12. සර්වසංග්‍රහය (ආයතන, ධාතු, සත්‍ය)

star_outline

ද්වාදසායතන

ආයතන දොළොස නම්:

  1. චක්ඛායතන
  2. සොතායතන
  3. ඝාණායතන
  4. ජිව්හායතන
  5. කායායතන
  6. මනායතන
  7. රූපායතන
  8. සද්දායතන
  9. ගන්ධායතන
  10. රසායතන
  11. ඵොට්ඨබ්බායතන
  12. ධම්මායතන

යන මොහු යි.

ස්වකීය කෘතියෙහි ආයතනය - ප්‍රයත්නය කරන්නෝ ආයතනයෝ ය. යම් කෙනෙකුන් කරණ කොටැ ගෙනැ චිත්ත චෛතසික ධර්මයෝ ස්වකීය කෘතියෙහි ආයතනය-ප්‍රයත්නය කෙරෙත් ද ඔහු ආයතනයෝ ය. පූර්වය කර්තෘ කාරක වශයෙනි. දෙ වැන්න කරණ කාරක වශයෙනි. ආය යනු චිත්ත චෛතසිකයන්ට නමෙකි. ඔවුන් පතුරුවන්නෝ හෝ ආයතනයෝ ය. ආයත යනු දීර්ඝ වූ සසර දුකට නමෙකි. ඒ ආයතනයට පමුණුවන්නෝ හෝ ආයතනයෝ ය. චිත්ත චෛතසිකයන්ට නිශ්‍රය වූ ද ආරම්මණ වූ ද ධර්මයෝ මෙයින් ගනු ලැබෙත්. ඔහු දොළොසෙකි.

චක්ඛුව ම ආයතන වූයේ චක්ඛායතන ය. එනම් චක්‍ෂුඃප්‍රසාදය යි. සෝතය ම ආයතන සෝතායතන ය. සෝතප්පසාදය යි. ඝාණායතන, ජිව්හායතන, කායායතන ද මෙසේ ය. මනස ම ආයතන වූයේ මනායතන ය. සිත් ය. මේ නිශ්‍රය වශයෙනි. රූපය ම ආයතන වූයේ රූපායතන ය. රූප සංඛ්‍යාත වර්ණය යි. සද්දායතනාදිය ද මෙසේ ය. ධම්මායතන නම් - චෛතසික දෙපණස. සොළොස් සූක්‍ෂම රූප, නිර්වාණ යන එකුන් සැත්තෑව ය. මේ ආරම්මණ වශයෙනි.

අෂ්ටාරස ධාතු

ධාතු අටළොස නම්:

  1. චක්ඛු ධාතු
  2. සෝත ධාතු
  3. ඝාණ ධාතු
  4. ජිව්හා ධාතු
  5. කාය ධාතු
  6. රූප ධාතු
  7. සද්ද ධාතු
  8. ගන්ධ ධාතු
  9. රස ධාතු
  10. ඵොට්ඨබ්බ ධාතු
  11. චක්ඛුවිඤ්ඤාණ ධාතු
  12. සෝතවිඤ්ඤාණ ධාතු
  13. ඝාණවිඤ්ඤාණ ධාතු
  14. ජිව්හාවිඤ්ඤාණ ධාතු
  15. කායවිඤ්ඤාණ ධාතු
  16. මනොධාතු
  17. ධම්ම ධාතු
  18. මනොවිඤ්ඤාණ ධාතු

යන මොහුයි.

ස්වභාවය දරන්නෝ ධාතුහු ය, දෙව්ලොව මනුලොව ආදි කොතැන පිහිටිය ද ධාතු හු ස්වභාවය දරන්නෝ ය. ඔහු අටළොසෙකි.

