යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලොකෙ
සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙක්ඛො
සබ්බම්පි තං න චතුභාගමෙති
අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යා.
මේ සත්ලොවෙහි පින්කිරීමෙහි අපේක්‍ෂා ඇති පුරුෂ තෙම (මඟුල් දවස් ආදියෙහි දිය යුතු) කිසි යම් කුඩා දානවස්තුවක් හෝ (කම්පල අදහා සකස් කොට සරහා දෙන ලද අමුතු මහ දනක් හෝ) හවුරුද්දක් මුළුල්ලෙහි (මුළු සක්වළැ ලොවී මහජනයාහට නිරතුරු) දුන්නේ ද, ඒ සියලු දානය ම (ආර්‍ය්‍යයන් කෙරෙහි පහන් සිතින් කය නමා වඳනාහුගේ එක් වටෙක පැවැති කුශලචේතනාව) සතර භාගයක් කළ කල එයින් එක් භාගයකුදු නො අගනේ ය. එ හෙයින් (කයවඞ්කාදි රහිත හෙයින්) ඍජු බවට පැමිණි ආර්‍ය්‍යයනට කය නමා කළ වන්‍දනාව ම උත්තම යි.
දිනක් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තම යහළුවකු හමු වන්නට ඔහු ඉන්නා තැනට වැඩියහ. හෙතෙමේ තෙරුන් දැක, ඉදිරියට ගොස්, සතුටින් පිළිගෙණ, වඩා හිඳුවා සත්කාර කෙළේය. ස්ථවිරයන් වහන්සේ ඔහු හා පිළිසඳර කතාවට බැස, “කුමක් කරන්නෙහි ද” යි ඇසූහ. “ස්වාමීනි! මම යිට්ඨ නම් දානය දෙමි” යි කී ය. එවිට ස්ථවිරයන් වහන්සේ බමුණාත් කැටුව බුදුරජුන් වෙත ගොස්, “ස්වාමීනි! මේ බමුණු මාගේ යහළුවෙක, මොහු බඹ ලොව උපදින්නට සිතා යිට්ඨ නම් දානයක් පවත්ව යි, බඹලොව උපදින්නට ලොකු ආසාවක් මොහුට තිබේ, එහෙයින් මොහුට එහි උපදින්නට මග වදාරනු මැනැවැ” යි දන්වා සිටියහ. එවිට බුදුරජානන් වහන්සේ, “බ්‍රාහ්මණ! බඹලොව උපදින්නට සිතා තා විසින් අවුරුද්දක් මුළුල්ලෙහි ලොකීයමහාජනයාට දන් දී තිබේ, ඒ තාගේ දානය, පහන් සිතින් මාගේ ශ්‍රාවකයකු වඳින්නකුගේ සිතෙහි උපදින කුශල චේතනාව සතරට බෙදූ කල ඉන් ලැබෙන එක් කොටස පමණත් නො අගනේ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-
යං කිඤ්චි යිට්ඨං ව හුතංව ලොකෙ
සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙක්ඛා,
සබ්බම්පි තං න චතුභාගමෙති
අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යාති.
මේ සත්ත්‍වලෝකයෙහි පින් කැමැත්තෙක් යම්කිසි කුඩා දනක් හෝ අමුතු මහදනක් හෝ අවුරුද්දක් මුළුල්ලෙහි දුන්නේ නමුත්, ඒ හැම දනක් ම (ආර්‍ය්‍යයකු වඳින්නකුට උපදින කුශල චේතනාව පිළිබඳ) සතරෙන් එක් කොටසටත් නො පැමිණේ. ඍජු බවට පැමිණියවුන් කෙරෙහි කෙරෙණ වන්‍දනාවම (එයට වඩා හැම අතකින්) ශ්‍රේෂ්ඨ වේ.
‘යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලොකෙ’ = සත්ත්‍වලෝකයෙහි යම් කිසි කුඩා දනක් හෝ අමුතු මහදනක් හෝ.
