යො ච වස්සසතං ජීවෙ අපස්සං අමතං පදං
එකාහං ජීවිතං සෙය්‍යො පස්සතො අමතං පදං.
මරණරහිත පදය (හෙවත් අමෘත මහානිර්‍වාණය) නොදක්නාවූ යම් පුද්ගලයෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) අමා මහනිවන නුවණැසින් දක්නා පුගුලාගේ එක් දවසෙක ජීවත් වීම උතුමි.
එදා සැවැත්නුවර සිටුගෙයක රැස් කොට තුබූ සතළිස් කෙළක් ධනය නිකමට අඟුරු වී ගියේ ය. සිටු තෙමේ ඒ දැක මහත් ශෝකයෙන් කිසිවකුත් නොකා, ඇඳට නැඟී නිදා ගත්තේය. මේ බව ඇසූ ඔහුගේ යහළුවෙක් වහා එහි ගොස් ඇඳට ලං වී, “යහළුව! මේ ගැණ කණගාටු නො වන්න, ඔකත් මහ කජ්ජක් ද, මම එයට උපායයක් කියන්නම්, ඒ කරන්නැ” යි කී ය. සිටු “ඒ කිමැ” යි ඇසූ කල්හි, “තමුසේ කඩපිළෙහි පැදුරක් එලා, ඒ අඟුරු ගෙණවුත් එහි ගොඩ ගසා තබා, අඟුරු විකුණන්නකු සේ එතැන ඉන්න, එහි ආ යම් කෙනෙක් රටේ අන් මිනිස්සු විකුණනෝ රෙදි තෙල් මී උක් හකුරු දුරු මිරිස් ලූණු ලුනු පොල් දෙල් කොස් ආදිය හා පිළියෙල කළ කෑම් බීම් ය, තමුසේ අඟුරු විකුණන්නහු ය, යි කියත් ද, එවිට ඔවුන්ට තමන් අත තිබෙන දේ හැර අන් කුමක් විකුණම් දැ, යි කියන්න, යමෙක් පැමිණ, වෙන මිනිස්සු රෙදි තෙල් මී ආදිය විකුණති, තමුසේ රන්රිදී විකුණන්නහු, යි කියා ද, එවිට රන් රිදී කොහි දැ යි ඔහුගෙන් අසන්න, මේ තිබෙන්නේ රන් රිදී නො වේ දැ, යි කී කල්හි, එය ගෙණෙන් නැ, යි ඔහු ලවා ම ගෙන්වා ගෙණ, අතින් ගන්න, මෙසේ දෙන ලද තාගේ අතේ දී රන්රිදී වූයේ නම්, ඒ දුන් තැනැත්තිය තරුණියක් නම්, ඇය තමුසේගේ පුතුට අඹු කොට දී, සතළිස් කෙළක් පමණ වූ මේ ධනයත් ඇයට පාවා දෙන්න, ඇය දුන් දෙයකින් ඔබත් ප්‍රයෝජන ගන්න, නැත, දුන් තැනැත්තා තරුණයෙක් නම්, තමුසේගේ දුව ඔහුට අඹු කොට දෙන්න, මේ මුදලුත් ඔහුට පාවා දී, ඔහු දෙන දෙයකින් ඔබත් දිවි ගෙවන්නැ” යි යහළු මිනිසා කීයේ ය.
