5. මිශ්‍රක සංග්‍රහය (බල, අධිපති.)

නව බල

බල නවය නම්:- 1 සද්ධාබල, 2 විරියබල, 3 සතිබල, 4 සමාධිබල, 5 පඤ්ඤාබල, 6 හිරිබල, 7 ඔත්තප්පබල, 8 අහිරිකබල, 9 අනොත්තප්පබල යන මොහු යි.

බල නම් නැගි නැගී එන විරුද්ධ ධර්ම මැඩැලන ධර්ම යි. විරුද්ධ ධර්ම විසින් මැඩැලිය නො හැකි ධර්ම හෝ, යම් ධර්මයෙකින් මැනවින් හෝ නො මැනවින් ජීවත් වෙත් ද ඒ ධර්ම හෝ, සම්ප්‍රයුක්තයෙන් ස්ථිර වැ පවත්වන ධර්ම හෝ, බල ය යි කිය යුතු. එබඳු බල නවයෙකි.

1. සද්ධාව අස්සද්ධිය සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මැඩැලයි. එ බැවින් සද්ධා ව සද්ධාබලය යි කියනු ලැබේ. සෙසු අර්ථ ද මෙ සේ යෙදිය යුතු.

2. කුසීත භාව සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මඩනා බැවින් විරිය විරිය බලය වේ.

3. සිහි මුළා බැව් සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මැඩැලන බැවින් සතිය සතිබල වේ.

4. උද්ධච්ච (නො සන්සුන් බැව්) සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මැඩැලන බැවින් සමාධිය සමාධිබලය වේ.

5. අවිද්‍යා සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මැඩැලන බැවින් පඤ්ඤාව පඤ්ඤා බලය වේ.

6. අහිරික සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මැඩැලන බැවින් හිරිය හිරිබලය වේ.

7. අනොත්තප්ප (පාපයෙහි බියනැති බැව්) සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂධර්මය මැඩැලන බැවින් ඔත්තප්පය ඔත්තප්පබලය වේ.

8. හිරි (ලජ්ජා) සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මැඩැලන බැවින් අහිරිකිය අහිරිකබලය වේ.

9. ඔත්තප්ප සංඛ්‍යාත ප්‍රතිපක්‍ෂ ධර්මය මැඩැලන බැවින් අනොත්තප්පය අනොත්තප්ප බලය වේ.

මින් විරිය හා සමාධි කුශල අකුශල අව්‍යාකෘත බල ය. අහිරික හා අනොත්තප්ප අකුශල බල ය. සෙසු පස කුශල බල යි. අකුශල බල දෙක සම්ප්‍රයුක්ත ධර්මයන්හි ස්ථිරාර්ථයෙන්ම බල නාමය ලබන්නේ ය යනු එක් ටීකා මතයෙකි.

සතර අධිපති

අධිපති සතර නම්: 1 ඡන්දාධිපති, 2 විරියාධිපති, 3 චිත්තාධිපති, 4 වීමංසාධිපති යන මොහු යි.

අධීපති නම්:- ඊශ්වර ය-ස්වාමි ය. ඊශ්වර වනාහි ප්‍රදේශ ඊශ්වර ය, සකල ඊශ්වරය යි ද්විවිධ වේ. ප්‍රදේශ ඊශ්වර නම් තුමූත් අන්‍යයන්ගේ වශයෙහි සිටිමින් අන්‍යයනුත් තමන්ගේ වශයෙහි පවත්වන්නෝ ය. සකල ඊශ්වර නම් තුමූ අන්‍යයන්ගේ වශයෙහි නො සිටිමින් අන්‍යයන් තමන්ගේ වශයෙහි පවත්වන්නෝ ය. යට දැක්වුණු ඉන්ද්‍රිය ප්‍රදේශ ඊශ්වරයන් වැන්න. ඔව්හු පරමාධිපති භාවය කරතියි කිව ද මේ අර්ථයෙන් ය යි ගත යුතු. අධිපතීහු සකල ඊශ්වරයන් වැන්නෝ ය. ඔව්හු පූර්වාභිසංස්කාර වශයෙන් හෝ පූර්වාගමන වශයෙන් හෝ එසේ සම්ප්‍රයුක්තයන්ට අධිපති භාවය කෙරෙත්. පූර්වාභිසංස්කාර නම් මේ ජන්මයෙහි අභිසංස්කරණය යි. පූර්වාගමන නම් පූර්ව ජන්මයෙහි ආසෙවිතත්‍වය යි.

1. ඡන්‍දය ම අධිපති වූයේ ඡන්දාධිපති ය. “ඡන්දවතො කිං නාම න සිජ්ඣති” ඡන්‍දය ඇත්තහුගේ කිමෙක් නම් සිද්ධ නො වේ දැ යි කී හෙයින් පූර්වාභිසංස්කාර වශයෙන් හෝ පූර්වාගමන වශයෙන් හෝ ඒ ඒ කල්‍යාණ හෝ පාපයන්හි සම්ප්‍රයුක්ත ධර්මයන් ආත්මාධීන (තමාට යටත්) කොටැ පවත්නා කත්තුකම්‍යතා ඡන්දය ඡන්දාධීපති ය. මෙයින් අධිපති වැ පවත්නා ඡන්ද චෛතසිකය දැක්වුණු බව දත යුතු.

2. චිත්තය ම අධිපති වූයේ චිත්තාධිපති ය. පූර්වාභිසංස්කරණ වශයෙන් හෝ පූර්වාගමන වශයෙන් හෝ සම්ප්‍රයුක්ත ධර්මයෙන් ආත්මාධීන කොටැ පවත්නා චිත්තය චිත්තාධිපති ය. මෙයින් අධිපති වැ පවත්නා චිත්තය දැක්වුණු බව දත යුතු.

3. විරිය ම අධිපති වූයේ විරියාධිපති ය. පූර්වාභිසංස්කරණ වශයෙන් හෝ පූර්වාගමන වශයෙන් හෝ සම්ප්‍රයුක්ත ධර්මයන් ආත්මාධීන කොටැ පවත්නා විරීය විරියාධිපති ය. මෙයින් අධිපති වැ පවත්නා විරිය චෛතසිකය දැක්වුණු බව දත යුතු.

4. වීමංසා ම අධිපති වූයේ වීමංසාධිපති ය. පූර්වාභිසංස්කරණ වශයෙන් හෝ පූර්වාගමන වශයෙන් හෝ සම්ප්‍රයුක්ත ධර්මයන් ආත්මාධීන කොටැ පවත්නා ප්‍රඥාව වීමංසාධීපති ය. මෙයින් අධිපති වැ පවත්නා ප්‍රඥාව දැක්වුණු බව දත යුතු.

චිත්ත, විරිය, වීමංසා ඉන්ද්‍රිය වශයෙන් ද යට දැක්විණි. වීමංසා නම් ප්‍රඥා. සක්විති රජ පුරෝහිතයාගෙන් කිසිවක් දැන ගැන්ම ඔහුගේ ආධිපත්‍යයට බාධක නොවේ.

ප්‍රශ්න.

  1. බල කෙතෙක් ද? කවරහු ද? කුමක් හෙයින් ඔහු බල නම් වූ ද?
  2. බල කුශලා කුශල අව්‍යාකෘත වශයෙන් බෙදනු.
  3. අහිරික අනොත්තප්ප බල ය යි කීයේ කිම?
  4. අධිපති කෙතෙක් ද? කවරහු ද? ඔවුන්ගේ අර්ථ පැහැදිලි කරනු.
  5. ඉන්ද්‍රිය අධිපතීන්ගේ වෙනස දක්වනු.