Pali - Sinhala Dictionary Info
placeholder
අප ගැන - About Us

මෙම අන්තර්ජාල ශබ්දකෝෂය පහත ශබ්දකෝෂ 2 ඇසුරෙන් සකසා ඇත.

මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය

මේ සඳහා භාවිත කළ ස්කෑන් පිටපත් pdf ගොනුව මෙතැනින් ලබාගත හැක (54 MB). කියවීම පහසුකිරීම සඳහා පාලි බැඳි අකුරු වෙන්කොට දක්වා ඇත. දැනට භාවිතයේ ඇති පිළිගැනීම අනුව න ණ ල ළ වැරදි නිවැරදි කර ඇත. සිංහල කියවීම පහසු කෙරවීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් මුල් ශබ්දකෝෂයට සිදු කොට නැත.

මෙම පොතෙහි පිටු 545ක් පමණ ඇති අතර අර්ථ විග්‍රහයන් 25,000 පමණ අඩංගු වේ. චානක මහත්මා ඇතුළු කණ්ඩායම විසින් දළ වශයෙන් යතුරුලියනය කර තිබූ පිටු 200ක පමණ අර්ථ විග්‍රහයන් යොදාගන්නා ලදී. ඉතිරි සියල්ල යතුරුලියනය කිරීමටත්, සියලු පිටු මුල් පිටපත සමඟ සංසන්දනය කරමින් සෝදුපත් කියවා මුල් පිටපත හා සම්පූර්ණයෙන්ම සමාන වන පරිදි මෙය සැකසීම සඳහාත් බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් උදව් විය. මේ සඳහා මාස අටක පමණ කාලයක් ගතවිය. මෙම අන්තර්ජාල ශබ්දකෝෂය භාවිතා කරන වාරයක් පාසා ලැබෙන ධර්ම දානමය පිං මෙය සාර්ථක කරගැනීමට ස්වේච්ඡාවෙන් උදව් කළ සියලුම දෙනාට අනුමෝදන් වේවා.

පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය

පූජනීය ගල්පොතුගොඩ ඤාණවංස ස්වාමින් වහන්සේ විසින් මෙම ශබ්දකෝෂය යතුරුලියනය කර තිබූ අතර අපගේ අන්තර්ජාල ශබ්දකෝෂයෙහි පළකරීම සඳහා කරුණාවෙන් ලබා දෙන ලදී. අර්ථ විග්‍රහයන් 19,000 පමණ වූ සුවිශාල ප්රමාණයක් යතුරුලියනය සඳහා ගත් සුවිශේෂී කැපකිරීම වෙනුවෙන් උන්වහන්සේට බොහෝ පින්. එම යතුරුලියනය කිරීමෙන් පසු සෝදුපත් බලා නොතිබූ බව උන්වහන්සේ අපවෙත දැනුම් දී තිබිණ. මේ වනවිට මෙය සෝදුපත් බැලීම සඳහා යොමු කර තිබෙන අතර එම කර්තව්‍යයෙන් පසු මෙම අන්තර්ජාල වෙබ් පිටුව නැවත යාවත්කාලීන කෙරුණු ඇත.

තවදුරටත් අන්තර්ජාල ශබ්දකෝෂයේ යම් අඩුපාඩු තිබීමට හැකි අතර යම් දෝෂයක් තිබුනොත් කරුණාකර අපගේ pathnirvanagmail.com ඊ-මේල් ලිපිනය වෙත දැනුම් දෙන්න. මෙම අන්තර්ජාල මෘදුකාංගය සඳහා iOS මෘදුකාංගයක් ස්වේච්ඡාවෙන් හෝ යම් මුදලකට සැකසීමට කැමති අයෙක් සිටීනම් කරුණාවෙන් අප හා සම්බන්ධ වන්න.

තායි සහ රෝමන් අකුරු වලින් ඇති පාලි ලිපි සිංහලෙන් කියවන්න -> Our Pali Script Converter

පුණ්‍යානුමෝදනා - අප හා ස්වේච්ඡාවෙන් එකතු වූ කණ්ඩායම් සමහරක්

  • ගල්පොතුගොඩ ඤාණවංස ස්වාමින් වහන්සේ
  • උස්ගොඩ ධම්මගරු ස්වාමින් වහන්සේ
  • එච්. ඒ. අමරතුංග
  • දිල්රුක්ෂි වීරරත්න
  • වසන්තා කරුණාරත්න
  • චානක නානායක්කාර සහ එම කණ්ඩායම
  • ළහිරු මදුමාද
  • ලක්මී කුරුප්පු
  • අනුර ලක්මාල්
  • පණ්ඩුක බණ්ඩාර
  • තනූජ මාලිංබඩ

Privacy Policy

Our apps are all free educational applications. None of our apps needs you to login to use them.