චක්ඛු ම ධාතු වූයේ චක්ඛු ධාතු ය. චක්‍ෂුඃප්‍රසාදය යි. රූප ම ධාතු වූයේ රූප ධාතු ය. වර්ණ සංඛ්‍යාත රූපය යි. චක්ඛු විඤ්ඤාණ ම ධාතු වූයේ චක්ඛු විඤ්ඤාණ ධාතු ය. චක්ඛු විඤ්ඤාණ සිත් දෙක යි. චක්ඛු හා රූප හා ඝට්ටනයෙන් චක්ඛු විඤ්ඤාණ උපදී. අධරාරණි හා උත්තරාරණි ඝට්ටනයෙන් ගින්න උපදින්නාක් මෙනි. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු ආදිය ද මෙසේ ය. මනෝ ධාතු නම් පඤ්චද්වාරාවර්ජන, සම්පටිච්ඡන යුගල යන සිත් තුන යි. ධම්මධාතු ධම්මායතනයට කී සේ ය. මනෝ විඤ්ඤාණ ධාතු නම් චක්ඛු විඤ්ඤාණාදි දසය ද, මනෝ ධාතු ත්‍රිකය ද යන සිත් තෙලෙස හැරැ සෙසු සසැත්තෑ සිත් ය. යට දැක්වුණු මනායතනය ම මෙහි සත්තවිඤ්ඤාණ ධාතු වශයෙන් බෙදී ගිය බව සැලකිය යුතු යි.

චතුරාර්ය සත්‍යය

ආර්ය සත්‍ය සතර නම්:

  1. දුඃඛාර්ය සත්‍යය,
  2. දුඃඛ සමුදයාර්ය සත්‍යය,
  3. දුඃඛ නිරොධාර්ය සත්‍යය,
  4. දුඃඛ නිරෝධගාමි ප්‍රතිපදාර්ය සත්‍යය

යන මොහු යි.

ආර්යයෝ නම් බුදුවරයෝ ය. ආර්යයන් විසින් පරෝපදේශ රහිත වැ ස්වයම්භූ ඥානයෙන් ප්‍රතිවේධ කළ සත්‍ය ආර්ය සත්‍ය ය. ආර්ය නම් උත්තමය-ශ්‍රේෂ්ඨ ය. සත්‍ය නම් සබා. උතුම් වූ - ශ්‍රේෂ්ඨ වූ - බොරු නො වන්නා වූ - සබා - ආර්ය සත්‍ය ය. ඒ සිව් ආකාර ය.

1. දුඃඛ නම් විස්තර වශයෙන් බලත් හොත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සාදිය ය. සැකෙවින් බලත්හොත් පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ත්‍රෛභූමික වෘත්තය යි. දුඃඛ ය ම ආර්ය සත්‍ය වූයේ දුඃඛාර්ය සත්‍ය ය.

2. දුඃඛ සමුදය නම් දුක් උපදවන්නා ය. එ නම් තෘෂ්ණාව ය. දුඃඛ සමුදය ම ආර්ය සත්‍ය වූයේ දුඃඛ සමුදයාර්ය සත්‍ය ය.

3. දුඃඛ නිරෝධ නම් දුක් නිරුද්ධ කරන්නා ය. යමක් අරමුණු කොට දුක් නිරෝධ වේ ද එය නම් නිර්වාණ ය. දුඃඛ නිරෝධය ම ආර්ය සත්‍ය වූයේ දුඃඛ නිරෝධාර්ය සත්‍ය ය.

4. දුඃඛ නිරෝධගාමී ප්‍රතිපදා නම් දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපත්තිය ය. එ නම් ආර්ය අෂ්ටාංගික මාර්ග යි. දුඃඛ නිරෝධගාමී ප්‍රතිපදාව ම ආර්ය සත්‍ය වූයේ දුඃඛ නිරෝධගාමී ප්‍රතිපදාර්ය සත්‍ය යි.

මෙහි විස්තර ප්‍රකට බැවින් සංක්‍ෂේප කරන ලදි. සර්ව සංග්‍රහය පිළිබඳ වූ ම මේ ගාථා ද උද්ග්‍රහණය කරනු.

“රූපං ච වේදනා සඤ්ඤා සෙසා චෙතසිකා තථා

විඤ්ඤාණමීති පඤ්චෙතෙ පඤ්චක්ඛන්ධාති භාසිතා.”

