6. චතුර්විධ කර්ම

මෙහි දෙ වන තුන් වන පාඩම්වලින් භූමි භෙදද සතරවන පස් වන පාඩම්වලින් ඒ භූමින්හි හටගන්නා ප්‍රතිසන්ධි ද දක්වන ලදි. ප්‍රතිසන්ධි නම් විපාකයි. විපාක දෙන්නේ කර්මය. එබැවින් ඒ ප්‍රතිසන්ධි දෙන කර්ම පිළිබඳ භෙද මෙහි දැක්විය යුතුය. යට ද තන්හි තන්හි එය දැක්වූ නමුදු ඒ සම්බන්ධ විශේෂ විනිශ්චයෙක් මෙහි දක්වනු ලැබේ.

කර්ම වනාහි ඇතැම් විට තෙමේ ම විපාක උපදවයි. ඇතැම් විට අන්‍යකර්මයන්ට අනුබල දෙයි. ඇතැම් විට අන්‍ය කර්මයන්ගේ ශක්තිය දුර්බල කරයි. ඇතැම් විට අන්‍ය කර්මයන්ගේ ශක්තිය සිඳලයි. මෙසේ කර්ම ජනන උපත්‍ථම්භන-උපපීළන-උපඝාත යයි කෘත්‍ය සතරක් කරන්නේය. එබැවින් කර්මය ජනකකර්මය උපත්ථම්භක කර්මය, උපඝාතක කර්මය යි කෘත්‍ය වශයෙන් චතුර්විධ වේ. එක කර්මයට මේ චතුර්විධ කෘත්‍ය ම සිද්ධ කළ හැකි බැව් ද කියනු ලැබේ.

ජනක කර්මය නම් ප්‍රතිසන්ධි වශයෙන් හා ප්‍රවෘත්ති වශයෙන් විපාක ස්කන්ධ ද කටත්තාරූප ද උපදවන කුශලාකුශල චෙතනා යි. යට දැක්වුණු එකුන්විසි ප්‍රතිසන්ධි සිත් විපාක ස්කන්ධ යි. කර්මජ රූප කටත්තාරූප යි. එහි දු ප්‍රතිසන්ධි උපදවන්නේ කර්මපථ බවට පැමිණි කර්මය මැ යි. වරක් ප්‍රතිසන්ධි දුන් කර්මය නැවත ප්‍රතිසන්ධි දීමෙහි අසමර්ථ ය. එහි ප්‍රතිසන්ධි දායක ශක්තිය පිරිහුණු බැවිනි. කර්මපථ බවට පැමිණි හෝ නොපැමිණි යටත් පිරිසෙයින් සිහිනෙන් කළ කුශලාකුශල කර්ම ද ප්‍රවෘත්ති විපාක දෙන්නේය. එක කර්මය සියදහස් ජාතියෙහි දු ප්‍රවෘත්ති විපාක දීමට සමර්ථ ය.

උපත්ථම්භක කර්මය නම් ජනක කර්මයට හෝ ජනක කර්මයෙන් නිපන් ස්කන්ධ සන්තානයට අනුබල දෙන කුශලාකුශල චේතනා යි. ජනක කර්මයට අනුබල දීම නම් දුර්බල ජනක කර්මය බලසම්පන්න කිරීම ය. අකුශල කර්මයෙන් ඔසුපත් නිරයයෙහි උපදිය යුත්තෙක් උපත්‍ථම්භක කර්මයෙන් වහල් ලැබූ කල මහා නිරයෙහි උපදින්නේය. කුශල කර්මයෙන් අල්පේශාක්‍ය කුලයෙක උපදිය යුත්තෙක් උපත්‍ථම්භක කර්මයෙන් වහල් ලැබූ කල මහේශාක්‍ය කුලයෙහි උපදින්නේය. යට දෙව්ලොව උපදිය යුත්තෙක් උඩ දෙව්ලොව උපදින්නේය. ජනක කර්මයෙහි නිපන් ස්කන්ධ සන්තානයට අනුබල දීම නම් ජනක කර්මානුරූප වැ ප්‍රතිසන්ධි ලත් කල ප්‍රවෘත්ති විපාක දැඩි කිරීම ය. අකුශලකර්මයෙන් තදනුරූප අපායෙක උපන් කල උපත්‍ථම්භක කර්මය එහි දුක් දැඩි කරන්නේය. කුශල කර්මයෙන් තදනුරූප සුගතියෙක උපන් කල එහි සැප වැඩි කරන්නේය.

