මුල් පිටුව
කරණීය මෙත්ත සුත්තං
කරණීය මෙත්ත සුත්තං කරණීය මෙත්ත සූත්‍රය.
කරණීය මෙත්ත සුත්තං කරණීය මෙත්ත සූත්‍රය
කරණීයමත්ථකුසලෙන අභිවෘද්ධියෙහි දක්ෂයා විසින් යමක් කටයුතු ද
යං තං එය කටයුතු යි
සන්තං පදං ශාන්ත පදය යි කියනු ලබන නිවනට
අභිසමෙච්ච පැමිණ වසන්නහු විසින්
කරණීයමත්‍ථකුසලෙන - යන්‌තං සන්‌තං පදං අභිසමෙච්‌ච යම් ඒ ශාන්තිපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, එයට පැමිණ නොහොත් එය අවබොධ කොට වසනු කැමති අභිවෘද්ධිය සලසා ගැණීමෙහි දක්‍ෂයා විසින් එයට සුදුසු දෙය කළ යුතු ය. නිවණට පැමිණ වසනු කැමැත්තේ සත්‍යප්‍රතිවෙධය පිණිස පිළිපදින්නට නොහොත් කිසුණු පිරියම් කිරීම් වත් සමාදන් වීම් ආදී සියලු කාර්‍ය්‍යයන් කරන්නට දක්‍ෂයෙක් වන්නේ ය. (දක්‍ෂයකු විය යුතු ය.)
සක්කො දක්ෂයෙක් ද
උජු ච ඍජු ද
සූජූ ච මනාකොට සෘජු ද
සුවචොචස්ස (ඔහු) කීකරු වන්නේ ය
මුදු මෘදු වන්නේ ය
අනතිමානි නිහතමානී වන්නේ ය.
සක්‌කො උජූ ච සූජූ ච - සුවචො චස්‌ස මුදු අනතිමානී. ඍජු වන්නේ ය. එක් වරක් ඍජු වීමෙන් නො නැවතී දිවි ඇති තාක් මනා කොට ඍජු වන්නේ ය. අන්‍යයන් ගේ අවවාද මනාකොට පිළිගැණීම් වශයෙන් සුවච වන්නේ ය. මෘදු වන්නේ ය. අතිමාන ඇත්තේ නො වන්නේ ය.
සන්තුස්සකො ච ලද දෙයින් සතුටු වන්නේ ය
සුභරො ච පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය
අප්ප කිච්චො ච ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය
සල්ලහුක වුත්ති සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය
සන්‌තුස්‌සකො ච සුභරො ච - අප්‌පකිච්‌චො ච සල්‌ලහුකවුත්‌ති, ලද දෙයින් සතුටු වන්නෙක් ද පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් ද, (ස්වකීය ශ්‍රමණධර්‍මය කිරීමට පමණක් සිමා වූ ) ස්වල්ප කටයුතු ඇත්තෙක් ද, සැහැල්ලු පැවතුම් ඇත්තෙක් ද,
සන්තින්ද්‍රියො ච සන්සුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය
නිපකො ච නුවණ ඇත්තෙක් වන්නේ ය
අප්ප ගබ්භො ප්‍රගල්භය (හැඩි දැඩි අසංවර ගති) නැති වන්නේ ය
කුලෙසූ අනනුගිද්ධෝ කුලයන් කෙරෙහි නො ඇලුනෙක් වන්නේ ය.
සන්‌තින්‍ද්‍රියො ච නිපකො ච - අප්‌පගබ්‌භො කුලෙසු අනනුගිද්‌ධො. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් ද ප්‍රඥා ඇත්තෙක් ද, හැඩි දැඩි අසංවර ගති නැත්තෙක් ද, කුලයන් කෙරෙහි (සිවු පසයෙහි ඇලීම් ආදී වශයෙන්) නො ඇලුනෙක් ද වන්නේ ය.
