දස අසුභ නම්:
1 උද්ධුමාතක, 2 විනීලක, 3 විපුබ්බක, 4 විච්ඡිද්දක, 5 වික්ඛායිතක, 6 වික්ඛිත්තක, 7 හත වික්ඛිත්තක 8 ලොහිතක, 9 පලවක 10 අට්ඨික යන මේ ය.
- ඉදිමී ගිය මළ මිනිය උද්ධුමාත ය. එය කුත්සිතාර්ථයෙන් - පිළිකුල් කටයුතු යන අර්ථයෙන් උද්ධුමාතකය යි කියනු ලැබේ. සෙස්සෙහි ද කප්‍රත්‍යයාර්ථය මෙසේ ය.
- විපරිභින්න වර්ණ ඇති පිළිකුල් මළ මිනිය විනීලකය. ඉදිමී ගිය මෘතශරීරය ඒ ඒ තන්හි බොහෝ සෙයින් නීලවර්ණයට හැරේ. එය මෙහි විනීලක අසුභ ය.
- පැළුණු පැළුණු තැනින් සැරව වැගිරෙන පිළිකුල් මළ මිනිය විපුබ්බක ය. පුබ්බ යනු පූයා ය. සැරව ය.
- යුද්ධ භූමි ආදියෙහි මැදින් කපා හෙළු පිළිකුල් මළ මිනිය විච්ඡිද්දක ය.
- බලු කැණහිල් ආදීන් විසින් ඒ ඒ කොටස් කා දැමූ පිළිකුල් මළ මිනිය වික්ඛායිතක ය.
- බලු කැණහිල් ආදීන් විසින් ම කඩ කඩ කොටැ කා ඒ ඒ තැන්හි කැබලි වශයෙන් ලූ පිළිකුල් මළ මිනිය වික්ඛිත්තක ය.
- ආයුධයෙන් අඟ පසඟ කපා ඒ ඒ තැන ලූ පිළිකුල් මළ මිනිය හතවික්ඛිත්තක ය.
- ඔබින් මොබින් ලේ වැගිරෙන පිළිකුල් මළ මිනිය ලොහිතක ය.
- පණුවන් කා හැළෙන පිළිකුල් මළ මිනිය පුලවක ය.
- මුළු ඇටසැකිල්ල ම හෝ එක් එක් ඇටයෙක් හෝ අට්ඨි ය. එ ම පිළිකුල් හෙයින් අට්ඨික ය.
මේය දස අසුභ.
දස අනුස්සති නම්:
1 බුද්ධානුස්සති, 2 ධම්මානුස්සති, 3 සඞ්ඝානුස්සති, 4 සීලානුස්සති, 5 චාගානුස්සති, 6 දෙවතානුස්සති, 7 උපසමානුස්සති, 8 මරණානුස්සති, 9 කායගතාසති, 10 ආනාපාණසති යන මේ ය. නැවත නැවත සිහි කිරීම අනුස්සති ය. එයට අරමුණු දසයෙකි.
1. “ඉති පි සො භගවා අරහං” යනාදීන් බුදුගුණ සිහි කිරීම බුද්ධානුස්සති ය.
2. “ස්වාක්ඛාතො භගවතා ධම්මො” යනාදීන් ධර්ම ගුණ සිහිකිරීම ධම්මානුස්සති ය.
3. “සුපටිපන්නො භගවතො සාවකසංඝො” යනාදීන් සංඝ ගුණ සිහිකිරීම සංඝානුස්සති ය.
4. අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකම්මාස, භූජිස්ස, විඤ්ඤුප්පසත්‍ථ, අපරාමට්ඨ, සමාධිසංවත්තනික යන අෂ්ට ගුණයෙන් උපලක්‍ෂිත වූ ස්වකීය ශීලය සිහි කිරීම සීලානුස්සති ය. මුල හෝ අග හෝ සිල් පද නො බිඳුණේ අඛණ්ඩ ය. මැද සිල් පද නො බිඳුණේ අච්ඡිද්‍ර ය. පිළිවෙලින් සිල් පද දෙක තුන නො බිඳුණේ අසබල ය. අතරින් පතර සිල්පද නො බිඳුණේ අකම්මාස ය. තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණේ භූජිස්ස ය. බුද්ධාදි විඥයන් විසින් පසස්නා ලද්දේ විඤ්ඤුප්පසත්‍ථ ය. කිසිවකු විසිනුත් දොස් නො කිය හැක්කේ අපරාමට්ඨ ය. උපචාර අර්පණා සමාධියට හෝ මාර්ගඵල සමාධියට හෝ පවත්නේ සමාධිසංවත්තනික ය.
5. තමාගේ ම ත්‍යාග ගුණය සිහි කිරීම චාගානුස්සති ය. නිතර දන් දෙන්නහුට ද, මේ භාවනාව වඩනු කැමැති වැ අද පටන් නො දී නො වළඳමියි සමාදන් වැ ගෙනැ ගුණ විශිෂ්ටයකුට දී එය සලකන්නාහට ද මේ භාවනාව වැඩිය හැකිය.
6. “දෙවියෝ යම් ශ්‍රද්ධාවකින්, ශීලයකින්, ශ්‍රැතයකින්, ත්‍යාගයකින්, ප්‍රඥාවෙකින් දේවත්‍වයට ගියෝ ද ඒ ශ්‍රද්ධා ශීල ශ්‍රැත ත්‍යාග ප්‍රඥා මා කෙරෙහි ද ඇතැ”යි දෙවියන් ශාක්‍ෂ්‍ය කොටැ ස්වකීය ශ්‍රද්ධාදී පඤ්චකය සිහි කිරීම දේවතානුස්සතිය යි.
7. වත් පිළිවෙත් වශයෙන් හෝ ධුතඞ්ග සමාදාන වශයෙන් හෝ ධ්‍යාන සමාපත්ති වශයෙන් හෝ විදර්ශනා වශයෙන් හෝ ස්ව සන්තානයෙහි පැවැති කාමරාගාදීන්ගේ ව්‍යපසමය, තමා විසින් ප්‍රතිවේධ කරන ලද නිර්වාණය හෝ සිහි කිරීම වුපසමානුස්සතිය යි. විශේෂයෙන් මෙහි නිර්වාණය ම විශුද්ධිමාර්ගයෙහි දක්වන ලදි. එ ද දශවැන්න කොටැ දක්වන ලද්දේ ය.
8. ආයුඃක්‍ෂය වූ හෝ කර්මක්‍ෂය වූ හෝ උභයක්‍ෂය වූ හෝ උපච්ඡේදක වූ හෝ ජීවිතේන්‍ද්‍රියොපච්ඡේද සංඛ්‍යාත මරණය සිහි කිරීම මරණානුස්සතිය යි.
9. “අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො” යනාදීන් සජීව ශරීරයෙහි පිළිකුල් බව සිහි කිරීම කායාගතාසතිය යි.
10. “දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති” යනාදීන් දක්වන ලද පරිදි ආශ්වාස ප්‍රශ්වාස සිහි කිරීම ආනාපානසතිය යි.
ප්‍රශ්න.
- දස අශුභ දක්වනු.
- එක් එක් අශුභයෙක ආකාර දක්වනු.
- දස අනුස්සති කවරේ ද?
- සීලානුස්සති, දේවතානුස්සති පැහැදිලි කරනු.
- උපසමානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපානසති සැකෙවින් කෝරනු.