බෝධිපාක්‍ෂික සංග්‍රහයට අනතුරු වැ සර්ව සංග්‍රහය දක්වනු ලැබේ. එය වනාහි ස්කන්‍ධ, උපාදානස්කන්‍ධ, ආයතන, ධාතු, ආර්ය සත්‍යය වශයෙන් පඤ්චවිධ ය. එහි දු ස්කන්‍ධ පසෙකි. උපාදාන ස්කන්‍ධ පසෙකි. ආයතන දොළොසෙකි. ධාතු අටළොසෙකි. ආර්ය සත්‍ය සතරෙකි.
පඤ්චස්කන්‍ධ.
ස්කන්‍ධ පස නම්: 1 රූපස්කන්‍ධ, 2 වෙදනාස්කන්‍ධ, 3 සංඥාස්කන්‍ධ, 4 සංස්කාරස්කන්‍ධ, 5 විඥානස්කන්‍ධ යන මොහු යි.
1. ස්කන්‍ධ යනු රාශිය-සමූහය. රූප පිළිබඳ රාශිය, සමූහය-රූපස්කන්‍ධය, රූප අට විස්සෙකි. එ ද වනාහි අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, සුඛුම, ඔළාරික, හීන පණීත දූර සන්තික වශයෙන් නානාවිධ වේ. ඒ සියල්ල එකතු කොටැ සැලකීමෙන් මෙහි රූපස්කන්‍ධ ය යි කියන ලදි.
2. වෙදනා පිළිබඳ රාශිය-සමූහය, වේදනාස්කන්‍ධය. වෙදනා නම් දෙපණස් චෛතසිකයන් අතුරෙන් වේදනා චෛතසිකය. එ ද එක් එක් සිතෙක එක් එක් වේදනාව බැගින් නානාවිධ ය. එසේ ම අතීත, අනාගත, වර්තමානාදි වශයෙන් නානාවිධ ය. ඒ සියල්ල එකතු කොටැ සැලකීමෙන් වෙදනාස්කන්‍ධය යි කියන ලදි. එක ම වේදනාව රූඪි වශයෙන් වේදනා ස්කන්‍ධය යි කියන ලද ය යනු එක් මතයෙකි.
3. සංඥා පිළිබඳ රාශිය සමූහය සංඥා ස්කන්‍ධය. සංඥා නම් දෙපණස් චෛතසික අතුරෙන් සංඥා චෛතසිකය යි. එහි දු නානාවිධත්‍වය වේදනා ස්කන්‍ධයට කී සේ ය.
4. සංඛාර නම් දෙපණස් චෛතසික අතුරෙන් වේදනා සඤ්ඤා හැරැ සෙසු ඵස්සාදි චෛතසික පණස යි. ඒ සියල්ල එකතු කොටැ සැලකීම් වශයෙන් ද අතීතාදි භේද වශයෙන් ද ගෙනැ සංස්කාරස්කන්‍ධය යි කියන ලදි.
සංස්කරණය කරන්නෝ සංස්කාරයෝ ය. මේ ඵස්සාදීහු චක්‍ෂුරාදි ෂඩ් ද්වාරයෙහි හෝ කායාදි ත්‍රිවිධ කර්ම ද්වාරයෙහි හෝ එක් වැ ස්පර්ශ කිරීම් වෙතනා කිරීම් ආදි තම තමන්ගේ කෘත්‍ය වශයෙන් දර්ශන ශ්‍රවණාදිය ද කාය, කර්මාදිය ද, හිඳීම් සිටීම් යාම් ආදි කෘත්‍ය ද කරන්නෝ ය. එ හෙයින් ඔව්හු සංස්කාරයෝ නම් වූහ. වදාළේ මැ යි. “කිඤ්ච භික්ඛවෙ සංඛාරෙ වදෙථ. සංඛතං අභිසංඛරොන්තීති ඛො භික්ඛවෙ තස්මා සංඛාරාති වුච්චන්ති” යනාදි.
