7. චතුර්විධ කර්ම (ගරුකාදි සතර)

කර්මය කෘත්‍ය වශයෙන් චතුර්විධ වූ සැටි යට දැක්විණි. විපාක දාන ක්‍රමයෙන් චතුර්විධ වන සැටි මෙහි දක්වනු ලැබේ.

එක සත්ත්‍වයකු විසින් කරනු ලබන කුශලාකුශලකර්මයන්ගේ ප්‍රමාණයෙක් නැත. ඔවුන් අතුරෙන් කවර කර්මයෙක් පළමුකොට ප්‍රතිසන්‍ධි දෙන්නේ ද යනු දැනැ ගත යුතු ය. ගරු වශයෙන් ද ආසන්න වශයෙන් ද ආචීර්ණ වශයෙන් ද අනියමයෙන් දැයි එසේ කර්ම විපාක දෙන ක්‍රම සතරෙකි. එහෙයින් ම කර්මය ගරුක ආසන්න ආචීර්ණ කටත්තා ය යි විපාක දාන ක්‍රමයෙන් චතුර්විධ වේ. ගරුක කර්මය නම් අන්‍ය කර්මයකින් විපාක වැළකිය නොහැකි බැරෑරුම් කුශලාකුශල චේතනායි. එය අකුශල පක්‍ෂයෙන් නියත මිථ්‍යාදෘෂ්ටි හා පඤ්චානන්තරිය ද කුසල පක්‍ෂයෙන් මහග්ගත ද වේ. මවුන් මැරීම, පියන් මැරීම, රහතන් මැරීම, බුද්ධශරීරයෙන් ලේ සෙලවීම, සඞ්ඝයා භේද කිරීම යන පස පඤ්චානන්තරිය යි. කර්ම නැත විපාක නැත පරලෝ නැත යනාදීන් ඇදහීම නියත මිථ්‍යාදෘෂ්ටිය යි. මෙයින් එකකිනු දු ලැබෙන කර්මය දෙ නව අත්බැව අපායයෙහි ප්‍රතිසන්‍ධි දෙයි. එය අන්‍ය කිසි කර්මයෙකින් වැළකිය හැකි නොවේ. පඤ්චානන්තරිය ම හෝ එයින් කීපයක් හෝ කළහොත් එයිනු දු ගරුකර්මය ආනන්තරිය වේ. මහග්ගත නම් රූපාවචර අරූපාවචර කුසලි. ධ්‍යානලාභීහු එයින් නො පිරිහී කාලක්‍රියා කළෝනම් අනතුරු අත්බැව බඹලොව උපදිති. එය අන්‍ය කිසි කර්මයකින් වැළකිය නොහැක.

ආසන්න කර්මය නම් පූර්වයෙහි කොටැ මරණාසන්නයෙහි සිහිකරන ලද හෝ මරණාසන්නයෙහි ම කරන ලද හෝ කුශලාකුශල චේතනාව යි. ආචීර්ණ කර්මය නම් කලක් මුළුල්ලෙහි නිරතුරු වැ කරන ලද හෝ වරක් කොටැ පසුවැ නැවත නැවත සිහි කරන ලද හෝ කුශලාකුශල චේතනා යි. යබ්බහුල යනු දු මේ යි.

කටත්තාකර්මය නම් මේ තුන් ආකාරයට ම අයත් නො වූ කළ හෙයින් කර්ම යැයි කිය යුතු කුශලාකුශල චේතනා යි. එනම් පූර්වජාතීන්හි කරන ලද අපරාපරිය වේදනිය කර්ම යි. යට දැක්වූ ගරුකාදි තුන් ආකාරයට අයත් නොවන මේ ජන්මයෙහි කළ කර්ම ද කටත්තාකර්මය යි ඇතැම්හු කියත්.

ගරුකර්මය පළමු කොටැ ප්‍රතිසන්‍ධි දෙන්නේ ය. ගරුකර්ම නැති කල්හි ආසන්න කර්ම ද ආසන්න කර්ම නැති කල්හි ආචීර්ණ කර්ම ද ආචීර්ණ කර්ම නැති කල්හි කටත්තාකර්ම ද පළමු කොටැ ප්‍රතිසන්‍ධි දෙන්නේ ය.

