අකුශල සංග්‍රහයට අනතුරුව මිශ්‍රක සංග්‍රහය දක්වනු ලැබේ. “කුශල අකුශල අව්‍යාකෘත වශයෙන් මිශ්‍රයන්ගේ හේතු ආදි වශයෙන් සංග්‍රහය මිශ්‍රක සංග්‍රහය” යි යට දැක්විණි. එ් වනාහි හේතු, ඣානාඞ්ග, මග්ගඞ්ග, ඉන්‍ද්‍රිය, බල, අධිපති, ආහාර වශයෙන් සප්තවිධ ය. එහිදු හේතු සයෙකි. ඣානාඞ්ග සතෙකි. මග්ගඞ්ග දොළොසෙකි. ඉන්‍ද්‍රිය දෙවිස්සෙකි. බල නවයෙකි. අධිපති සතරෙකි ආහාරද සතරෙකි.
ෂඩ් හේතු
හේතු සය නම්, ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ යන මොහුයි. මෙහි මුල් තුන අකුශල හේතු ය. සෙස්ස කුශල අව්‍යාකෘත හේතු යි. මොවුන් පිළිබඳ විභාගය යට කියන ලදි.
සප්ත ධ්‍යානාඞ්ග
ධ්‍යානාඞ්ග සත නම්: 1 විතක්ක, 2 විචාර, 3 පීති 4 එකග්ගතා, 5 සෝමනස්ස, 6 දෝමනස්ස, 7 උපෙක්ඛා යන මොහු යි.
මෙහි ධ්‍යානයෝ නම් අරමුණ උපනිජ්ඣායනය කරන්නෝ ය. උපනිජ්ඣායනය නම් බැලීම යි. කල්‍යාණ වූ හෝ පාප වූ හෝ අරමුණෙහි සෘජුව සිත පිළියෙල කිරීම යි. එහි අඞ්ග ධ්‍යානාඞ්ග යි. ඔහු වනාහි සත් දෙනෙකි. ඔවුන් පිළිබඳ විභාගය යට දක්වන ලදි. එහි දු දෝමනස්සය අකුශල ධ්‍යානාඞ්ග ය. සෙස්ස කුශල අකුශල අව්‍යාකෘතයෝ යි. තව ද වස්තු වශයෙන් ගත් කළ ධ්‍යානාඞ්ග පසෙකි. සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනා බැවිනි.
ද්වාදශ මාර්ගාඞ්ග
මාර්ගාඞ්ග දොළොස නම් : 1 සම්මාදිට්ඨි, 2 සම්මා සංකප්ප, 3 සම්මාවාචා, 4 සම්මා කම්මන්ත, 5 සම්මා කම්මන්ත, 6 සම්මා ආජීව, 6 සම්මා වායාම, 7 සම්මාසති, 8 සම්මා සමාධි, 9 මිච්ඡා දිට්ඨි, 10 මිච්ඡා සංකප්ප, 11 මිච්ඡා වායාම, 12 මිච්ඡා සමාධි යන මොහු යි.
සුගති දුර්ගති නිර්වාණ සංඛ්‍යාත ඒ ඒ දිශාවන්ට පමුණුවන්නෝ මාර්ගයෝ ය. ඔවුන් පිළිබඳ අඞ්ගයෝ මාර්ගාඞ්ගයෝ ය. ඔහු වනාහි සම්මාදිට්ඨි ආදී වශයෙන් දොළොසෙක, මින් සම්මාදිට්ඨි ආදී අට සුගති නිර්වාණ මාර්ගාඞ්ගය මිච්ඡාදිට්ඨි ආදී සතර දුගති මාර්ගාඞ්ග යි.
1. සම්මාදිට්ඨි නම් අවිපරීත දර්ශනය යි - මැනවින් බැලීම යි - ප්‍රඥාව යි. ඒ වනාහි “අත්‍ථි දින්නං" යනාදි වශයෙන් දශවිධ වේ. තවද නොයෙක් භෙද ඇත්තේ ය.