We do not collect or store any user data. Our apps do not need access to any personal data in the users' devices.

භාවිතයට උපදෙස්
  • අවශ්‍ය සූත්‍රය සෙවීම සඳහා යුනිකෝඩ් හෝ සිංග්ලිෂ් වලින් ලිවිය හැක. (සිංග්ලිෂ් සඳහා භාවිතා වන ඉංග්‍රීසි අකුරු වගුව පහතින් දැක්වේ)
  • සෙවීම ආරම්භ වීම සඳහා අවම වශයෙන් අකුරු දෙකක්වත් ලිවිය යුතු අතර ස්වයංක්‍රීයව ප්‍රතිඵල ලැබුණේ නැතිනම් ‘Enter’ හෝ ‘Arrow Key’ එකක් ඔබන්න.
  • පාලි ශබ්ද කෝෂ වලින් සෙවීමෙන් ලැබෙන ගැළපෙන පාලි වචන සහ තේරුම්, පාලි වචන වල අකාරාදී පිළිවෙළට පෙන්වනු ඇත.
  • ශබ්දකෝෂ වල ඇති තේරුම් වල සිංහල වචන සෙවීමද කළ හැක. ඒ සඳහා පෙර පරිදිම වචනය ලියා ‘සිංහල’ කියන බොත්තම ඔබන්න.
  • ප්‍රතිඵල වල පාලි වචනයෙන් පසුව ඇති කෙටි අකුරෙන් දැක්වෙන තේරුම, එම අකුර මත මූසිකය තැබීමෙන් බැලිය හැක.
  • පාලි වචනයට පෙර ඇති පොත් සලකුණ මත මූසිකය තැබීමෙන් එය සඳහන් වන ශබ්ද කෝෂය සහ එහි පිටු අංකය බැලිය හැක.
  • ප්‍රතිඵල වල ඇති පාලි වචන මත ක්ලික් කිරීමෙන් එය සෙවුම් කොටුව මතට පිටපත් වනු ඇත.
  • පළමු වතාවට වෙබ් පිටුව සඳහා යොමුවීමේදී ශබ්දකෝෂ දෙකම බාගැනීම වන අතර, කුඩා ප්‍රමාදයක් ඇතිවිය හැක. ඉන්පසුව අන්තර්ජාල පහසුකම් නැතුව වුනත් බ්‍රවුසරය වහනතුරු සෙවීම කල හැක.

සිංග්ලිෂ් අකුරු ලැයිස්තුව

සිංග්ලිෂ් වලින් ලිවීමේ දී අවශ්‍ය සිංහල අකුරු ලබා ගැනීම සඳහා පහත වගුවෙහි දැක්වෙන ඉංග්‍රීසි අකුරු භාවිතා කරන්න. එකම සිංහල ශබ්දය සඳහා ඉංග්‍රීසි අකුරු එකකට වඩා ඇති විට ඔබට ඒ ඕනෑම අකුරක් භාවිතා කල හැකිය. උදාහරණ ලෙස 'ඛ' අකුර ලිවීම සඳහා 'ka' හෝ 'kha' දෙවිදියම භාවිතා කළ හැක.

Vowels
    Consonants
      උදාහරණ
        විශේෂ
          සඞ්කෙත නිරූපණය

          මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය

          පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය

                භාගත කිරීම සහ සඥාපනය

                Android ජංගම දුරකථන සහ ටැබ්ලට් සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි app එකක් සාදා ඇත. එය Google Play Store එකෙන් ලබාගන්න.

                මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂ සඥාපනය

                මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමිගේ පාලි-සිංහල ශබ්දකෝෂය හැඳින්වීම මෙතනින් බැලීම සහ භාගත කර ගැනීම කල හැක.

                පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය මුඛබන්ධය

                පිරිසිදු බුද්ධාගම හා පාලිභාෂාව දියුණුව පවත්නා එකම රටය යි උදන් අනන්නන් ඇති මෙලක්දිව්හි මෙපමණ කලත් ගතවී ත් ත්‍රිපිටකය මුද්‍රණය කරගත නොහැකි විය. සියම - බුරුමය - එංගලන්තය යන රටවල පාලිත්‍රිපිටකය මුද්‍රණය වී බොහෝ කලක් ගත විය. ප්‍රාචීන භාෂාශාස්ත්‍රයන්ගේ අභිවෘද්ධිය පතා පිහිටුවාගත් ප්‍රාචීනභාෂොපකාර සමිතියේ වයස අඩ්ඪශතසංවත්සරයක් වූ නමුත් පාඨ පරීක්ෂණ පැවැත්වීම හැර එයින් සිදු වූ ප්‍රාචීන ශාස්ත්‍රාභිවෘද්ධියක් පෙනෙන්නට නැත. අන්‍ය ශාස්ත්‍රීය සමිති මගින් ද පාලි භාෂාවට කෙරුණු සංග්‍රහයක් දකින්නට නැත. වර්තමාන බෞද්ධධ්‍යාපනය නගා සිටුවීමේ පතාකයෝධයා සේ සැකලිකය හැකි ශාස්ත්‍රාචාර්ය පී. ද ඇස්. කුලරත්න මහතාණන්ගේ උත්සාහය නිසා මින් අවුරුදු තිහකට පමණ උඩදී පාලි - සංස්කෘත - සිංහල භාෂාතුන කේම්බ්‍රිජ් ලෝකල් විභාගවලට ගතහැකි විෂයයන් ලෙස ඇතුල් කරන ලදී. මෙහි පාඨශාලීය ශිෂ්‍යයන් පාලි - සංස්කෘත ඉගෙනගන්නට පටන්ගත්තේ ඉන් පසුය.

                       මුලදීම පාඨශාලීය ශිෂ්‍යයන්ට පාලි ඉගැන්වීම ආරම්භ කරන ලද්දේත් ආනන්දමහාවිද්‍යාලයෙහි ය. ඒ කාලයෙ දී මෙය ලයන මමත් තවත් ස්ථවිර කීප නමකුත් ඒ විද්‍යාලයෙහි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ශිෂ්‍යයන්ට සිංහල ඉගැන්වීමේ යෙදී සිටියෙමු. එබැවින් ශිෂ්‍යයන්ට මුලින් ම පාලි ඉගැන්මීමත් අපට බාර විය. එකල්හි පාඨශාලීය ශිෂ්‍යයන්ට පාලි ඉගැන්වීම සඳහා දියයුතු තත්වයේ එකම පොතක් වත් නොවීය. ඒ පාඩුව පිරිමැසීම සඳහා පොතක් සම්පාදනය කළ යුතු යයි එකල ආනන්දවිද්‍යාලයාධිපතිව සිටි කුලරත්න මහතා විසින් උත්සාහවත් කරනු ලැබූ මම “පාලිභාෂාවතරණ” යේ පළමුවෙනි පොත ලියා 1923 දී එයින් පිටපත් දෙදාහක් මුද්‍රණය කරවන ලදී. 1927 දී ඒ පොතේම දෙවෙනි මුද්‍රණය සිදුවිය. 1950 වනවිට පිටපත් ගණන වැඩි කරමින් එය දොළොස් වෙනි වරට මුද්‍රණය කරන්නට සිදුවිය. 1952 දී පළමුවෙන් මුද්‍රිත වූ එහි දෙවෙනි පොත 1950 වනවිට පස්වෙනි වරට මුද්‍රණය විය. 1930 හේදී මුද්‍රිත වූ තෙවෙනි පොත 1948 දී දෙවෙනි වර මුද්‍රණය විය. මේ අතරේදී නොයෙක් පොත් වලින් උපුටා සකස්කළ කියවීම් පොතක් ශිෂ්‍යයන්ට ඕනෑවූ බැවින් 1962 දී “පාලිපාඨාවලී” නැමැති කියවීම් පොත සම්පාදනය කළෙමි. එය දැන් සවෙනි මුද්‍රණයෙහි පවතී. මුලින් ම ඉගනීම පටන්ගන්නා ශිෂ්‍යයන්ට ඒ කියවීම් පොත ගැඹුරු වැඩියයි අවබෝධවූයෙන් “පඨමපාඨාවලී” නැමැති කුඩා පාඩම් පොතක් සකස්කොට දුනිමි. 1948 දී පළමුවර මුද්‍රිත වූ ඒ පොත දෙවෙනි වර ඉංග්‍රීසි තේරුම් සහිතව 1950 දී මුද්‍රිත විය. පාලිභාෂාවතරණ පොත්වල ඇතුළත් නොවූ කරුණු ඇතළත් කොට “පාලිවාක්‍ය විවේචනය” නැමැති පොතක් 1933 දී ද පාලි-සිංහල-ඉංග්‍රීසි තුනෙන් යුතු පාලි කථාවට උපකාර වූ “ත්‍රිභාෂාරත්නාකරය” නැමැති පොතක් 1928 දී ද පළකෙරෙව්වෙමි. “පාලිවාක්‍ය රචනාව” නම් තවත් පොතක් 1947 දී පළවිය.

