2. දස කසිණ.

star_outline

දස කසිණ නම්: 1. පඨවිකසිණ, 2. ආපොකසිණ, 3. තෙජොකසිණ, 4. වායොකසිණ, 5. නීලකසිණ, 6. පීත කසිණ, 7. ලොහිතකසිණ, 8. අවදාතකසිණ, 9. ආකාස කසිණ, 10. ආලොකකසිණ යන මේ ය.

1. පඨවිකසිණය. පඨවි නම් පෘථිවි ය. කසිණ නම් සියල්ල ය. මෙහි පෘථිවිය කෘත්‍රිම ය, ප්‍රකෘතිය ය යි දෙ වැදෑරුමි. කෘත්‍රිම නම් සාදා ගන්නා ලද්ද ය. ප්‍රකෘති නම් ස්වභාවයෙන් පිහිටියේ ය. එ නම් කලවිටි තැන් හෝ සා පෝරු ගෑ කුඹුරු තැන් හෝ ආදිය. කෘත්‍රිමය ද සංහාරිමය, තත්‍රස්ථකය යි දෙ වැදෑරුම් සංහාරිම නම් කැමැති තැනකට ගෙන යා හැකි සේ සාදා ගන්නා ලද්දය. තත්‍රස්ථක නම් එහි ම තිබෙන සේ පිළියෙල කැරැ ගන්නා ලද්ද ය. මෙයින් කසිණ මණ්ඩලයක් සාදා ගනු කැමැත්තහු විසින් රෙදි කඩෙක හෝ සම් පටෙක හෝ කලාල ආදි කිසිවෙක හෝ තණ රොඩු කැට ගල් ආදිය නැති සිහින් සිනිඳු අරුණු වන් මැටි බහා එක් වියත් සතරඟුල් නෙමිය වන පමණට බෙර ඇසක් සේ ඔප මට්ටම් කොටැ, වටා වෙන පැහැයෙකින් පරිච්ඡෙද කොටැ ගත යුතු ය. නිල් රතු කහවන් හෝ එයින් මිහ්‍ර වන් හෝ මැටි නො ගත යුතු ය. අරුණු වන් මැටි මඳ නම් වෙන මැට්ටක් ඇතුළේ ලා පිටත අරුණු වන් මැටි ගෑ යුතුය. එසේ සාදා ගන්නහු විසිනු දු විහාර මැද සාමණේරාදීන් ගැවසෙන තැනැ නො සාදා විහාර කෙළවර ප්‍රතිච්ඡන්න තැනෙක හෝ ගල්ගේ ආදි විවේක තැනෙක හෝ සාදා ගත යුතු ය. එසේ සාදා ගන්නා ලද හෝ ප්‍රකෘති හෝ පෘථිවිය එක දේශයක් නො වැ මුළුල්ල ම අරමුණු කළ යුතු බැවින් පඨවිකසිණය යි කියනු ලැබේ.

2. ආපොකසිණය. ආප නම් ජලය. කසිණ නම් සියල්ල ය. මෙහි ජලය ද කෘත්‍රිමය, ප්‍රකෘතිය යි දෙ වැදෑරුම් වේ. කෘත්‍රිම නම් පිළියෙල කැරැ ගන්නා ලද්ද ය. නිල් පැහැ වූ හෝ කහ පැහැ වූ හෝ රත් පැහැ වූ හෝ සුදු පැහැ වූ හෝ ජලය නො ගෙනැ විප්‍රසන්න නො කැලත් ජලය ගත යුතු ය. වැසි දිය බිම වැටෙන්නට පෙර අහස්හි දී ම සුදු වස්ත්‍රයෙකින් පෙරා ගන්නා ලද්දේ වඩා සුදුසු ය. එ බඳු පිරිසිදු ළිං ආදියෙක ජලය ගත ද වරද නො වේ. එ ද පාත්‍රයෙක හෝ කෙංඩියක හෝ මුව විට තෙක් පුරා ගත යුතු ය. පඨවි කසිණයට කී පරිදි විවේක තැනෙක තබා ගත යුතු ය. ප්‍රකෘති අප් නම් වැව් පොකුණු කලපු මුහුදු ආදියෙහි තිබෙන පියවි ජලය යි. ඒ ආප ද එක දේශයක් නො වැ මුළුල්ල ම අරමුණු කළ යුතු බැවින් ආපොකසිණය යි කියනු ලැබේ.

3. තෙජොකසිණය. තෙජ නම් ගිනි ය. කසිණ නම් සියල්ල ය. එ ද කෘත්‍රිම ය ප්‍රකෘති ය යි දෙ වැදෑරුම් වේ. කෘත්‍රිම නම් දල්වා ගන්නා ලද්ද ය. ප්‍රකෘති නම් ස්වභාවයෙන් දැල්වෙමින් තිබෙන පහන් ගිනි උදුන් ගිනි ලැව්ගිනි ආදිය යි. දල්වා ගත යුතු මෙසේ ය. සිනිඳු හර ඇති දර පලා වේලා මිටි මිටි කොට රුක් මුලකට හෝ වෙන විවේක තැනෙකට හෝ ගෙනැ ගොස් දැල්විය යුතු යි. කලාලෙක හෝ සම්පටෙක හෝ වස්ත්‍රයෙක හෝ එක් වියත් සතරඟුල් පමණ වන සිදුරක් කොටැ එය ඉදිරියෙහි තබා සිදුරින් ඒ ගිනි දැල් දෙසැ බැලිය යුතු යි. එහි වර්ණය හෝ උෂ්ණය හෝ අරමුණු නො කොටැ ගින්න මැ අරමුණු කළ යුතු යි. ප්‍රකෘති ගින්න අරමුණු කළ යුතු ද මෙසේ ය. මෙ ද එක දේශයක් නො වැ සියල්ල අරමුණු කළ යුතු බැවින් තේජොකසිණය යි කියනු ලැබේ.