‘යං කිඤ්චි යිට්ඨං ව’ යනු වදාළෝ ලෝකීය මහාජනයා අත ඇති හැම දනක් ම නො හැර ගැණීමට ය. ‘අනවසෙසපරියා දානවචනමෙතං’ යනු අටුවා ය. යිට්ඨ නම්, බොහෝ සෙයින් මඞ්ගල අවස්ථාවන්හි මිනිසුන් විසින් දෙන දන් ය. ‘යිට්ඨන්ති යෙභුය්‍යෙන මඞ්ගලකිරියදිවසෙසු දින්නදානං’ යනු අටුවා ය. ගෙපල්තැනීම - බිමකෙටීම - මුල්ගල්තැබීම - උළුවහු තැබීම - ගෙවැදීම - වැඩිවිය පැමිණීම - ආවාහ - විවාහ - දරු ඉපැදුම - නම් තැබීම - සිළු තැබීම - රෙදිඇඟලෑම - එලියට වැඩීම - පූනනුල් දැමීම - කන් විදීම - හිස තෙමීම - බත්කැවීම - හිස පීරීම යනාදි මේ ක්‍රියා ලෝකීය මහාජනයා විසින් මඞ්ගල යි සම්මත කොට ඇත්තේ ය. ලෝකීයයන් විසින් මඞ්ගල යි සම්මත කොට ගත් තවත් නොයෙක් ක්‍රියාවෝ වෙති. ඒ ඒ ජාතීන් විසින් ස්වජාතිකත්‍වය අනුව මඞ්ගල යි සම්මත කොට ගත් මඞ්ගල ක්‍රියාවෝ, ඒ ඒ ජාතීන්ගේ වසයෙන් වෙනස් වූවෝ ද වෙති.
යිට්ඨං යනු, සමහර තැනෙක මහාදානයෙහි ද වැටේ. ‘යිට්ඨන්ති මහායාගො, සබ්බසාධාරණං මහායාගන්ති අත්‍ථො’ යනු ආචාර්‍ය්‍යවචන යි.
මෙහි හුත නම්, සකස් කොට දුන් පාහුන නම් දානය යි. කර්‍මකර්‍මඵල අදහා දුන් දානයත් මේ නමින් කිය වේ. ‘හුතන්ති අභිසඞ්ඛරිත්‍වා කතං පාහුනදානං ච කම්මං ච ඵලං ච සද්දහිත්‍වා කතදානං ච’ යනු අටුවා ය. මෙහි පාහුනදානැ, යි කීයේ දිශාවිදිශාවන්හි සිට පැමිණි ප්‍රියමනාප වූ නෑ මිතුරන් සඳහා මහත් සත්කාරයෙන් යුක්ත කොට පිළියෙල කළ ආගන්තුක දානය යි. ‘පාහුනං වුච්චති දිසාවිදිසතො ආගතානං පිය මනාපානං ඤාතිමිත්තානං අත්‍ථාය සක්කාරෙන පටියත්ත ආගන්තුකදානං’ යනු අටුවා ය.
පුරාණව්‍යාඛ්‍යාවෙහි ‘කර්‍මඵල අදහා සකස් කොට සරහා දෙන ලද අමුතු මහදනක්’ යි හුතං යන්න සිංහලට නැගුනේ ය. එහෙත් අටුවාව පාහුනකසඞ්ඛ්‍යාත ආගන්තුකදානය, කර්‍මඵල අදහා දෙන දානය, යි දාන දෙකක් කොට කියයි. ව යනු, වා යන හ්‍රස්ව වූ තැන ය.
ලොක නම්, සත්ත්‍වලෝකය යි. අවිශේෂයෙන් එසේ කියූව ද දාන සීල භාවනාදී පින්කම් කරණ සත්ත්‍වලෝකය ම මින් ගැණේ.
සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙක්ඛො = පින් කැමැත්තෙක් අවුරුද්දක් මුළුල්ලෙහි (දන්) දුන්නේ (නමුත්)
එක් අවුරුද්දක් මුළුල්ලෙහි පින් කැමැත්තෙක් මුළු සක්වළ දන්හල් පිහිටුවා ලෝකීයමහජනයාහට කඩ නොකොට අතර නො තබා දන් දුන් නමුත්. මෙන්න පාළිය මෙහි:- ‘එකං සංවච්ඡරං නිරන්තරං එව වුත්තප්පකාරං දානං සකලචක්කවාළෙපි ලෝකීයමහාජනස්ස දදෙය්‍ය’ යනු.
යම් කාලපරිච්ඡේදයක් ෂට්ඍතුන්ගෙන් පිරිසිඳේ නම්, ඒ කාලය, සංවච්ඡර, යි කියනු ලැබේ. ‘සංවසන්ති එත්‍ථාති = සංවච්ඡරො, සංවසන්ති ඍතවොත්‍රෙති = සංවත්සරඃ’ යනු නිරුක්ති යි.