                       මෙසේ සිංහල දත් අයවිසින් පහසුවෙන් පාලි ඉගෙනීමට උපකාර වන පොත් රැසක් සම්පාදනය කළ අතර සිංහල නොදත් අයට පාලි ඉගෙනීම සඳහා ද පොත් පෙළක් සම්පාදනය කළ යුතුයයි උගත් මහතුන්ගෙන් ආරාධනා ලැබුනෙන් New Pali Course නැමැති පොතක් ලියා 1937 දී පළකෙරෙව්වෙමි. එය දැන් තෙවෙනි මුද්‍රණයට පැමිණ පවතී. 1938 දී මුද්‍රණයට පත් වූ ඒ පොතේ දෙවෙනි කොටස ද දැන් තෙවෙනි වරට පළවී තිබේ. මේ ඉංග්‍රීසි පොත පාලි ඉගෙනගැනීමට දැන් තිබෙන ඉතාම හොඳ පොතයයි ගයිගර් මහපඬිවරයා විසින් ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ. ජේ. තෝමස්, සි. ඒ. ඇෆ්. රය්ස් ඩේවිඩ්ස්, පාලිපොත් සමාගමේ වර්තමාන ලේකම්ධූරය දන අයි. බී. හෝනර් (එම්. ඒ.) මැතිණිය ආදී විදේශීය බොහෝ උගතුන් විසින් පිළිගන්නා ලදී. යුරෝපයේත්, ඇමරිකාවේත් බොහෝ ශිෂ්‍යයන් විසින් එය පරිශීලනය කරනු ලැබේ. මේ පොතේ තෙවෙනි කොටස කොළඹ ඇපොතිකරිස් සමාගම විසින් දැන් මුද්‍රණය කරනු ලබන බව සතුටින් දැනුම් දෙමි.

                       අපරට වැසියන්ගේ පාලි ඉගෙනීම සඳහා උපකාර වන පොත් ලිවීම සඳහා දැන් ඉදිරිපත්ව සිටින්නෝ  බොහෝ දෙනෙකි. එහෙත් පිටරට වැසියන්ට උපකාර කරන්නෝ අල්ප වෙති. පිටරට වැසියන්ගේ පාලි ඉගෙනීමට උපස්තම්භකවීම වඩා වැදගත් බැවින් සංක්ෂිප්ත පාලි-ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සම්පාදනය කළ මම පසුගිය වර්ෂයේ දී එය පළකෙරෙව්වෙමි. ඔවන් සඳහා ඉංග්‍රීසි-පාලි ශබ්දකෝෂයක් ද ලියා අවසන් කොට තිබෙන බව ප්‍රීතියෙන් දැනුම් දෙමි.

                දහස් ගණන් පාලි උගතුන් වසන මෙලක්දිව්හි කුඩාවූ හෝ මහත් වූ හෝ එකම පාලි-සිංහල ශබ්දකෝෂයක් වත් මේතාක් පළනොවීම අපවිසින් අතිශයින් ලජ්ජාවිය යුතු කාරණයකි. ප්‍රාචීනභාෂොපකාර සමිතියට නොයෙක් විට මේ කාරණය ඉදිරිපත් කරනලද නමුත් එයින් කිසි පලක් නොවීය. මහාශබ්දකෝෂයක් සම්පාදනය එක් අයකු විසින් නො කළ හැක්කක් බැවින්  මා විසින් ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මාගේ ශක්ති පමණින් මේ පාලි-සිංහල ශබ්දකෝෂය සම්පාදිතය. ශිෂ්‍යයන්ට පාලි ඉගනීමට උපකාර වන පොත් පෙළට මෙය මුදුන් මල්කඩක් වන්නේ යයි සිතමි. අමාරුවෙන් වත් පොතක් ලිවීම කළහැකි වුවත් විශාල මුදලක් වියදම්කොට පොතක් පළ කරවීම පහසු වැඩක් නොවේ. මෙවැනි ශාස්ත්‍රීය කෘතීන්ගේ වැදගත්කම සලකා ක්‍රියා කරන සභාවක් හෝ ආණ්ඩු ක්‍රමයක් අපට නැත. එබැවින් ස්වකීය වියදමෙන් මේ පොත පළකරවීම ගැන සීමාසහිත ඇම්. ඩී. කුණසේන සහ සමාගමේ මහතුන්ට සියලුදෙන කෘතඥ විය යුතුය.