2. සම්මාසඞ්කප්ප නම් අවිපරිත විතර්කන යි. ඒ වනාහි නෙක්ඛම්ම සංකප්පාදි වශයෙන් ත්‍රිවිධ වේ.
3. සම්මාවාචා නම් අවිපරීත - සත්‍ය වචන යි. ඒ වනාහි මුසාවාදාදියෙන් වැළකීම වශයෙන් චතුර්විධ වේ.
4. සම්මාකම්මන්ත නම් නිවැරදි කර්මාන්ත යි. ප්‍රාණඝාතාදියෙන් වැළකීම් වශයෙන් ත්‍රිවිධ වේ.
5. සම්මා ආජීව නම් දැහැමින් දිවි පැවැත්ම යි. ඒ වනාහි වාචසික කායික සප්තවිධ දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් සප්තවිධ වේ.
6. සම්මා වායාම නම් යහපත් වීර්ය යි. ඒ වනාහි නූපන් අකුසල් නූපදනා සේ වීර්ය කිරීම් ආදි වශයෙන් චතුර්විධ වේ.
7. සම්මා සති නම් මනා සිහිය යි. කායානුපස්සනා ආදි වශයෙන් චතුර්විධ වේ.
8. සම්මා සමාධි නම් යහපත් ඒකාග්‍රතා යි. ප්‍රථමාදි ධ්‍යාන වහයෙන් පංචවිධ හෝ චතුර්විධ වේ.
9. මිච්ඡාදිට්ඨි නම් විපරීත දර්ශනය යි. වරදවා ගැන්ම යි. ඒ නානාවිධ වේ.
10. මිච්ඡාසංකප්ප නම් විපරීත විතර්කනය යි. කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක යි.
11. මිච්ඡාවායාම නම් අයහපත් වීර්ය යි. සම්‍යක් ව්‍යායාමයට ප්‍රතිපක්‍ෂ ව්‍යායාමය යි.
12. මිච්ඡා සමාධි නම් අයහපත් ඒකාග්‍රතා යි. අකුශල සිත්හි ලැබෙන එකාග්ගතා යි.
සම්මාදිට්ඨි ආදි මාර්ගාඞ්ග අට පිළිබඳ විස්තරයෙක් මතු බෝධිපාක්‍ෂික විභාගයෙහමි පළවේ. වස්තු ධර්ම වශයෙන් බලත් හොත් මාර්ගාඞ්ග නවයෙකි. සම්මාසංකප්ප මිච්ඡා සංකප්ප විතර්කයෙහි ද, සම්මාවායාම මිච්ඡාවායාම විරියයෙහි ද, සම්මා සමාධි මිච්ඡාසමාධි එකග්ගතායෙහි ද, ඇතුළත් බැවිනි.
බාවීසති ඉන්ද්‍රිය
ඉන්ද්‍රිය දෙවිස්ස නම්: 1 චක්ඛුන්ද්‍රිය, 2 සොතින්ද්‍රිය, 3 ඝාණින්ද්‍රිය, 4 ජිව්හින්ද්‍රිය, 5 කායින්ද්‍රිය, 6 ඉත්‍ථින්ද්‍රිය, 7 පුරිසින්ද්‍රිය, 8 ජිවිතින්ද්‍රිය, 9 මනින්ද්‍රිය, 10 සුඛින්ද්‍රිය, 11 දුක්ඛින්ද්‍රිය, 12 සෝමනස්සින්ද්‍රිය, 13 දෝමනස්සින්ද්‍රිය, 14 උපෙක්ඛින්ද්‍රිය, 15 සඩින්ද්‍රිය, 16 විරියින්ද්‍රිය, 17 සතින්‍ද්‍රිය, 18 සමාධින්ද්‍රිය, 19. පඤ්ඤින්ද්‍රිය, 20 අනඤ්ඤාතංඤස්සාමීතින්ද්‍රිය, 21 අඤ්ඤින්ද්‍රිය, 22 අඤ්ඤතාවින්ද්‍රිය යන මොහු යි.
ඉන්ද්‍රිය නම් - පරමාධිපති භාවය කරන ධර්ම යි.
