සත්ත්‍වයෝ යම් තැනෙක වෙත් ද එ තැන භූමි ය යි කියනු ලැබේ. ඒ භූමි වනාහි 1 අපාය භූමි 2 කාමසුගතිභූමි 3 රූපාවචර භූමි 4 අරූපාවචර භූමි ය යි සතර වැදෑරුම් වේ.
1. අය නම් සැපය. අයයෙන්-සැපයෙන් අපගත වූවන් වසන භූමි අපාය භූමි ය. එ ද වනාහි (අ) නිරය (ආ) තිරච්ඡානයොනි (ඉ) පෙත්තිවිසය (ඊ) අසුරකාය ය යි චතුර්විධ වේ.
(අ) අය-සැප නැති තැන නිරය යි. එයින් සඤ්ජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි යන අටමහනිරය හා ඒ එක් එක් නිරයට පිරිවර වශයෙන් පිහිටි සොළොස් සොළොස් ඔසුපත් ද ගනු ලැබේ. එවිට ඒ සියල්ල 136 කි. මේ සියලු නිරය පෘථිවි ගර්භයෙහි පිහිටියේ යයි සලකනු ලැබේ.
(ආ) මනුෂ්‍යයන් මෙන් කෙළින් නොගොස් හරස් වැ යන්නෝ තිරච්ඡානයෝ ය. ඔවුන් පිළිබද ජාතිය තිරච්ඡාන යොනිය යි. එහි ස්ථාන නියමයෙක් නොදක්වන ලදි. ඔවුන් වසන කොතැන වුවත් තිරච්ඡානයොනිය යි.
(ඉ) සැපයෙන් දුරු වූවෝ ප්‍රේතයෝ ය. ඔහු වනාහි උතූපජීවි ඛුප්පිපාසික නිජ්ඣාමතණ්හික පරදත්තූපජීවි යයි චතුර්විධ වෙත්. ප්‍රේතයන්ගේ සමූහය පෙත්තිය. ඒ පිළිබඳ විෂය-ප්‍රවෘත්තිදේශය-පෙත්ති විසය යි. ප්‍රේතයෝ යම් තැනෙක වෙසෙත් ද ඒ කොතැන වුව ද ප්‍රේත අපාය යි කිය යුතු. “එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති” යනාදි තන්හි මැරී දෙව්ලොව උපන්නෝ ද ප්‍රේතයෝය යි කියනු ලැබෙත්. මෙහි අපාය ම ගත යුතු.
(ඊ) සුර නො වන්නෝ අසුරයෝ ය. ඔහු ද වනාහි දෙවාසුර විනීපාතිකාසුර වෙමානිකාසුර ලොකන්තරිකාසුර පෙත සුරය යි පඤ්චවිධ වෙත්. වෙපචිත්ති ආදී ද්වෙශත්‍රෑහු දෙවාසුරයෝ ය. පියඞ්කරමාතු උත්තරමාතු ආදීහු විනිපාතිකාසුරයෝය. යම රාජාදීහු වෙමානිකාසුරයෝය. සක්වළ තුනකට අතර වු ලෝකාන්තරිකයෙහි වසන්නෝ ලෝකාන්තරිකාසුරයෝ ය. කාලකඤ්ජාදීහු පෙතාසූරයෝය. මෙහි පෙතාසුරයෝ අසුරයෝය යි කියනු ලැබෙත්. ඔවුන්ගේ සමූහය අසුරකාය ය. ඔවුන් වසන කොතැන වුව ද අසුර අපාය යි.
මේ අසුරයෝ ප්‍රේත විශේෂයෙකැයි දත යුතු. “දිබ්බාවත භො කායා පරිභායිස්සන්තී පරිපූයිස්සන්ති අසුරාකායා” යන තන්හි අසුර යන්නෙන් සතර අපායිකයෝ ම ගැනෙති. පළමු දැක්වුණු අසුරයන් අතුරෙන් දෙවාසුරයෝ තව්තිසා දෙවියන් කෙරෙහි ද විනිපාතික හා වෙමානික අසුරයෝ චාතුම්මහාරාජික දෙවියන් කෙරෙහි ද ලෝකාන්තරිකාසුරයෝ නිරයවාසීන් කෙරෙහි ද සඞ්ග්‍රහ වෙත්.