සිටු තෙමේ “යහපතැ” යි තම කඩපිළට ඒ අඟුරු ගෙන්වා යාළුවා කී ලෙසට ගොඩ ගසා තබා, තමාත් අඟුරු විකුන්නණකු සේ එ තැන වාඩි වී හුන්නේ ය. යම් කෙනකු එහි පැමිණ, “රටේ මිනිස්සු රෙදි තෙල් ආදිය විකුණති, තමුසේ අඟුරු විකුණන්නහු ය, මොකද මේ” යි ඇසූ විට, “මා ලඟ තිබෙන දෙය නො විකුණා වෙන කුමක් විකුණම් දැ” යි සිටු තෙමේ අසන්නේ ය. මේ වේලෙහි කෙට්ටු සිරුරක් ඇති බැවින් කිසාගෝතමී යි ප්‍රසිද්ධ වූ එක් දුප්පත් තරුණියක් කඩපිළට ගියා, අඟුරුගොඩ ලඟ හුන් සිටානන් දැක, “පියේ! මොකද මේ, වෙන අය රෙදි තෙල් ආදිය විකුණත්, ඔබ විකුණන්නහු රන්රිදී ය, මොකද මේ” යි ඇසූ ය. “කෝ, දුව රන්රිදී” යි සිටු විචාළේ ය. “පියානෙනි! ඔබ රන්රිදී, ලඟ තබා ගෙණ, රන්රිදී කොයි දැ යි මගෙන් අසන්නහු ය, මේ මහාපුදුමයෙකැ” යි ඕතොමෝ කිවූ ය. “දුව! එසේ නම් රන්රිදී ගෙණෙන්නැ” යි සිටානන් කී කල්හි ඈ අත පුරා රන්රිදී ගෙණවුත් සිටානන්ගේ අත තැබූ ය. ඒ තැබූ සියල්ල ම රන්රිදී විය. සිටු තෙමේ “තීගේ ගෙදර කොහි දැ” යි ඇසී ය. “අසවල් තැනැ” යි ඕ පිළිතුරු දුන්නී ය. ඇයගේ ඒ පිළිතුරෙන් ම සිටු තෙමේ ඇය දීග නො ගිය බව දැන, ධනය තැන්පත් කොට තබා, ඇයගේ ගෙට ගොස් තම පුතුට ඇය අඹු කොට දෙන්නට, දෙමවුපියන් හා කතා කොට නියම කර ගත්තේ, නියම දිනයෙහි ඇය තම පුතුට අඹු කොට දී සතළිස් කෙළක් ධනයත් ඇයට භාර කෙළේ ය.
ඉන් ටික දවසකට පසු, ඇයගේ කුසෙහි දරුගැබෙක් හට ගත්තේ ය. දස මසක් ගෙවා ඕ තොමෝ පුතකු වැදූ ය. යන්තමට පය ඔසොවන්නට හැකිවත් ම දරු තෙමේ කලුරිය කළේ ය. ගෞතමිය, මින් පෙර කවදාත් මළ එකකු නො දුටු බැවින් මළකුණ දවන්නට ගෙණ යන්නවුන් වළකා, “මාගේ පුතුට බෙහෙතක් අසා දැන කරමි” යි මළසිරුර අකැයෙහි රුවා ගෙණ “මාගේ පුතුට බෙහෙතක් කරන්නට දන්නෝ වෙත් දැ” යි අසමින් ගෙයක් ගානේ ඇවිදින්නට වූ ය. එවිට මිනිස්සු “දුව! මළපුතුට බෙහෙත් අසමින් ඇවිදින්නී පිස්සු දැ” යි ඇසූහ. එහෙත් මළ පුතුට බෙහෙත් කරන්නට වෙදකු සොයා ගණිමි යි ඕ රට ගම පුරා ඇවිද්දා ය. එකල උගත් මිනිසෙක් ඇය දැක “මේ මළදරු මැයගේ කුලුඳුළේ පුතු විය යුතු ය, මෙයට පෙර මෑ මළවුන් නො දුටුවා ද විය හැකි ය, ඒ නිසා මෑට මා පිහිට විය යුතු ය” යි “දුව! මම නම් බෙහෙත් නො දනිමි, වෙදෙක් නො වෙමි, එහෙත් වෙදකු ගැණ මම දනිමි, වුවමනා නම් කිය හැකි” යි කීයේ ය.
එවිට ගෞතමී තොමෝ, “කවුද ඒ, කො තැන ද ඉන්නේ ?” යි ඇසූ ය. “දුව! බුදුරජානන් වහන්සේ ඒ වෙදා, උන්වහන්සේ වෙත ගොස් බෙහෙත් අසා ගන්නැ” යි ඒ උගත් පුරුෂ තෙමේ කී ය. “හොඳ යි, පින් සිදු වේවා, මම එහි ගොස් බෙහෙතක් අසා ගණිමි” යි බුදුරජුන් වෙත ගොස් වැඳ පසෙකට වී, “ස්වාමීනි! බුදුරජානන් වහන්සේ මාගේ පුතුට බෙහෙතක් කියන්නට දන්නා සේක් දැ?” යි ඇසූවිට, උන්වහන්සේ, “ඔව් දනිමි” යි වදාළ සේක. “එයට වුවමනා කුමක් දැ” යි ඕ ඇසූය. යමකුගේ ගෙයි මෙයට පෙර කවදාත් පුතෙක් නො මළේ ද, දුවක් නො මළා ද, එබඳු දූ පුතුන් නො මළ ගෙයකින් ඇඟිලි තුඩු දෙකට ගත හැකි පමණ අබටිකක් සොයා ගෙණෙව” යි වදාළ සේක.