සබ්බං අපි තං න චතුභාගං එති = ඒ සියලු දානය ම සතරෙන් කොටසටත් නො එයි.
ඍජු බවට ගිය සෝතාපන්නාදී ආර්‍ය්‍යයන් කෙරෙහි පහන් සිතින් වන්‍දනා කරන්නහුගේ සිතෙහි හට ගන්නා කුශල චේතනාව කොටස් සතරකට බෙදූ කල්හි එහි එක් කොටසක් හා ද සම කළ නො හැකි ය. එක් අවුරුද්දක් මුළුල්ලෙහි පින් කැමැත්තකු විසින් මුළු සක්වළ දන්හල් පිහිටුවා ලෝකීයමහජනයාහට කඩ නො කොට අතර නො තබා දෙන දන.
අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යො = ඍජු වූවන් කෙරෙහි (කරණ) වන්‍දනාව ම ශ්‍රේෂ්ඨ වේ.
යටත් පිරිසෙයින් සෝතාපන්නයකු කෙරෙහි ද උඩත් පිරිසෙයින් ක්‍ෂීණාස්‍රවයකු කෙරෙහි ද, පහන් සිතින් සිරුර නමා නමස්කාර කරන්නහුට එක් විටෙක උදිපන කුශල චේතනාව පිළිබඳ ඵලය, සතරට බෙදා ලැබෙන එක් කොටස ම, ලෞකික මහාජනයාහට දෙන හැම දානයට ම වඩා ඉතා මහත් ය. ශ්‍රේෂඨ ය. ආර්‍ය්‍යයකු වැඳීමෙහි දී ඒ වඳින්නහුගේ සිත්හි හට ගන්නා කුශලචේතනාවෙහි සතරෙන් පංගුවකටත් ලං නො විය. හැකි ය, ලෞකිකයනට දන් දීමේ දී දෙන්නහුන්ගේ සිතෙහි හට ගන්නා දාන චේතනාවට. ආර්‍ය්‍යයන් කෙරෙහි වූ නමස්කාර චේතනාමාත්‍රය ම ඉතා මහත් ය. එහෙයිනි ඍජුවූවන් කෙරෙහි කරණ වන්‍දනාව ම ශ්‍රේෂඨ ය, යි වදාළෝ.
අභිවාදනා නම්, වැඳිය යුත්තෙක් යම් දිසාවෙක වෙසේ නම්, ඒ දිසාවට මූණ ලා සතර ඉරියව්වෙන් ම කරණ නමස්කාරය යි.
“ගරුට්ඨානීයං දිස්වා අභිවාදනකරණං අභිවාදනං නාම, යස්මිං වා දිසාභාගෙ සො වසති ඉරියාපථෙ කප්පෙන්තො අභිමුඛොව වන්‍දිත්‍වා ගච්ඡති වන්‍දිත්‍වා තිට්ඨති වන්‍දිත්‍වා නිසීදති වන්‍දිත්‍වා නිපජ්ජති ඉදං අභිවාදනං නාම” යනු ටීකා ය.
කායික - වාචසික - මානසික යි නමස්කාරය තෙපරිදිය. නැවැත ඒ එකෙක් එකෙක් ම උත්තම - මද්ධ්‍යම - අධම වශයෙන් තුන් තුන් පරිදි වේ.
එහි අත්පා දිගු කොට දඬුකඩක් සේ බිම වැතිර දෙ දණින් බිම ගොස් හිස බිම තබා කරණ නමස්කාරය, උත්තමකායික නමස්කාරය වේ. දෙ දණ හා හිස බිම තබා කරණ නමස්කාරය කායිකමද්ධ්‍යම නමස්කාරය වේ. දොහොත් මුදුන් දී දණ හා හිස බිම තබා කරණ නමස්කාරය, කායිකඅධම නමස්කාරය ය.
තමන් විසින් භක්තියෙන් යුක්ත ව රචනා කළ ගයකින් හෝ පද්‍යයකින් කරණ නමස්කාරය, උත්තමවාචසිකය වේ. තුණුරුවන් ගුණ ඇසුරු කොට ගෙතුනු ගාථාදි යමකින් කරණ නමස්කාරය, මද්ධ්‍යමවාචසිකය වේ. සියබසින් ගුණ කියා කරණ නමස්කාරය, අධමවාචසිකය වේ.
