9-5 පිරිකර තැන තැන දැමූ මහණෙක්

මා’පමඤ්ඤෙථ පාපස්ස න මන්තං ආගමිස්සති

උදබින්‍දුනිපාතෙන උදකුම්භො’පි පූරති

පූරති බාලො පාපස්ස ථොකථොකම්පි ආචිනං.

ඒ ස්වල්පමාත්‍ර වූ අකුශලකර්‍මය මා කරා (විපාක දීම් වශයෙන්) නො එන්නේ යැ යි, අකුශල කර්‍මය ස්වල්ප යැ යි, අවඥා නො කරන්නේ ය. නිතර එකෙකි දිය බිඳක්හුගේ හීමෙන් (වැසී වස්නා අබවසැ විවෘත වූ මුඛ ඇති) කුඹල් බඳුනෙක් යම්සේ ක්‍රමක්‍රමයෙන් පිරී යේ ද, එ පරිද්දෙන් ම මඳ මඳ කොට ද පව් රැස් කරන අඥාන තෙමේ පාපකර්‍මයෙන් (ක්‍රමයෙන්) පිරෙන්නේ ය.

අප බුදුරජුන් දවස, එක් මහණෙක්, ඇඳ - පුටු - ගුදිරි - කොට්ට - මෙට්ට - ඇතිරිලි ආදී වූ පිරිකර, ප්‍රයෝජන ගෙණ ඒ ඒ තැන හැර දම යි. ඒ සියල්ල අව්වෙන් වැස්සෙන් වේයන්ගෙන් මීයන්ගෙන් නැසී ය යි. ඒ දුටු භික්‍ෂූන් වහන්සේලා “ඇවැත! මෙසේ කරන්නෙහි ඇයි? මේ පිරිකර තැන් තැන් වල මෙසේ හැර දැමීමෙන් නැසී යන්නේ නො වේ ද? යම් කිසිවකින් ප්‍රයෝජන ගත්තෙහි නම්, පසු ව එය නො නැසෙන සේ තැන්පත් කළයුතු නො වේ දැ?” යි කීහ.

එ කල්හි ඒ මහණ “ඇවැත්නි! එය එතරම් ලොකු එකෙක් ද, මා කළ එය එතරම් ලොකු එකෙකැ, යි මට නො පෙනේ, ඒවාට හිත් පිත් නැතැ” යි කියමින් දිනපතා ම එසේ ම කරයි. සෙසු මහණෝ, ඔහුගේ ඒ ක්‍රියාව බුදුරජානන් වහන්සේට දන්වා ලූහ. උන්වහන්සේ ඒ අකීකරු මහණ ගෙන්වා “මහණ තෝ ඇඳ - පුටු - කොට්ට - මෙට්ට ප්‍රයෝජනට ගෙණ නැවැත ඒවා නැසී යන ලෙසින් තැන තැන හැර දමන්නෙහි සැබෑ දැ?” යි අසා වදාළ සේක. “ස්වාමීනි! එසේ ය, මා විසින් කරණ ලද ලොකු එකෙක් නො වේ. එය ඉතා සුලු ය, මම ඒ නිසා එසේ කෙළෙමි, ස්වාමීනි! කිම, ඇඳ පුටු ආදියට සිත් පිත් නෑ නො වේ ද, ඒ සිත් පිත් නැති ඇඳ පුටු අතැන මෙතැන දැම්මාට සිදුවන පව කුමක් දැ?” යි ඒ මහණ කීයේ ය.