විපාක දෙන ආකාර වශයෙන් මෙන් ම විපාක දෙන කාල වශයෙන් ද කර්ම චතුර්විධ වේ. ඇතැම් කර්ම මේ අත් බැව්හි ම විපාක දෙන්නේ ය. ඇතැම් කර්ම දෙ වන අත් බැව්හි විපාක දෙන්නේ ය. ඇතැම් කර්ම සසර කවර හෝ අත්බැවෙක විපාක දෙන්නේ ය. ඇතැම් කර්ම කැල ම විපාක නො දෙන්නේ ය. මෙසේ බැවින් කර්ම දිට්ඨධම්මවෙදනීය උපපජ්ජ වෙදනීය අපරාපරියවෙදනීය අහොසිය යි විපාක දාන කාල වශයෙන් ද චතුර්විධ වේ.

දිට්ඨධම්මවෙදනීය කර්ම නම් මේ අත්බැව්හි ම විපාක උපදවන කුශලාකුශල චේතනා යි. එනම් කුශලාකුශල ජවන් සත අතුරෙන් ප්‍රථම ජවනය යි. එය වනාහි ආසෙවන ප්‍රත්‍යය නො ලබන බැවින් සර්වදුර්බල ය. මරණයෙන් ඔබ විපාක දීමෙහි අසමර්ථ ය. ප්‍රත්‍යය ලදහොත් මේ අත්බැව්හි ප්‍රවෘත්ති මාත්‍රයක් දෙයි. නොලදහොත් අහොසි වේ.

උපපජ්ජවෙදනීය කර්ම නම් දෙවන අත්බැව්හි ප්‍රතිසන්‍ධි උපදවන කුශලාකුශල චේතනා ය. එනම් කුශලාකුශල ජවන් සත අතුරෙන් සත් වන ජවනය යි. එය වනාහි ආසෙවන ප්‍රත්‍යය ලැබුවත් වැටෙන්නට ආසන්න බැවින් මධ්‍ය ජවන් මෙන් බලසම්පන්න නො වූයේ ප්‍රත්‍යය ලදහොත් දෙ වන අත් බැව්හි විපාක දෙයි. ප්‍රත්‍යය නො ලද හොත් අහෝසි වේ.

අපරාපරියවෙදනීය කර්ම නම් දෙ වන අත්බැවින් මතු කවර අත්බැවෙක හෝ ප්‍රතිසන්‍ධි උපදවන කුශලාකුශල චේතනා යි. එනම් කුශලාකුශල ජවන් සත අතුරෙන් මධ්‍ය ජවන් පස ය. එය වනාහි ආසෙවන ප්‍රත්‍යය ලත් හෙයින් බලවත් වූයේ ජාති පසෙක ප්‍රතිසන්‍ධි දී කල්ප සිය දහසෙක් හි දු ප්‍රවෘත්ති විපාක දෙන්නේ ය.

අහොසි කර්ම නම් කැලම විපාක නො දෙන කර්ම යි. ප්‍රථම ජවනය මේ අත්බැව්හි විපාක නුදුන හොත් අහෝසි වේ. සප්තම ජවනය දෙ වන අත්බැව්හි විපාක නුදුනහොත් අහෝසි වේ. මධ්‍ය පඤ්ච ජවන සසර කොතැනක දී හෝ විපාක නුදුනහොත් ස්කන්‍ධ පරිනිර්වාණයෙන් අහෝසි වේ.

ප්‍රශ්න.

  1. විපාක දීමේ ක්‍රමයෙන් කර්ම කී වැදෑරුම් ද? ඔහු කවරහු ද?
  2. ගරුක, ආසන්න, ආචීර්ණ, කටත්තා යන කර්මයන්ගේ ස්වරූප දක්වනු.
  3. විපාක දෙන කාල වශයෙන් කර්ම කී වැදෑරුම් ද? ඔහු කවරහු ද?
  4. දිට්ඨධම්මවෙදනීයාදි චතුර්විධ කර්ම පහදා දෙනු.
  5. මේ කර්ම දෙ කොටස එක් කොටැ දැක්විය හැකි ක්‍රමයෙක් ඇත්නම් පැහැදිලි කැරැ දක්වනු.