පරමාධිපති භාවය නම් - අත්මාධීන ධර්ම ස්වකීය ගතියෙහි සර්වාකාරයෙන් පවත්වන්නට සමර්ථ බව යි. ඔහු දෙවිස්සෙකි.
1. චක්ඛු යනු චක්‍ෂු ප්‍රසාදය යි. එය දර්ශන කෘත්‍යයෙහි දී චක්‍ෂුර්විඥානයන්ට පරමාධිපති භාවය කරන හෙයින් චක්ඛුන්‍ද්‍රිය විය.
2. සොත යනු ශ්‍රොත්‍ර ප්‍රසාදය යි. එය ශ්‍රවණ කෘත්‍යයෙහි දී සෝත විඤ්ඤාණයන්ට පරමාධිපති භාවය කරන හෙයින් සොතින්‍ද්‍රිය විය.
3. ඝාණ යනු ඝ්‍රාණ ප්‍රසාදය යි. එය ආඝ්‍රායණ කෘත්‍යයෙහි දී ඝාණවිඤ්ඤාණයන්ට පරමාධිපති භාවය කරන හෙයින් ඝාණින්‍ද්‍රිය විය.
4. ජිව්හා යනු ජිව්හා ප්‍රසාදය යි. එය සායන කෘත්‍යයෙහි දී ජිව්හා විඤ්ඤාණයන්ට පරමාධිපති භාවය කරන හෙයින් ජිව්හින්‍ද්‍රිය විය.
5. කාය යනු කාය ප්‍රසාදය යි. එය ස්පර්ශ කෘත්‍යයෙහි දී කාය විඤ්ඤාණයන්ට පරමාධිපති භාවය කරන හෙයින් කායින්‍ද්‍රිය විය.
සත්ත්‍වයන්ගේ ප්‍රකට වූ රූප කාය පිළිබඳ ආත්ම දෘෂ්ටියේ දැඩිවැ ගැන්ම හෝ එයින් මිදීම මේ පස නොදැන්මෙන් සිදුවන බව දක්වන්නට ප්‍රසාද ඉන්ද්‍රිය පස ආදි කොට දක්වන ලදි.
6. ඉත්‍ථින්‍ද්‍රිය නම් ස්ත්‍රීභාව රූපය යි. එය ස්ත්‍රී ආකාර වශයෙන් ප්‍රවෘත්ති කාලයෙහි චතුසමුට්ඨානික රූපයන්ට-පඤ්චස්කන්‍ධයට ම හෝ පරමාධිපති භාවය කෙරෙයි. ඒ එසේ මැ යි. යමකුගේ ප්‍රතිසන්ධියෙහි ස්ත්‍රී භාවය පිහිටියේ නම් ඇය පිළිබඳ කර්මාදි ප්‍රත්‍යය රූප උපදවන්නේ ස්ත්‍රී ආකාරයෙන් යුක්ත කොටැ ම උපදව යි. ඇයගේ ඡන්‍ද චිත්තාධිප්‍රායයෝ ද අවිසදාකාරයෙන් ම යුක්ත වෙත්.
7. පුරිසින්ද්‍රිය නම්: පුරුෂ භාව රූපය යි. එය පුරුෂාකාර වශයෙන් ප්‍රවෘත්ති කාලයෙහි චතුසමුට්ඨානික රූපයන්ට හෝ ස්කන්‍ධ පඤ්චකයට ම හෝ ඊශ්වරත්වය කෙරෙයි. ඒ එසේ මැයි. යමකුගේ ප්‍රතිසන්ධියෙහි පුරුෂ භාව රූපය පිහිටියේ නම් ඔහු පිළිබඳ කර්මාදි ප්‍රත්‍යය රූප උපදවන්නේ පුරුෂාකාරයෙන් යුක්ත කොටැ ම උපදවයි. ඔහුගේ ඡන්‍ද චිත්තාධිප්‍රායයෝ ද විසදාකාරයෙන් යුක්ත වෙත්.