උපපීළක කර්මය නම් ජනක කර්මය හෝ ජනක කර්මයෙන් නිපන් ස්කන්ධ සන්තානය දුර්බල කරන කුශලාකුශල චේතනාය. ජනක කර්මය දුර්බල කිරීම නම් කුශල වේවා අකුශල වේවා කර්මයෙහි නියම ශක්තිය අඩු කිරීමය. ජනක කර්මයෙන් මහානිරයෙහි උපදිය යුත්තෙක් උපපීළක කර්මයෙන් බාධා ලත් කල ඔසුපත් නිරයෙහි උපදින්නේය. මහේශාක්‍ය කුලයෙහි උපදිය යුත්තෙක් අල්පේශාක්‍ය කුලයෙහි ද උඩ දෙව්ලොව උපදිය යුත්තෙක් යට දෙව්ලොව ද උපදින්නේ ය. ජනක කර්මයෙන් නිපන් ස්කන්‍ධ සන්තානය දුර්බල කිරීම නම් ප්‍රවෘත්ති විපාක දුර්බල කිරීම ය. අකුශල කර්මයෙන් තිරිසන් යෝනියෙහි උපන් කල උපපීළක කර්මය එහි දුක් අඩු කොටැ සුව සලසන්නේ ය. කුශල කර්මයෙන් රාජකුලයෙහි උපන් කල උපපීළක කර්මය නා නා ව්‍යාධි ඇති කොටැ ද හිත මිතුරන්ට විපත් කොටැ ද දුක් සලසන්නේ ය. කර්මඵල වනාහි විපාකඵල නිස්සන්‍දඵලය යි ද්විවිධ වේ. විපාක ඵල තමහට ම ය. නිස්සන්‍දඵල ආශ්‍රිතයන්ට ද වැටේ.

උපඝාතක කර්මය නම් ජනක කර්මය හෝ ජනක කර්මයෙන් නිපන් ස්කන්‍ධ සන්තානය හෝ සිඳලන කුශලාකුශල චේතනා ය. ජනක කර්මය සිඳලීම නම් ජනක කර්ම ශක්තිය සහමුලින් නසා ලීම ය. එක් ජනක කර්මයකින් ප්‍රතිසන්‍ධි ලැබිය යුතු අවස්ථාවෙහි උපඝාතක කර්මය එය සිඳ හෙළා අන්‍යජනක කර්මයකට අවකාශ දෙන්නේය. ජනක කර්මයෙන් නිපන් ස්කන්‍ධ සන්තානය සිඳලීම නම් ප්‍රවෘත්ති විපාක නසා ජීවිතයෙන් වියෝග කිරීම ය. ජනක කර්මයෙන් සුගතියෙක හෝ දුගතියෙක උපන් කල එහි ආයුෂ තාක් ජීවත් වන්නට අවකාශ නොදී උපඝාතක කර්මය ඔහු එයින් චුත කරන්නේ ය. අකාල මරණය යනු මෙය යි. උපඝාතකයට උපච්ඡේදකය යි ද කියනු ලැබේ.

ප්‍රශ්න

  1. කෘත්‍ය වශයෙන් කර්ම කී වැදෑරුම් ද?
  2. ජනක කර්මය යනු කිමෙක්ද? පැහැදිලි කැරැ දක්වනු.
  3. උපත්‍ථම්භක උපපීළක කර්මයන්ගේ වෙනස දක්වනු.
  4. උපඝාතක කර්මය කිම?
  5. යට දැක්වුණු දිට්ඨධම්මවෙදනියාදීන්ගේ හා මොවුන්ගේ සාම්‍යයෙක් ඇත්නම් දක්වනු.