මානසිකනමස්කාරය, සිතෙහි පහළ වන ශ්‍රද්ධාදිගුණයන්ගේ මහත්තරභාවය නිසා උත්තමමානසිකය වන්නේ ය. ඒ ම මහත්තර භාවයෙන් මද්ධ්‍යම වන්නේ ය. මහත් භාවයෙන් අධම වන්නේ ය. දෙපතුල් සම ව බිම පිහිටුවා දෙ අත්ල සම ව නළල මැද තබා වැඳියයුත්තහුට මූණ දී නැමී සිට වැඳීම, දෙ පතුල් සම ව බිම තබා දෙදෙණ මඩල සම ව ඔසොවා වැලමිටි දෙක එමත තබා දෙඅතුල සම ව එකතු කොට කරපුටය නළලෙහි තබා වැඳී ම, දෙදණ මඩුලු දෙ වැලමිට හිස යන පස් අඟ බිම පිහිටුවා වැඳීම, දෙ අත්ලෙන් වඳිනු ලබන්නහුගේ පා පිරිමදිමින් වැඳීම, දරදණ්ඩක් සේ බිම වැටී වැඳීම යන මේ ද මේ නමස්කාර විෂයෙහි ලා උගත යුතු ය.
එක් දවසෙක බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ විසූහ. ඒ දවස උන්වහන්සේ අලුයම ලොව බලා වදාළ සේක් එ නුවර ම සැඬොල් ගෙයක හුන් ආයු ගෙවීගිය සැඩොල් ජර මැහැල්ලක දුටු සේක. ඇය අද හෙට ම මැරී ගොස් නිරයෙහි උපදින බව ද දුටහ. කරුණාසාගර වූ බුදුරජානන් වහන්සේ ඇය ලවා පින්කමක් කරවා, ඇය දෙව්ලොවට යවන්නෙමි, යි සිතා භික්‍ෂූන් වහන්සේලාත් පිරිවරා ගෙණ නුවර පිඬු සිඟා වැඩි සේක.
එ වේලෙහි සැඬොල් මැහැල්ල හැරමිටි වාරුවෙන් නුවරින් පිටතට යන්නී, බුදුරජුන් දැක මූණ ලා සිටියා ය. බුදුරජානන් වහන්සේ ද ඇයගේ ගමන් වළකන්නට සේ ඉදිරියෙහි වැඩ සිටියහ. එවිට මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ බුදුරජුන්ගේ අදහස දැන බුදුරජුන්ට වඳින්නට.
‘සැඩොලිය! බුදුරජුන් - පා වැඳ ගණුව සතුටින්,
තට මහකුළුණු සිත් - දක්වා සිටිති එතුමෝ.
හැම තැන එකහැටි - රහතුන් කෙරෙහි සියසිත,
පහදා වහා බැඳදිලි - වඳුව තගෙ දිවි ටිකෙකි’ යි
සැඬොලිය මෙහෙයූහ. ඇය ද ඒ අසා සංවේග ඇත්තී බුදුරජුන් කෙරෙහි සිත පහදා පසඟ පිහිටුවා වැඳ, එකඟ වූ සිත් ඇති ව නැවැතත් දොහොත් මුදුනෙහි තබා වඳිමින් සිටියා ය. බුදුරජානන් වහන්සේ “මේ මෑට දෙව්ලොව ඉපදීමට පමණැ” යි නුවරට වැඩි සේක. ඉන් ටික වේලාවකට පසු බියෙන් තැති ගත් තරුණ දෙනක විසින් පහර දෙනු ලැබූ ඕතොමෝ මරණයට පැමිණයා, දෙව්ලොව උපන්නී දහසක් දෙවඟනන් පිරිවර කොට ඇත්තී වූ ය. .
වන්‍දනාමයකුශලකර්‍මය, අපායොත්පත්තිකර අකුශලකර්‍මය යට පත් කොට සැඬොලිය දෙව්ලොව උපදවා ඇයට මහත් සැපතක් සිදුකර දුන්බව මෙයින් පෙන්.
කායවඞ්කාදී වූ හැම වක්කමක් ම නැති කොට සිටි බැවින් කායාදිද්වාරත්‍රයයෙහි කිසිත් ඇදපලුද්දක් නැති මුළුමනින් පිරිසිදු ආර්‍ය්‍යයන් වහන්සේ, උජ්ජුගත නම් වෙති.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ බ්‍රාහ්මණ තෙමේ සෝවන් වි ය. අනික් බොහෝ දෙනා ද සෝවන් ඵලාදියට පැමිණියාහ.
ශාරිපුත්‍රස්ථවිර සහායක බ්‍රාහ්මණ වස්තුව නිමි.