නච ඛුද්දං සමාචරෙ ස්වල්ප වූ වරදකුදු නො කරන්නේ ය
කිඤ්චි යෙන යම් බඳු ක්‍රියාවකින්
විඤ්ඤුපරෙ නුවණැති අන් කෙනෙක්
උපවදෙය්‍යුං නින්ද‍ා කෙරෙත් ද
න ච ඛුද්‌දං සමාචරෙ - කිඤ්‌චි යෙන විඤ්‌ඤූ පරෙ උපවදෙය්‍යුං නුවණැති අන්‍යයන් නින්‍දා කරණ සුළු වරදක් වත් නො කරන්නේ ය.
සුඛිනො වා සැප ඇත්තෝ වෙත්වා
ඛෙමිනො හොන්තු භය තැත්තෝ වෙත්වා
සබ්බෙ සත්තා සියලු සත්වයෝ
භවන්තු සුඛිතත්තා සුඛිත සිත් ඇත්තෝ වෙත්වා
සුඛිනො වා ඛෙමිනො හොන්‌තු - සබ්‌බෙ සත්‌තා භවන්‌තු සුඛිතත්‌තා. “සියලු සත්ත්‍වයෝ සැප ඇත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත් වා, සුඛිත සිත් ඇත්තෝ වෙත් වා”යි ද,
යෙ කෙචි යම්කිසි
පාණභූතත්ථි සත්ව කෙනෙක් වෙත් ද
තසා වා (කෙලෙස් සහිත බැවින්) භයින් ත්‍රස්ත වූ හෝ
ථාවරා වා නිර්භය හෙයින් ස්ථාවර වූ
අනවසෙසා සියලු (ඉතිරිනොවූ)
යෙ කෙචි පාණභූතත්‍ථි - තසා වා ථාවරා වා අනවසෙසා, තෘෂ්ණාභය සහිත හෙයින් තැති ගන්නා සුලු වූ ද තෘෂ්ණා භය ප්‍රහීණ කළ හෙයින් ස්ථාවර වූ ද යම් කිසි සත්ත්‍වයෝ ඇත්තාහු නම්, ඒ සියලුදෙනා ද,
දීඝා වා දීර්ඝ ජාති ඇත්තාහු ද
යෙ යම් සත්ව කෙනෙක්
මහන්තා වා මහත් සිරුරු ඇත්තාහු ද
මජ්ඣිමා මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇත්තෝ ද
රස්සකාණුකථූලා මිටි සිරුරු ඇත්තෝ ද, ඉතා සියුම් සිරුරු ඇත්තෝ ද, ස්ථූල සිරුරු ඇත්තෝ ද
දීඝා වා යෙ මහන්‌තා වා - මජ්‌ඣිමා රස්‌සකා’ණුකථූලා. (නාගාදි) දික් ශරීර ඇත්තෝ ද, (මත්ස්‍ය හස්ති අසුරා දී) මහත් ශරීර ඇත්තෝ ද, (අශ්වගවමහිෂාදී) මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තෝ ද, (වාමනාදී) මිටි සිරුරු ඇත්තෝ ද, (පියෙවි ඇසට නොපෙණෙන) ඉතා සියුම් ශරීර ඇත්තෝ ද, (මස් කැසුබු ආදී) ස්ථුල ශරීර ඇත්තෝ ද,
දිට්ඨා වා ඇසට පෙනෙන්නා වූ හෝ
යෙව අද්දිට්ඨා නොපෙනෙන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද
යෙච දූරෙ වසන්ති යම් සත්ව කෙනෙක් දුර වෙසෙත් ද
අවිදූරෙ නුදුරෙහි වෙසෙත් ද
දිට්‌ඨා වා යෙව අද්දිට්‌ඨා - යෙ ච දූරෙ වසන්‌ති අවිදූරෙ ඇස් හමුවට පැමිණීම් වශයෙන් දුටු සත්තු ද, ඈත සිටි හෙයින් නුදුටු සත්තු ද, යම් සත්ත්‍ව කෙනෙක් දුරත් ලඟත් වසත් නම් ඔහු ද,
භූතා වා ඉපදීම අවසන් කළ සත්වයෝ වෙත් ද
සම්භවෙසී වා ඉපදීම සොයන සත්වයෝ ද (යන)
සබ්බෙ සත්තා සියලු සත්වයෝ
භවන්තු වෙත්වා
සුඛිතත්තා සුඛිත සිත් ඇත්තෝ
භූතා වා සම්‌භවෙසී වා - සබ්‌බෙ සත්‌තා භවන්‌තු සුඛිතත්‌තා. ඉපදීම අවසන් කළ සත්ත්‍වයෝ ද (ක්‍ෂිණාශ්‍රවයෝ ද), මතු ඉපදීම සොයන (ශෛක්‍ෂ පෘථග්ජන) සත්ත්‍වයෝ ද යන මේ සියලු සත්ත්‍වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්’වා යි ද මෙත් වඩන්නේ ය.