2. කාමසුගති භූමි නම් (අ) මනුෂ්‍ය (ආ) චාතුම්මහාරාජික (ඉ) තාවතිංස (ඊ) යාම (උ) තුසිත (ඌ) නිම්මාණරති (එ) පරනිර්මිත වසවර්ති යන සප්තවිධ කාම ස්වර්ගයි.
(අ) ස්මෘති, ශූරත්‍ව, බ්‍රහ්මචර්යා යන මෙයින් සෙස්සනට වඩා මන-සිත උත්සන්න වූවෝ මනුෂ්‍යයෝ ය. මෙයින් දඹදිව වැස්සෝ ම මනුෂ්‍යයෝ ය යි කිව යුතු. ඔවුන් ම යථොක්ත ගුණයෙන් උත්සන්න බැවිනි. රූප වහයෙන් ඒ සමාන බැවින් පූර්වවිදෙහ, අපරගොයාන, උත්තරකුරුකයෝ ද මනුෂ්‍යයෝ ය. මනු නම් ආදිකල්පික මහා සම්මත රජහුගේ පුත්‍ර පෞත්‍රයෝ ද තන්නීතියෙහි පිහිටියෝ ද මනුෂ්‍ය නම් වෙති යි ඇතැම්හු කියත්. මනුෂ්‍යයෝ යම් තැනෙක වෙසෙත් ද එය මනුෂ්‍ය භූමිය යි.
(ආ) ධ්‍රතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්‍ෂ වෛශ්‍රවණ යන සතර වරම් රජදරුවන් කෙරෙහි භක්ති ඇත්තෝ චාතුම්මහාරාජිකයෝ ය. එනම් ගන්ධබ්බ, කුම්භණ්ඩ, නාග, යක්‍ෂ යන මොහුයි. ගන්‍ධ වෘක්‍ෂයන්හි අධිගෘහිත වූවෝ ගන්‍ධබ්බයෝ ය යි ද භයානක දැකුම් ඇති රාක්‍ෂස විශේෂයෙක් කුම්භාණ්ඩයෝ යි ද කියනු ලැබෙත්. චාතුම්මහාරාජිකයෝ යම් තැනෙක වෙසෙද් ද එය චාතුම්මහාරාජික භූමිය යි.
(ඉ) මඝ මානවකාදි තෙතිස් දෙන යම් තැනෙක උපන්නෝ ද එය තාවතිංසය යි. මෙර මුදුනෙහි පිහිටි ශක්‍රාධිප දිව්‍යලෝකය යි.
(ඊ) යාම යනු තෘතීය දිව්‍යලෝකයෙහි අධිපති දේවයාගේ නාමය යි. ඒ දිව්‍යලෝකය ද එ නමින් ම ව්‍යවහෘත විය.
(උ) මහත් ශ්‍රී සම්පත්තියෙන් තුටු පහටු දෙවියන් වසන තැන තුසිත යි. සතර වන දිව්‍යලෝකය යි.
(ඌ) අභිමත සම්පත් නිර්මිත කොට ගෙන එහි ඇලෙන දෙවියන් වසන තැන නිම්මානරතිය යි. පස්වන දිව්‍යලෝකය යි.
(එ) ස්වකීය කැමැත්ත දැන අන්‍යයන් මැවූ සම්පත්හි ඇලෙන දෙවියන් වසන තැන පරනිම්මිත වසවත්තිය යි සවන දිව්‍යලෝකය යි.
මේ සප්තකාම ස්වර්ග ද යට දැක්වුණු සතර අපාය ද යන එකොළොස් තැන් එක්කොටැ කාමාවචර භූමිය යි කියනු ලැබේ.
ප්‍රශ්න
- භූමි කෙතෙක් ද? කවරහු ද?
- අපාය භූමි දක්වා එහි විශේෂ ද සඳහන් කරනු.
- සප්තකාම ස්වර්ග දක්වනු.
- මනුෂ්‍ය චාතුම්මහාරාජික විස්තර කරනු.
- කාමාවචර භූමි කවරහු ද?