දෙපණස් චෛතසික අතුරෙන් වේදනා, සඤ්ඤා දෙක වෙන ම ස්කන්ධ දෙකක් වශයෙන් ද සෙසු සියල්ල එක් ස්කන්‍ධයක් වශයෙන් ද දේශනා කිරීමේ හේතු කිම? සුඛ යයි සලකනු ලබන ධර්ම අතුරෙන් වේදනාව සමාන උත්කෘෂ්ට සුවයෙක් සත්ත්වයන්ට නැත. සුඛ වේදනාවක් ලැබැ ගැන්ම පරමාර්ථ කොට ම සත්ත්‍වයෝ සියල්ල කෙරෙති. එසේ ම සංඥාව සමාන ප්‍රතිෂ්ඨාවෙක් ද සත්ත්‍වයන්ට නැත. සංඥායෙන් හැඳින ම සියල්ල කෙරෙති. එ බැවින් මේ වේදනා සංඥා දෙක වෙන ම ස්කන්ධ දෙකක් කොටැ වදාළේ ය. සෙසු සියල්ල එක් කොටැ සංස්කාර ස්කන්‍ධය යි වදාළේ ය.
5. විඥාන පිළිබඳ රාශිය - සමූහය විඥානස්කන්ධ යි. විඤ්ඤාණ නම් චිත්තය යි. එහි එකුන් අනූ හෝ එක්සිය එක්විසි භේදය ද අතීතාදින භේදය ද සලකා විඥානස්කන්ධය යි වදාළේය. නිත්‍යය යි සලකනු ලබන ධර්ම අතුරෙන් චිත්තයට වඩා උත්කෘෂ්ට ධර්මයෙක් ස්කන්ධයන්ට නැත. එ බැවින් චිත්තය ද වෙන ම ස්කන්ධයක් කොටැ වදාළේ ය.
මේ ස්කන්ධ සංග්‍රහයට සියලු චාතුර්භූමික ධර්ම සංග්‍රහ වන බව දත යුතුයි. භෙද නැති බැවින් නිර්වාණය සංග්‍රහ නො වේ.
පංච උපාදාන ස්කන්ධය
උපාදාන ස්කන්ධ පස නම්:
- රූප උපාදාන ස්කන්ධය
- වේදනා උපාදාන ස්කන්ධය
- සඤ්ඤා උපාදාන ස්කන්ධය
- සංඛාර උපාදාන ස්කන්ධය
- විඤ්ඤාණ උපාදාන ස්කන්ධය යන මොහු යි.
උපාදාන නම් කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද, යන මේ සතර යි. මේ උපාදන සතරට විෂය වූ ස්කන්ධයෝ උපාදාන ස්කන්ධයෝ ය. ඔව්හු නම් රූපාදිය මැ යි. කාමාදි භවත්‍රය පිළිබඳ රූපාදි පස පංච උපාදාන ස්කන්ධය යි ගත යුතු. ලෝකෝත්තර සිත් අට ද එහි ඇතුළත් චෛතසික ද උපාදාන ස්කන්ධ සංඛ්‍යාවට නො ගැනේ. එය කාමාදි උපාදානයන්ට විෂය නො වන බැවිනි. උපාදාන ස්කන්ධය යි පසෙක් වෙන් කොටැ දක්වන ලද්දේ එය ම විදර්ශනා භූමියට අයත් වන බැවිනි. ලෝකෝත්තර වනාහි විදර්ශනාවට නො ගැනේ. “පංචුපාදානස්කන්ධා ති තථා තෙ භූමක මතා” යනු බලනු.
ප්‍රශ්න.
- සර්වසංග්‍රහය කොටස් කීයකට බෙදන ලද්දේ ද? ඒ කොටස් හා එක් එක් කොටසට අයිති ධර්ම මෙතෙකැයි දක්වනු.
- පංචස්කන්ධ මේ මේ යයි විභාග කොට දක්වනු.
- පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ දෙකේ වෙනස දක්වනු.
- වේදනා, සඤ්ඤා වෙන ම ස්කන්ධ වශයෙන් ගැනීමේ හේතු දක්වනු.
- නිර්වාණය ස්කන්ධ සංග්‍රහයට නො ගැනුණේ කිම?