නොම
පරො අනිකෙක්
පරං අනිකකු
නිකුබ්බේථ රවටන්නේ ය
නාතිමඤ්ඤෙථ අවමන් නො කරන්නේ ය ‍
කත්ථචි කිසි තැනෙක්හි
නං කඤ්‌චි ඒ කිසිවක් හට.
න පරො පරං නිකුබ්‌බෙථ - නාතිමඤ්‌ඤෙථ කත්‍ථචි නං කඤ්‌චි එකෙක් අනෙකකු නො රවටන්නේ ය. (නො රවටාවා) අනෙකකුට අවමන් නො කරන්නේ ය. (නො කෙරේ වා)
ඛ්‍යාරොසනා කාය වාක් විකාරයෙන් වූ කෝපයෙන් ද
පටිඝසඤඤ‍ා (මනෝ විකාරයෙන් වූ) පටිඝ සංඥ‍ායෙන් ද
නාඤ්ඤමඤ්ඤස්ස එකෙක් අනෙකකුට (නොම)
දුක්ඛමිච්ඡෙය්‍ය දුකක් කැමති නො වන්නේ ය.
බ්‍යාරොසනා පටිඝසඤ්‌ඤා - නාඤ්‌ඤමඤ්‌ඤස්‌ස දුක්‌ඛමිච්‌ඡෙය්‍ය බ්‍යාරොසනා නම් වූ කය හා වචනය පිළිබඳ විකෘතියෙන් ද ප්‍රතිඝසංඥා සඞ්ඛ්‍යාත මනෝවිකාරයෙන් ද එකෙක් අනෙකකුට දුකක් නො කැමති වන්නේ ය. (නො කැමති වේවා).
මාතා මවක්
යථා යම්සේ
නියං පුත්තං තමාගෙන් ඇති වූ
ආයුසා දිවි පිදීමෙන් හෝ
එක පුත්තමනුරක්ඛෙ එකම පුතු රකී ද?
මාතා යථා නියං පුත්‌තං - ආයුසා එකපුත්‌තමනුරක්‌ඛෙ මව යම්සේ තමා ගෙන් ඇති වූ එක ම ඖරස පුත්‍රයා ජීවිතපරිත්‍යාගයෙන් වූවත් රක්නේ ද,
එවම්පි මෙසේ ද
සබ්බ භුතෙසු හැම සතුන් කෙරෙහි
මානසං මෛත්‍රී සිත
භාවයෙ වඩන්නේ ය
අපරිමාණං අප්‍රමාණ වූ
එවම්‌පි සබ්‌බභූතෙසු - මානසං භාවයෙ අපරිමාණං. එ පරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය.
මෙත්තං ච මෛත්‍රී සහගත ව
සබ්බ ලොකස්මිං සියලු සත්වයන් කෙරෙහි
මානසං භාවයෙ සිත වඩන්නේ ය
අපරිමාණං අප්‍රමාණ වූ
මෙත්‌තඤ්‌ච සබ්‌බලොකස්‌මිං - මානසං භාවයෙ අපරිමාණං සියලු ලෝකසත්ත්‍වයා කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය.