එවිට බුදුරජානන් වහන්සේ “මහණ! මහණුන්, විසින් නම්, තා කරණ සේ කළ යුතු නො වේ, පව කුඩා ය, මහත් ය, යි නො සැලකිය යුතු ය, පවෙහි කුඩා මහත්බව, සැලකීම වරද ය, වැසි වස්නා වේලෙහි උඩුකුරු කොට එලිමහනෙහි තැබූ කළය එක් විට එක් බින්දුවකින් නො පිරෙයි, නැවැත නැවැත වස්නා කල්හි ගණන් නැති දිය බින්දු වැටීමෙන් පිරෙන්නේ ය, එලෙසින් පව්කරණ මිනිස් තෙමේ කුඩා කුඩා පව් කරන්නේ පිළිවෙළින් එක් තැන් වීමෙන් මහත් පව් රැසක් කරන්නේ වේ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-

මාවමඤ්ඤෙථ [1] පාපස්ස න මන්තං ආගමිස්සති,

උදබින්‍දුනිපාතෙන උදකුම්භො පි පූරති,

පූරති බාලො පාපස්ස ථොකථොකම්පි ආචිනන්ති.

ඒ සුළු පව මා කරා නො එන්නේ, යි පවට අවමන් නො කරන්නේය. නොහොත් පව සුලුය, යි නො සිතන්නේ ය. එක් එක් දිය බින්දුව වැටීමෙන් කළගෙඩිය පිරෙනා සේ මඳ මඳ ව වුවත් පව් රැස් කරණ අඥ තෙමේ පවෙන් පිරී ය යි.

මා අවමඤ්ඤෙථ පාපස්ස = පවට අවමන් නො කරන්නේ ය. නොහොත් පව සුලුය, යි නො සිතන්නේ ය.

න මං තං ආගමිස්සති = ඒ පව මා කරා නො එන්නේ ය.

පාප, යි වදාළෝ සතුන් මැරීම් ආදි පව්කම් ය. “මා විසින් කරණ ලද්දේ ඉතා සුලු පව්කමෙක් ය, මා අතින් කැරුණු ඒ පව්කම ඉතා කුඩා ය, එය මට කවදා විපාක දෙන්නේ ද, එය මට විපාක දීමට අපොහොසත්” යි පවට අවමන් නො කට යුතු ය. පව සුලු, යි නො සිතිය යුතු ය, යි වදාළ සේ ය මේ.

උදබින්‍දුනිපාතෙන උදකුම්භො අපි පූරති = එක් එක් දියබින්දුව වැටීමෙන් කළය ද පිරෙයි.

පූරති බාලා පාපස්ස = අඥ තෙමේ පවෙන් පිරෙයි.

ථොකථොකං අපි ආචිනං = මඳ මඳ ව වුවත් පව් රැස් කරණ.

වැසි වස්නා වේලේ උඩුකුරු කොට තැබූ හළ මුව ඇති කළ වළන් ආදී කුඹල්බඳුනක් එක් එක් දිය බිඳ වැටීමෙන් ක්‍රමයෙන් පිරී යන්නා සේ නුවණ නැති මිනිස් තෙමේ ටික ටික වූවත් පව් රැස් කරන්නේ, පවෙන් පිරී ගණි යි. එහෙයින් සුලු පව වුවත් නො කට යුතු ය, යි වදාළ සේක.

උදකුම්භ නම්, දිය ගන්නා කළය යි. දිය ගන්නා හැළි වළන් ඈ අන් කුලල්බඳුන් ද මෙහි ඇතුළත් ය. උදකකුම්භ, යි තුබූ තැන්හි ‘ උදක’ ශබ්දයට ‘ උද’ ආදේශ වීමෙන් ‘ උදකුම්භ’ වි ය. ඇතැම් කෙනෙක් ‘උද’ යනු ආදේශයකැ, යි නො ගෙණ ‘උද’ ශබ්ද යි ගණිත්.

දියෙන් පුරණු ලබන්නේ කුම්භ නම්. ‘කෙන ජලෙන උම්භීයති පූරීයතීති = කුම්භො’ යනු නිරුක්ති යි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. බුදුරජානන් වහන්සේ ද එළිමහන්හි යහනක් පනවා වැඩ හිඳ “ඇඳ පුටු ආදිය තැන් පත් නො කෙළේ, වරදට පැමිණේ ය” යි ශික්‍ෂාපදයක් පැනවූ සේක,

අසංයතභික්‍ෂු වස්තුව නිමි.

  1. ‘මාප්පමඤ්ඤෙථ’ යනු බොහෝ පොත්හි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.