                මේ පොතේ ලිඞ්ගාදිය හැඳින්වීම සඳහා යොදා තිබෙන ලකුණු මෙසේ යි:-4

                • පු. පුල්ලිඞ්ග
                • ක්‍රි. වි. ක්‍රියාවිශේෂණ
                • ඉ. ඉත්ථිලිඞ්ග
                • පූ. ක්‍රි. පූර්වක්‍රියා
                • න. නපුංසක ලිඞ්ග
                • 3. තුන් ලිඟු ඇති
                • නි. නිපාත

                තුන්ලිඟු ඇති ශබ්දයන් සේ දැක්වූවන් අතරෙහි විශෙෂණ පද ද, කිතකපද ද, තද්ධිතපද ද, සමාසපද ද, සර්වනාමපද ද ඇත්තාහ. එයින් සෙත-රත්ත-අහිරික ආදිය විශෙෂණ පදයි. කරොන්ත-කුරුමාන ආදිය මිශ්‍ර ක්‍රියාපදයයි කියනු ලබන වර්තමානකාලික කිතකපදයි. කත-ගත ආදිය අතීතකාලික කිතකපදයි, කුක්කුරවතික ආදිය සමාදපදයි, මෙධාවී ආදිය තද්ධිතපදයි, ඉංග්‍රීසියෙහි මේ සියල්ල වෙන් කොට දැක්වීමට සංකේත ඇතත අපට තවම එවැනි සංකේතයන් නැති බැවින් ඒ විශේෂයන් දැක්විය නො හැකිවිය.

                පාලියෙහි විශෙෂණ පද ද විශෙෂ්‍යයාගේ ලිඞ්ගය ගන්නා බැවින් ඒ ඒ තැන්හිදී  ඒවාට යෝග්‍ය ලිඞ්ගයන් යොදාගත යුතුය. ගච්ඡන්ත, ගච්ඡමාන දෙක පුංනපුංසක දෙක්හි එසේම සිටිතත් ස්ත්‍රීලිඞ්ගයේදී ගච්ඡන්තී, ගච්ඡමානා යි සිටී. න්ත-මාන-ප්‍රත්‍යයාන්ත සියලු ශබ්දයන් ස්ත්‍රීලිඞ්ගයේදී එසේ සිටින බව සැලකිය යුතු.

                ගුණවන්තු ආදී වන්තු-ප්‍රත්‍යයාන්ත ශබ්දයෝ සත්‍රීලිඞ්ගයේදී ගුණවතී, ගුණවන්තී ආදී වශයෙන් දෙයාකාරයකින් සිටිත්.

                දායක යන තද්ධිතපදයේ ස්ත්‍රීලිඞ්ගය දායිකා යන්නයි. පාචිකා, ආරොචිකා ආදි තවත් එවැනි පද ඇත්තාහ.

                මෙධාවී යන තද්ධිත පදයේ ස්ත්‍රීලිඞ්ගය මෙධාවිනී යන්නයි. වාදී-වාදිනී, කාරී-කාරිනී, දායී-දායිනී, වාසී-වාසිනී ආදී එවැනි තවත් බොහෝ පද ඇති බව සැලකිය යුතු.

                කත්තුං - ගන්තුං ආදී තුං ප්‍රත්‍යයාන්ත ශබ්දයන් වරනගන්නට නොහැකි බැවින් නිපාතකොටසට ඇතුළත් කළෙමි.

                සෙත-රත්ත ආදී සාමාන්‍ය ගුණවචන ස්ත්‍රීලිඞ්ගයේදී සෙතා-රත්තා ආදී වශයෙන් සිටිති. නපුංසකයේදී විභක්තියේ වෙනස මිස ශබ්දයේ වෙනස්වීමක් නැත්තේ ය.

                පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර

                අග්ගාරාමය
                අම්බලන්ගොඩ
                1 මැයි 1950