“හොඳ යි! ස්වාමීනි! මම සොයා ගෙන එමි” යි බුදුරජුන් වැඳ පුතුන් ගෙණ එතැනින් නික්ම ගමට ගොස් ගෙයක දොරකඩ සිට “මාගේ පුතුට බෙහෙතක් පිණිස අබ ටිකක් ගන්නට තිබේ දැ” යි ඇසූ ය. ගෙදර අය “තිබේ ය” යි අබ ගෙණවුත් දෙන විට, “මේ ගෙයි මෙයට, පෙර දූ පුත් ආදි කෙනෙක් මළෝ දැ” යි ඇසූ ය, “දුව! කුමක් කියහිව ජීවත් වන්නෝ ටික දෙනෙක් ම ය, මළාහු ම බොහෝ ය” යි ගෙයි වැස්සෝ කීහ. “හා! එහෙම ද, එසේ නම් මේ අබ වුවමනා නැත, මෙන්න! අරගෙණ තබන්න, මේ අබ බෙහෙතට නො සුදුසු ය” යි පෙරළා දුන්නී ය.
ඈ මේ ලෙසින් මුල සිට ගෙයක් ගානේ යමින් අබ සොයමින් මුළු ගමෙහි ම ඇවිද්දා ය. නො මළ ගෙයක් සොයා ගත නො හැකි ව අබ නො ගෙණ සවස “අනේ? මේ මොන පුදුමයෙක් ද, සිතූයේ මාගේ පුතු පමණක් ම මළේ ය කියා ය, ගමේ හැම ගෙයක ම ජීවත් වන්නන්ට වඩා මළ අය ම ඉතා බොහෝ ය” යි සිතීමෙන් පුත්‍රස්නේහයෙන් මොළොක් ව තුබූ ඇයගේ සිත තදබද ව ගියේ ය. එකල ඕ තොමෝ පුතු කැලයෙහි දමා බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියා ය. බුදුරජානන් වහන්සේ “අබ ගෙණාවාදැ” යි ඇයගෙන් ඇසූහ. “ස්වාමීනි! නො ගෙණාවෙමි, මුළු ගම ඇවිද සොයා බැලීමි, එහි ජීවත් ව සිටින්නන්ට වඩා මළ අය ම ඉතා බොහෝ ය” යි ඕ තොමෝ කිවූය. “තී මෙතෙක් මාගේ පුතු ම මළේ ය යි සිතූයෙහි ය, ඒ වැරදි ය, මරණය සියලු දෙනාට සාධාරණ ය, මාර තෙමේ මිනිසුන්ගේ අදහස් සම්පූර්‍ණ වන්නට පෙරාතුව ම ඔවුන් මහත් සැඩපහරක් සේ ඇද ගෙණ යන්නේ ම බොහෝ සෙයින් අපාය නැමැති සමුද්‍රයෙහි හෙලන්නේය” යි වදාරා,
“තං පුත්තපසුසම්මන්තං ඛ්‍යාසත්තමනසං නරං,
සුත්තං ගාමං මහාඝොව මච්චු ආදාය ගච්ඡති”
යන මේ ගාථාව වදාළ සේක. පුත් ගොන් මීමුන් ආදීන් නිසා මත් වූ රන් රිදී ආදියෙහි හා රූපාදිපංචකාමයෙහි ඇලුනු සිත් ඇති මිනිසා නිදිගත් ගම්වැසි මිනිසුන් මුහුදට ඇද ගෙන යන මහත් සැඩපහරක් සේ මාර තෙමේ ඇද ගෙන යන්නේ ය.
මේ දේශනාවසානයෙහි ගෞතමී තොමෝ සෝවන් වූවා ය. අන් බොහෝ දෙන ද එහිදී තම තම නැණ පමණින් සෝවන් පලායදිට පැමිණියහ. සෝවන් පලයට පැමිණි ගෞතමී තොමෝ බුදුරජුන්ගෙන් මහණකම ඉල්ලූ ය. බුදුරජානන් වහන්සේ ඇය මෙහෙණවරට යවා පැවිදි කරවූ සේක. ලැබූ උපසම්පදා ද ඇති ඕ තොමෝ ‘කෘශාගෞතමීස්ථවිරා’ යි ප්‍රසිද්ධ වූ ය.
