3. චතුර්විධ චිත්ත

1-කාමාවචරය, 2-රූපාවචරය, 3-අරූපාවචරය, 4-ලෝකෝත්තරය යි යට දැක්වුණු චිත්තය සිව් වැදෑරුම් වේ.

1. (අ) කාම නම් කාමතෘෂ්ණාව ය. ඒ කාමතෘෂ්ණාව යම් සිතෙක අරමුණු කිරීම් වශයෙන් හැසිරේ ද - පවතී ද ඒ සිත කාමාවචර නමි. මෙයින් කාම තෘෂ්ණාව හැසිරෙන-පවතින සිත කාමාවචරය යි කී නියා දතයුතු.

(ආ) නොහොත් කාම නම් සදෙව් ලොව මිනිස් ලොව සතර අපාය යන එකොළොස් වැදෑරුම් කාමභවය යි. ඒ කාමභවයෙහි හැසිරෙන-පවතින සිත කාමාවචර ය. මෙයින් කාමභූමියෙහි පවතින සිත කාමාවචරය යි කී නියා දතයුතු.

(ඉ) තවද කාමාවචර යනු කැලම කාම භූමියට කියනු ලැබේ. එවිට කාමාවචරයෙහි පවත්නා සිත ස්ථානෝපචාර වශයෙන් කාමාවචර නම් වේ. ස්ථානොපවාර නම් “සයනයෝ ශබ්ද කෙරෙති” කී කල සයන ශබ්දයෙන් සයනස්ථයන් (-සයනයෙහි හුන්නවුන්) ගන්නා සේ ස්ථානයෙහි නාමය ස්ථාති හට ව්‍යවහාර කිරීම ය. රූපාවචර-අරූපාවචර යන්නෙහි විස්තර ද මෙසේ ම දතයුතු. කාමාවචර සිත් මුළුල්ල 54 කි.

2. (අ) රූපතෘෂ්ණාව අරමුණු කිරීම් වශයෙන් හැසිරෙන-පවතින සිත හෝ (ආ) බ්‍රහ්මපාරිසජ්ජාදී සොළොස් වැදෑරුම් රූප භවයෙහි හැසිරෙන-පවතින සිත=හෝ (ඉ) රූපාවචරයෙහි පවත්නා සිත හෝ (මේ ස්ථානොපවාරය) රූපාවචර නම් වේ. රූපාවචර සිත් මුළුල්ල 15 කි.

3. (අ) අරූප තෘෂ්ණාව අරමුණු කිරීම් වශයෙන් හැසිරෙන-පවතින සිත හෝ (ආ) ආකාසානඤ්චායතනාදී චතුර්විධ, අරූප භවයෙහි හැසිරෙන-පවතින සිත හෝ (ඉ) අරූපාවචරයෙහි පවත්නා සිත හෝ (මේ ස්ථානොපවාරය) අරූපාවචර නම් වේ. අරූපාවචර සිත් මුළුල්ල 12 කි.

4. මෙහි ලොක නම් - රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදාන ස්කන්ධ පඤ්චකය යි. ඒ පඤ්චුපාදනක්ඛන්‍ධ ලෝකයෙන් එතර වන්නා වූ ද, එතර වූ ද චිත්තය ලොකුත්තර නම් වේ. මෙයින් සෝවාන් ආදි මාර්ග සිත් සතර හා ඵල සිත් සතර කී නියා දතයුතු. ලෝකයෙන් උත්තරය අධිකය ලොකුත්තරයයි කිවහොත් නිර්වාණය ද ගතයුතු වේ.

ප්‍රශ්න

  1. චිත්තය කී වැදෑරුම්ද? ඔහු කවරහු ද?
  2. කාමාවචර සිත් කෙතෙක් ද? ඔවුන්ට කවර කවර අර්ථවලින් කාමාවචරය යි කියනු ලැබේ ද?
  3. රූපාවචර යනු කිම? ඒ සිත් කෙතෙක්ද?
  4. අරූපාවචර යනු කිම? ඒ සිත් කෙතෙක් ද?
  5. ලෝකුත්තර යනු කිම? ඒ සිත් කෙතෙක් ද?