4. වායොකසිණය. වායු නම් සුළඟ ය. කසිණ නම් සියල්ල ය. වායු ද දිට්ඨවායු, ඵුට්ඨවායු ය යි දෙ වැදෑරුම් වේ. උක්, උණ ආදි ගසෙක අග හේ යටත් පිරිසෙයින් හිසෙක කෙස් හෝ යම් වායුවෙකින් සැලේ ද ඒ දිට්ඨවායු ය. සුළං කවුළුවකින් හෝ බිත් සිදුරෙකින් හෝ හමා යම් වායුවෙක් ඇඟ වැදැ ගනී ද ඒ ඵුට්ඨවායු ය. එ ද සියල්ල අරමුණු කළ යුතු බැවින් වායොකසිණය. පඨවි ආදි මේ සතර භූත කසිණ යි.

5. නීලකසිණය. නීල නම් නිල් පැහැ ය. කසිණ නම් සියල්ල ය. එ ද කෘත්‍රිම ය, ප්‍රකෘතිය යි දෙ වැදෑරුම් වේ. කෘත්‍රිම නම් පිළියෙල කැරැ ගන්නා ලද්ද ය. නිලුපුල් ගින්නේරිය ආදි නිල් මල් පෙති වලින් භාජනයක් පුරවා ගත යුතු ය, නිල් රෙදි පොට්ටනියක් හෝ භාජනයෙක දමා ගත යුතු ය. භාජනයෙක මුවවිට හෝ බෙර ඇසක් සේ නිල් කඩෙකින් බැන්ද යුතු ය. වටා වෙන පැහැයෙකින් පරිච්ඡේද කළ යුතු ය. මේ කෘත්‍රිම නිල යි. ප්‍රකෘති නීලය මල් ගස් වල හෝ පිදූ මල් අසුන් හි හෝ නිල්මිණි නිල්වත් ආදියෙහි හෝ ලැබේ. මෙ ද සංහාරිම ද තත්‍රස්ථක ද වේ. බිත්තියෙහි එක් වියත් සතරඟුල් වටා නිල් සායම් ආලේප කළ කල තත්‍රස්ථක යි. එ ද සියල්ල අරමුණු කළ යුතු බැවින් නීල කසිණ යි.

6. පීතකසිණය. නීලකසිණයට කී පරිදි කහ පැහැ ගත් කල පීත කසිණය වේ. මල් කිණිහිරි ආදිය.

7. ලොහිතකසිණය. නීලකසිණයට කී පරිදි රත් පැහැ ගත් කල ලෝහිත කසිණය වේ. මල් බඳුවද ආදිය.

8. අවදාත කසිණය. නීලකසිණයට කී පරිදි සුදු පැහැ ගත් කල ඔදාත කසිණය වේ. මල් සමන් හෙළ පියුම් ආදි ය. ඊයම්, රිදී, සඳ මඬල ද මෙහි යෙදේ. නීලාදි සතර වර්ණකසිණ යි.

9. ආකාසකසිණය. ආකාස නම් අහස ය. කසිණ නම් සියල්ල ය. මෙහි අහස යන්නෙන් බිත්ති සිදුරින් හෝ සුළං කවුළුයෙන් හෝ පෙනෙන අහස ගත යුතු ය. ප්‍රතිච්ඡන්න මණ්ඩපයෙක හෝ සම් කලාල ආදියෙක හෝ එක්වියත් සතරඟුල් සිදුරක් කොටැ එයින් පෙනෙන අහස හෝ ගත යුතු ය.

10. ආලොක කසිණය. ආලෝක නම් එළිය. කසිණ නම් සියල්ල. මෙහි එළිය යන්නෙන් බිත්ති සිදුරින් හෝ සුළං කවුළු ආදියෙන් හෝ බිමට වැටුණු සූර්යාලෝක චන්‍ද්‍රාලෝක මණ්ඩල ගත යුතු ය. ඝන වූ රුක් පතරින් වැටුණු ආලෝක මණ්ඩල හෝ ගත යුතු ය. නැතහොත් කළයක් තුළ පහනක් දල්වා මුව වසා කළයේ පසෙක මණ්ඩලාකාර සිදුරක් කොටැ ඒ සිදුරින් බිත්තියට වැටෙන ආලෝක මණ්ඩලය හෝ ගත යුතු ය. එ ද සියල්ල අරමුණු කළ යුතු බැවින් ආලෝක කසිණ යි.

ප්‍රශ්න.

  1. කසිණ දසය නම් වශයෙන් දක්වනු.
  2. භූතකසිණ, වර්ණකසිණ බෙදා පෙන්වනු.
  3. පඨවිකසිණ යනු කිම? එය කෙසේ ලැබිය හැකිද?
  4. කෘත්‍රිම, ප්‍රකෘති සංහාරිම, තත්‍රස්ථක කසිණ තෝරනු.
  5. අප්කෘත්ස්නාදි නවය පැහැදිලි කැරැ දක්වනු.