උද්ධං ච උඩ ද
අධො ච යට ද
තිරියඤ් ච සරස (හරස්ව) ද
අසම්බාධං සම්බාධ නැතිව
අවෙරං වෛර නැතිව
අසපත්තං සතුරන් නැති
උද්‌ධං අධො ච තිරියං ච - අසම්‌බාධං අවෙරං අසපත්‌තං උඩ ද යට ද සරස ද (සතුරන් ය යි කියන ලද) සීමාවකුදු නැති ව අතරතුර වත් වෛර චේතනා පහළ වීමක් නැති ව, සතුරන් රහිත ව
තිට්ඨං සිටින්නේ හෝ
චරං ඇවිදින්නේ හෝ
නිසින්නො වා උන්නේ හෝ
සයානො වා නිදන්නේ හෝ
යාවතස්ස විගතමිධො යම්තාක් කල් නොනිද‍ා ද (ඒතාක්)
තිට්‌ඨං චරං නිසින්‌නො වා - සයානො වා යාවතස්‌ස විගතමිද්‌ධො සිටින්නේ හෝ ඇවිදින්නේ හෝ උන්නේ හෝ නිදන්නේ හෝ යම් තාක් මෛත්‍රීසහගත සිහිය ඉටනු කැමැත්තේ ද, ඒ තාක් පහ වූ මිද්ධය (අලස බව) ඇති ව ඉටන්නේ ය.
එතං සතිං මේ මෛත්‍රී සහගත සිහිය
අධිට්ඨෙය්‍ය ඉටන්නේ ය
බ්‍රහ්මමේතං විහාරං මෙය බ්‍රහ්ම විහාරය (ශ්‍රේෂ්ඨ වාසය කිරීම) යි
ඉධමාහු මේ ශාසනයෙහි (බුද්ධාදී උතුමෝ) කීහ.
එතං සතිං අධිට්‌ඨෙය්‍ය - බ්‍රහ්‌මමෙතං විහාරං ඉධමාහු මේ මෛත්‍රීවිහරණය මේ බුද්ධශාසනයෙහි ශ්‍රේෂ්ඨ විහරණයැ යි ප්‍රකාශ කළහ.
දිට්ඨිඤ් ච මීත්‍යාදෘෂ්ටියට
අනුපගම්ම නො පැමිණ
සීලවා සිල්වත් වූයේ
දස්සනෙන සම්පන්නෝ දර්ශනයෙන් යුක්ත වූයේ
දිට්‌ඨිං ච අනුප‌ගම්‌ම සීලවා - දස්‌සනෙන සම්‌පන්‌නො, (සත්ත්‍වයෙක් පුද්ගලයෙක් ඇත්තේ ය යන) මිථ්‍යදෘෂ්ටිය නො පැමිණ (ලොකොත්තරශීලයෙන්) සිල්වත් වූයේ (සෝතාපත්තිමග්ගසම්මාදිට්ඨි ය යි කියන ලද) දර්‍ශනයෙන් යුක්ත වූයේ
කාමෙසූ වස්තුකාමයන්හි
විනෙය්‍ය ගෙධං ගිජු බව දුරු කොට
නහි ජාතු ඒකාන්තයෙන් නො එන්නේ යි
ගබ්භසෙය්‍යං මවු කුස පිළිසිඳ ගැනීමට
පුනරෙති ති නැවත
කාමෙසු විනෙය්‍ය ගෙධං - න හි ජාතු ගබ්‌භසෙය්‍යං පුනරෙතීති. (සකෘදාගාමි අනාගාමී මාර්‍ග දෙකින්) වස්තුකාමයන්හි ගිජුබව දුරු කොට, ඒකාන්තයෙන් ම නැවත ගර්‍භයෙක් හි විසීමට නො පැමිණෙන්නේ ය. (ශුද්ධාවාසයයෙක ඉපිද එහි දි ම රහත්බවට පැමිණ පිරිනිවන් පාන්නේ ය.)
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.