1. 5. 3.
මහා වෙදල්ල සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ගියහ. ගොස්, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාකොට නිමවා එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ:
2. “ඇවැත්නි, ‘දුෂ්ප්‍රාඥය, දුෂ්ප්‍රාඥය’යි (නුවණ නැති තැනැත්තේය, නුවණ නැති තැනැත්තේයයි) කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, නොදනියි, නොදනියි, යන අර්ථයෙන් දුෂ්ප්‍රාඥ යයි කියනු ලැබේ. කුමක් නොදනීද? මෙය දුකයයි නොදනී, මේ දුක් ඉපදීමට හේතුවයයි නොදනී, මේ දුක් නැතිකිරීමයයි නොදනී, මේ දුක් නැතිකිරීමේ මගයයි නොදනී. නොදනියි, නොදනියි යනුවෙන් ඇවැත්නි, එහෙයින් දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේ.”
3. “යහපත ඇවැත්නි,’ කියා ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමොදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මතු තවත් ප්රශ්නයක් විචාළහ:
“ඇවැත්නි, ‘ප්‍රාඥය ප්‍රාඥය’යි (නුවණ ඇති තැනැත්තේය, නුවණ ඇති තැනැත්තේයයි) කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් ප්‍රාඥයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, දනියි දනියි යනුවෙන්, එහෙයින් ප්‍රාඥයයි කියනු ලැබේ. කුමක් දනීද? මෙය දුකයයි දනියි, මේ දුක් ඉපදීමේ හේතුවයයි දනියි, මේ දුක් නැතිකිරීමයයි දනියි, මේ දුක් නැති කිරීමේ මගයයි දනියි. දනියි දනියි යනුවෙන් ඇවැත්නි, එහෙයින් ප්‍රාඥයයි කියනු ලැබේ.”
4. “ඇවැත්නි, ‘විඤ්ඤාණය විඤ්ඤාණය’යි (විශේෂයෙන් දැනීම විශේෂයෙන් දැනීමයි) කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් විඤ්ඤාණයයි කියනු ලැබේද?”
“විශේෂයෙන් දනියි විශේෂයෙන් දනියි යනුවෙන් ඇවැත්නි, එහෙයින් විඤ්ඤාණයයි කියනු ලැබේ. කුමක් විශේෂයෙන් දනීද: සැපයයිද විශේෂයෙන් දනියි, දුකයයිද විශේෂයෙන් දනියි, දුක්ද නොවූ සැපද නොවූ දෙයයයිද විශේෂයෙන් දනියි. විශේෂයෙන් දනියි විශේෂයෙන් දනියි යනුවෙන් ඇවැත්නි, එහෙයින් විඤ්ඤාණයයි කියනු ලැබේ.”
5. “ඇවැත්නි, යම් මේ ප්‍රඥාවක් වේද, යම් මේ විඤ්ඤාණයක් වේද, මේ ධර්මයෝ එක්ව පවත්නාහුද? නැතහොත් වෙන් වෙන්ව පවත්නාහුද? මේ ධර්මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට හැකිද?”
“ඇවැත්නි, යම් මේ ප්‍රඥාවක් වේද, යම් මේ විඤ්ඤාණයක් වේද, මේ ධර්මයෝ එක්ව පවත්නාහුය, වෙන් වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නොහැකිය. ඇවැත්නි, යමක් ප්‍රඥාවෙන් දනීද, විඤ්ඤාණයෙන් එය දනියි. යමක් විඤ්ඤාණයෙන් දනීද, ප්‍රඥාවෙන් එය දනියි. එහෙයින් මේ ධර්මයෝ එක්ව පවත්නාහුය, වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නොහැකිය.”
6. “ඇවැත්නි, යම් ප්‍රඥාවකුත් වේද, යම් විඤ්ඤාණයක් වේද, එක්ව පවත්නාවූ වෙන්ව නොපවත්නාවූ මේ ධර්මයන්ගේ වෙනස කවරේද?”
“ඇවැත්නි, යම් ප්‍රඥාවකුත් වේද, යම් විඤ්ඤාණයක් වේද, එක්ව පවත්නාවූ වෙන්ව නොපවත්නාවූ මේ ධර්මයන් අතුරෙන් ප්‍රඥාව වැඩිය යුතුය, විඤ්ඤාණය පිරිසිඳ දතයුතුය. මෙය ඔවුන්ගේ වෙනසයි.”
7. “ඇවැත්නි, ‘වේදනාවය වේදනාවය’යි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් වේදනාවයයි කියනු ලැබේද?”