සත්ත්වයන් පිළිබඳ ස්ත්‍රී පුරුෂ භාවය වන්නේ මේ භාව රූපද්වයයෙනි. එහි ග්‍රාහය හෝ විමුක්තිය වන්නේ මේ දෙක නොදැන් මෙන් හෝ දැන්මෙනි. එබැවින් පසාදින්‍ද්‍රියට අනතුරු වැ භාවින්‍ද්‍රිය දක්වන ලදි.
8. ජීවිතින්ද්‍රිය නම්: රූප අරූප ජීවිතින්‍ද්‍රිය යි. එය රූප අරූප සන්තතිය පිළිබඳ දිවස මසාදි වශයෙන් කල් පැවැත්මෙහි සහජාත ධර්මයන්ට ඊශ්වර භාවය කරයි.
සත්ත්‍වයා ජීව සංඥා ලබන්නේ මේ ජීවිතින්‍ද්‍රිය රූපයෙනි. එහි ග්‍රාහය හෝ විමුක්තිය මේ නොදැන්මෙන් හෝ දැන්මෙන් වන්නේ ය. එබැවින් භාවින්‍ද්‍රියට අනතුරු වැ ජීවිතින්‍ද්‍රිය දක්වන ලදි.
9. මනින්ද්‍රිය නම්: චිත්තය යි. එය විජානන කෘත්‍යයෙහි සහජාතයන්ට ඊශ්වර භාවය කෙරෙයි.
නාම කාය පිළිබඳ ආත්ම දෘෂ්ටියේ දැඩි බව ගැන්ම හෝ එයින් මිදීම මේ නොදැන්මෙන් හෝ දැන්මෙන් වන බව දක්වන්නට නාමින්‍ද්‍රිය අතුරෙන් ආදි කොට මනින්‍ද්‍රිය දක්වන ලදි.
10-14 සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය උපෙක්ඛින්ද්‍රිය නම් සුඛාදී වේදනා පංචකය යි. එය ආරම්මණ රසානුභවයෙහි සහජාතයන්ට ඊශ්වර භාවය කෙරෙයි.
ඒ අරූපී ආත්මය මේ සුඛාදි වශයෙන් කිලිටි ද චංචල ද වෙයි. එහි ග්‍රාහය හෝ එයින් මිදීම මේ පස නොදැන්මෙන් හෝ දැන්මෙන් වෙයි. එබැවින් එය දක්වන්නට සුඛාදි වේදනා පස ඉක්බිති වැ දක්වන ලදි.
15. සද්ධින්ද්‍රිය නම්: ශ්‍රද්ධා ය. එය ආරම්මණයෙහි මුක්තියෙහි සහජාත ධර්මයන්ට ඊශ්වර භාවය කරයි.
16. විරියින්ද්‍රිය නම්: වීර්ය ය. එය අලීන වෘත්තියෙහි සහ ජාත ධර්මයන්ට ඊශ්වර භාවය කරයි.
17. සතින්ද්‍රිය නම්: සතිය. එය අරමුණ වටහා ගැන්මෙහි සහජාත ධර්මයන්ට ඊශ්වර භාවය කරයි.
18. සමාධින්ද්‍රිය නම්: එකග්ගතා ය. එය අරමුණෙහි සහජාත ධර්ම නිශ්චලත්වයෙන් පිහිටුවීමෙහි ඊශ්වර භාවය කෙරෙයි.
පඤ්ඤින්ද්‍රිය නම්: ප්‍රඥා ය. එය අරමුණෙහි සහජාත ධර්මයන්ට අසම්මොහයෙහි ඊශ්වර භාවය කෙරෙයි.
19. වේදනා වශයෙන් කිළිටි වූ හෝ චංචල වූ හෝ සිත සද්ධින්ද්‍රියාදී පසින් පිරිසිදු කළ හැකි බැවින් එහි ග්‍රාහය වළකන්නට මේ පස ප්‍රතිපත්ති වන බැවින් ද වෙදනින්ද්‍රියට අනතුරු වැ සද්ධාදි ඉන්‍ද්‍රිය පස දක්වන ලදි.
20. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය නම්: සෝවාන් මාර්ග සිතෙහි යෙදෙන ප්‍රඥා ය. සසර දී කිසිකලෙකත් නො දක්නා ලද චතුරාර්යසත්‍යය හෝ නිර්වාණය “අනඤ්ඤාත” ය යි කියනු ලැබේ. ඒ “චතුරාර්යසත්‍යය හෝ නිර්වාණය දනිමි”යි පිළිපන්නහුගේ ඉන්ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය යි. එනම් සෝවාන් මාර්ග ඥානය යි. එය සෝවාන් මාර්ග ජවන්හි සම්ප්‍රයුක්ත ධර්මයන්ට ඊශ්වර භාවය කෙරෙයි.
21. ප්‍රථම මාර්ගයෙන් දක්නා ලද චතුරාර්යසත්‍යය හෝ නිර්වාණය නො ඉක්මැ දන්නහු පිළිබඳ ඉන්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය යි. එනම් සෝවාන් ඵල, සකදෘගාමී මාර්ග සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අර්හත් මාර්ග සිත්හි ප්‍රඥා ය. එ ද සම්ප්‍රයුක්ත ධර්මයන්ට ඊශ්වර භාවය කෙරෙයි.
22. චතුරාර්ය සත්‍යය හෝ නිර්වාණය දැනීමේ අවසානයට පැමිණි ක්‍ෂීණාශ්‍රව අඤ්ඤතාවී ය. ඔහු පිළිබඳ ඉන්‍ද්‍රිය අඤ්ඤාතවින්ද්‍රිය ය. එනම් අර්හත්ඵල සිතෙහි ප්‍රඥාව ය. එ ද සම්ප්‍රයුක්ත ධර්මයන්ට ඊශ්වර භාවය කෙරෙයි. වදාළේ මැ යි. විභඞ්ගයෙහි: “තත්‍ථ කතමං අඤ්ඤාතාවින්ද්‍රියං? යාතෙසං ධම්මානං අඤ්ඤාතාවිනං දිට්ඨානං පත්තානං විදිතානං සච්ඡිකතානං සච්ඡිකිරියාය පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං ඉදං වුච්චති අඤ්ඤතාවින්ද්‍රිය” යි.
ඒ ප්‍රතිපත්තියෙන් මේ ධර්මය පළමුකොටැ තමා කෙරෙහි පහළ වන්නේ ය යි ප්‍රතිපත්තියෙහි නො සිස් බව දක්වනු සඳහා “අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය” ද එහිම ඵලය වන බැවින් ද එයට අනතුරු වැ ලැබිය යුතු බැවින් ද ඉක්බිති “අඤ්ඤින්ද්‍රිය” ද මතු කළ යුතු නැතැයි දක්වනු සඳහා ඉක්බිති “අඤ්ඤාතාවින්‍ද්‍රිය” ද දක්වන ලදැ යි දතයුතු යි.
ප්‍රශ්න.
- මිශ්‍රක සංග්‍රහ යනු කිම? එහි කෙතෙක් කොටස් ඇතුළත් ද?
- හේතු සය දක්වනු. ඔවුන් කුශලාකුශල අව්‍යාකෘත වශයෙන් බෙදනු.
- ධ්‍යානාඞ්ග සත කවරේද? ඔහු කුමක් හෙයින් ධ්‍යානාඞ්ග වූ ද? දෝමනස්සය කවර ධ්‍යානාඞ්ගයෙක් ද?
- මාර්ගාඞ්ග කෙතෙක් ද? කවරහු ද? මිච්ඡාදිට්ඨි ආදිය මාර්ගාඞ්ග යයි කීයේ කිම?
- ඉන්‍ද්‍රිය කෙතෙක් ද? කවරහු ද? ඔහු කුමක් හෙයින් ඉන්‍ද්‍රිය නම් වූ ද? ඔවුන්ගේ අර්ථ පැහැදිලි කරනු. මේ පිළිවෙලින් දැක්වුණේ කිම?