රූප, වේදනා, සඤ්ඤා, සෙසු චෛතසික (සංඛාර) විඤ්ඤාණ යන මේ පස පංචස්කන්ධය යි කියන ලදි.

“පංචූපාදානක්ඛන්ධා ති තථා තෙභූමකා මතා

භෙදාභාවෙන නිබ්බාණං ඛන්ධසංගහනිස්සටං.”

එසේ ම ත්‍රෛභූමිකයෝ පඤ්චොපාදානස්කන්ධයෝය යි කියන ලදු. කාල, දිශා, දේශ, ස්ථානාදි වශයෙන් භේද නැති බැවින් නිර්වාණය ස්කන්ධ සංග්‍රහයෙන් බැහැර විණි.

“ද්වාරාලම්බන භෙදන භවත්තායතනානි ච

ද්වාරාලම්බ තදුප්පන්න පරියායෙන ධාතුයො.”

ද්වාර ආලම්බන, භේදයෙන් ආයතනයෝ වෙති. ද්වාර ආලම්බන තදුප්පන්න යන මේ ක්‍රමයෙන් ධාතූහු වෙත්.

“දුක්ඛං තෙභූමකං වට්ටං තණ්හා සමුදයො භවෙ

නිරොධො නාම නිබ්බාණං මග්ගො ලොකුත්තරො මතො.”

ත්‍රෛභූමක වෘත්තය දුඃඛ සත්‍ය ය. තෘෂ්ණාව සමුදය සත්‍යය, නිර්වාණය නිරෝධ සත්‍ය ය. ලෝකෝත්තර මාර්ගාඞ්ග අට මාර්ග සත්‍ය ය.

මෙසේ චතුරාර්ය සත්‍යයට අයත් ධර්ම දක්වා ඉක්බිති චතුරාර්ය සත්‍යයට අයත් නො වන බව දක්වති.

“මග්ගයුත්තා ඵලා චෙව චතුසච්ච විනිස්සටා” යි

මාර්ග සිත්හි යෙදුණු අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත චෛතසික හැර සෙසු චෛතසික ද මාර්ග සිත් ද යන එකුන්විසි ධර්මයෝ ද ඵල සිත්හි යෙදුණු චෛතසික ද ඵල සිත් ද යන සත්තිස් ධර්මයෝ ද චතුරාර්ය සත්‍යයෙන් බැහැර ය හෙවත් චතුරාර්ය සත්‍යයට ඇතුළත් නො වෙත්.

“ඉතිපඤ්චප්පභෙදෙන පවුත්තො සබ්බසඞ්ගහො”

මෙසේ සර්ව සංග්‍රහය පස් ආකාරයකින් විස්තර කොටැ කියන ලද්දේ ය.

ප්‍රශ්න.

  1. ආයතන දොළොස දක්වා එය පැහැදිලි කරනු. ආයතන යන්න තෝරනු.
  2. ධාතු අටළොස දක්වනු. එය කෙසේ වූයේද? මනෝධාතු, ධම්මධාතු, මනො විඤ්ඤාණ ධාතු විස්තර කර දක්වනු.
  3. චතුරාර්ය සත්‍යය දක්වා එයට ඇතුළත් ධර්ම මේ මේ ය යි පෙන්වනු.
  4. චතුරාර්ය සත්‍යයට අයත් නො වන ධර්ම ඇත්තේ ද? ඇත්නම් මේ මේ ය යි දක්වා ඒ එහි ඇතුළත් නො වීමේ හේතු දක්වනු.
  5. සමුච්චය පාදය උගෙනීමෙන් ලැබෙන විශේෂ ඵලය කිම?

මාතර සිරිමංගල පිරිවෙන්හි ආචාර්ය පණ්ඩිත ශ්‍රී ධර්මවංශ ස්ථවිර ස්වාමීන් කළ අභිධර්මචන්‍ද්‍රිකායෙහි සමුච්චය පාදය යි.