වත් කිරීමෙහි වාරය පැමිණ තිබූ බැවින් දිනක පොහොය ගෙයි පහන් දල්වමින් සිටි ගෞතමී ස්ථවිරා තොමෝ පහන් දැල්ල ඉපිද ඉපිද බිඳි බිඳී යනු දැක “සියලු සත්ත්‍වයෝ ම මෙපරිද්දෙන් ඉපිද ඉපිද මැරි මැරී යන්නෝ ය, නිවනට පැමිණියෝ ම එසේ නො වන්නාහ, එබන්දන්ගේ මෙබඳු විප්‍රකාරයෙක් නො පෙනේ ය” යි අරමුණු ගත්තා ය. බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩ හුන් සේක් ම ආලෝකයක් පතුරුවා ඇය ඉදිරියෙහි වැඩ හිඳ කියන්නහු සේ “ඔව් ගෞතමි! ඒ එසේ ය, තීගේ කල්පනාව නිවරද ය, මේ සියලු සත්ත්‍වයෝ පහන් දැල්ල සේ ඉපිද බිඳී යති, නිවනට පැමිණියේ ම එසේ නො ඉපැදෙති, නො බිඳෙති, ස්ථිරවූවෝ ඔවුහු ම ය, නො වෙනස් වන්නෝ ය, සන්සිඳී ගියෝ ය, එබැවින් නිවන් නො දැක අවුරුදු සියයක් ජීවත් වීමට වඩා නිවන් දැක ක්‍ෂණමාත්‍රයක් ජීවත් වීම ම ශ්‍රේෂ්ඨ වේ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
යො ච වස්සසතං ජීවෙ අපස්සං අමතං පදං,
එකාහං ජීවිතං සෙය්‍යො පස්සතො අමතං පදන්ති.
අමාමහ නිවන නො දක්නා වූ යමෙක් අවුරුදු සියයක් ජීවත් වන්නේ නමුත් (එයට වඩා) අමාමහ නිවන දක්නහුගේ එක් දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ වේ.
යො ච වස්සසතං ජීවෙ = යමෙක් අවුරුදු සියයක් ජීවත් වන්නේ නමුත්.
අපස්සං අමතං පදං = අමාමහ නිවන නො දක්නා වූ. අමාමහ නිවන නො දක්නේ.
නිවන දැක්ක යුත්තේ මගපල නුවණින් ය. මගපල නුවණට ම නිවන ප්‍රත්‍යක්‍ෂ වන්නේ ය. නිවන මරණින් මිදීමට කරුණු වන බැවින් පංචස්කන්‍ධ දුඃඛය සහමුලින් නැති කිරීමෙන් ලැබිය යුතු බැවින් අමෘතපද නම්. ‘මරණ නැති කොටස’ යන අරුතෙක් ද මින් කිය වේ. සෝතාපත්තිමග්ගඤාණය පටන් අරහත්තඵලඤාණය තෙක් ඇති මග්ගඵලඤාණයන්ගෙන් නිවන දැක්ක හැකි ය. එහෙත් ඒ එක් තරමින් නො දැක්ක හැකි ය. පිළිවෙළින් උපරිම උපරිම ඥානයන්ගෙන් කෙරෙන නිර්‍වාණ දර්‍ශනය වඩ වඩා පැහැදිලි ය. වඩ වඩා පෙනෙන්නේ ය. ක්‍රම ක්‍රමයෙන් මාර්‍ගඥානයන්ගෙන් ඒ ඒ කෙලෙස් තට්ටුවෙන් තට්ටුව නැසී යන බැවිනි එසේ වන්නේ. [1]
එකාහං ජීවිතං සෙය්‍යො = එක් දවසක් ජීවත්වීම උතුම් වේ.
පස්සතො අමතං පදං = අමාමහනිවන දක්නහුගේ. මාර්‍ගඥානයන්ගෙන් නිවන දන්නහුගේ.
නිවන මගපලනුවණින් නො දක්නහුගේ අවුරුදු සියයක් ජිවත් වීමට වඩා මගපල නුවණින් නිවන දක්නහුගේ එක් දවසක් ජීවත්වීම උතුම් ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි කිසාගෝතමී තොමෝ හුන් සැටියෙන් ම පිළිසැඹියාවන් ලබා රහත් වූ ය.
කෘශාගෞතමී වස්තුව නිමි.
2-1 ‘අමතපදං’ යනු බලනු. ↑