍වයට පැමිණියේ සද්ධාබලාදි වන්නේ ය. සෙස්ස පඤ්චින්‍ද්‍රියෙහි මෙනි. මෙ ද ශීලවිශුද්ධි ආදියෙහි පටන් ලෞකික ය. මාර්ගයෙහි ලෝකෝත්තර යි.

ප්‍රශ්න.

  1. සෘද්ධිපාද සතර දක්වනු. එහි අර්ථ ද පැහැදිලි කරනු.
  2. පංච ඉන්ද්‍රිය කවරේ ද?
  3. පංච බල කවරේ ද?
  4. ඉන්‍ද්‍රිය, බල ධර්මයන්ගේ වෙනස දක්වනු.
  5. මොවුන්ගේ ලෞකික ලෝකෝත්තර අවස්ථා දක්වනු.