1. චතුෂ්ක සතර.

වීථිචිත්ත ප්‍රවෘත්ති සඞ්ග්‍රහය, වීථිමුක්තචිත්ත ප්‍රවෘත්ති සඞ්ග්‍රහය’යි ප්‍රවෘත්ති සඞ්ග්‍රහ දෙ වැදෑරුම් බව යට කියන ලදි. එයින් ප්‍රවෘත්ති කාලයෙහි වීති සිත් පැවතෙන පිළිවෙල “වීථි පාදය” යන නමින් යට දැක්වුණේය. ප්‍රතිසන්‍ධි කාලයෙහි වීථිමුක්ත සිත් පැවතෙන පිළිවෙල “වීථිමුක්ත පාදය” යන නමින් මෙහි දක්වනු ලැබේ. ප්‍රතිසන්‍ධි කාලයෙහි වීථිමුක්ත සිත් පැවතෙන පිළිවෙල දැක්වීමේනම භවඞ්ග-චුතිකාලයෙහි ද වීථිමුක්ත සිත් පැවතෙන පිළිවෙල දැක්වුණා වෙයි. ඒ තුන් සිත් ම එක සමාන බැවිනි.

එසේ ඔවුන්ගේ දැනැ ගැන්ම සඳහා චතුර්විධ භූමි, චතුර්විධ ප්‍රතිසන්‍ධි, චතුර්විධ කර්ම, චතුර්විධ මරණොත්පත්ති යන චතුෂ්ක සතර උගත යුතු වේ.

චතුර්විධ භූමි නම් අපාය භූමි, කාමසුගති භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි යන සතරයි.

චතුර්විධ ප්‍රතිසන්‍ධි නම් අපාය ප්‍රතිසන්‍ධි, කාමසුගති ප්‍රතිසන්‍දි, රූපාවචර ප්‍රතිසන්‍ධි, අරූපාවචර ප්‍රතිසන්‍ධි යන සතරයි.

චතුර්විධ කර්ම නම් කෘත්‍ය වශයෙන් ජනක උපත්‍ථම්භක, උපපීළක, උපඝාතක යන සතරය. විපාක දෙන ක්‍රම වශයෙන් ගරුක, ආසන්න, ආචිණ්ණ, කටත්තාකම්ම යන සතරය. විපාක කාල වශයෙන් දිට්ඨ ධම්ම වෙදනීය, උපපජ්ජ වෙදනීය, අපරාපරිය වෙදනීය, අහොසි යන සතරය. විපාකස්ථාන වශයෙන් අකුසල, කාමාවචර කුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල යන සතරයි.

චතුර්විධ මරණුප්පත්ති නම් ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡෙදක යන සතරයි.

වීථිමුක්ත සිත් නම් කර්ම කර්මනිමිති ගතිනිමිති අරමුණු කොට ප්‍රතිසන්‍ධි භවාඞ්ග ච්‍යුති කෘත්‍ය කරන අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්ත, කුසල අහේතුක විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්ත, මහා විපාක සිත් අට, රූපාවචර විපාක සිත් පස, අරූපාවචර විපාක සිත් සතර යන එකුන් විස්ස (19) යි.

මේ සියල්ල පිළිබඳ විශේෂ විභාග මතු පාඩම්වලින් පැහැදිලි කරනු ලැබේ.

ප්‍රශ්න.

  1. වීථිමුක්ත පාදයෙහි දැක්වෙන්නේ කොතැනක කවර සිත් පිළිබඳ විස්තරයෙක් ද?
  2. වීථිමුක්ත සිත් කෙතෙක් ද?
  3. වීථිමුක්ත සිත් දැන ගනු සඳහා කුමක් උගත යුතු ද?
  4. භූමි සතර ද ප්‍රතිසන්‍ධි සතර හා මරණුප්පත්ති සතර ද දක්වනු.
  5. කර්ම පිළිබඳ භෙද චතුෂ්කය දක්වනු.