4. චාතුර්භූමක සිත්

කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකොත්තර යන යට දැක්වුණු සිත් සතර කොටස එක් වූ කල චාතුර්භූමක චිත්ත යයි කියනු ලැබේ. එසේ ම කාමාවචර, රූපාවචර, අරූපාවචර යන සිත් තුන් කොටස එක් වූ කල ත්‍රෛභූමක චිත්ත යයිද, වට්ට චිත්ත යයිද, ලෞකික චිත්ත යයිද කියනු ලැබේ. ලෝකොත්තර සිත් විවට්ට චිත්ත යයිද කියනු ලැබේ. රූපාවචර, අරූපාවචර සිත් මහග්ගත නම් වේ. කාමාවචර සිත් පරිත්ත නම් වේ.

යථොක්ත සූපණස් (54) කාමාවචර සිත් කොටස් වශයෙන් බෙදූ කල මෙසේ ය-

අකුසල් සිත්

12

අකුසල් විපාක සිත්

7

කුසල සිත්

8

කුසල අහේතුක විපාක සිත්

8

කුසල සහේතුක විපාක සිත්

8

අහේතුක ක්‍රියා සිත්

3

සහේතුක ක්‍රියා සිත්

8

මුළු ගණන

54

පසළොස් (15) රූපාවචර සිත් බෙදූ කල මෙසේය:-

රූපාවචර කුසල් සිත්

5

එම විපාක සිත්

5

එම ක්‍රියා සිත්

5

මුළු ගණන

15

දොළොස් (12) අරූපාවචර සිත් බෙදූ කල මෙසේ ය:-

අරූපාවචර කුසල් සිත්

4

එම විපාක සිත්

4

එම ක්‍රියා සිත්

4

මුළු ගණන

12

අට වැදෑරුම් ලෝකෝත්තර සිත් බෙදූ කල මෙසේ ය.

මාර්ග සිත්

4

ඵල සිත්

4

මුළු ගණන

8

මේ සිව් කොටස ම එක් කළ කල්හි චාතුර්භූමක සිත් 89 ක් වේ. ඒ මෙසේය:-

කාමාවචර සිත්

54

රූපාවචර සිත්

15

අරූපාවචර සිත්

12

ලෝකෝත්තර සිත්

8

මුළු ගණන

89

තථාගතයන් වහන්සේ අභිධර්ම දේශනාවෙහි: “කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා”යි පළමුකොට කුසල ධර්ම දේශනා කළ සේක. අභිධර්මය සංග්‍රහ කළ අනුරුද්ධාචාර්‍ය්‍යපාදයන් විසින් ආධුනිකයන්ගේ සුඛාවබෝධය සඳහා පළමු කොට අකුසල දක්වන ලදි. අපි දු අභිධර්මාර්ථ සංග්‍රහය හා එහි ටීකාව ඇසුරුකොට මේ ග්‍රන්ථය සම්පාදනය කරන බැවින් මීළඟ පාඩමෙන් අකුසල සිත් 12 දක්වන්නෙමු.

ප්‍රශ්න

  1. චාතුර්භූමක ත්‍රෛභූමක යනු කිම? ඒ එක් එක් කොටසෙහි ඇතුලත් සිත් කෙතෙක් ද?
  2. වට්ට-විවට්ට යනු කවර ද?
  3. මහග්ගතයෝ කවරහු ද?
  4. කාමාවචර සිත් 54 කොටස් වශයෙන් බෙදා පෙන්වනු.
  5. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත් කොටස් වශයෙන් බෙදනු.
  6. අභිධර්ම දේශනාවෙහි ආරම්භය කෙසේ ද? එය සංග්‍රහ කළේ කවරෙක් ද?