යථාපි රහදො ගම්භීරො විප්පසන්නො අනාවිලො
එවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා.
ගැඹුරු වු මහ මුහුද යම්සේ වෙසෙසින් පහන් වේ ද, නො කැළඹේ ද, එ පරිදි ම පණ්ඩිතයෝ දහම් අසා වෙසෙසින් පහදිත්.
කාණමාතා තොමෝ සිය දුව නො සිස් අතින් ස්වාමිකුලයට යවන්නට සිතා උයා පිළියෙල කළ කැවුම් සිවුවරක් සිය ගෙට වැඩි භික්‍ෂූන් සිවු නමකට පිළිගැන්නුවා ය. එයින් ඇගේ ගමන වැළකුනේ ය. බුදුරජානන් වහන්සේ ඒ නිමිති කොට සිකපද පැණවූහ. කාණාව, කලට වේලාවට නො ආ බැවින් ඇය, හා සහවාසයට නියම ව සිටි පුරුෂ තෙමේ අන් අඹුවක් ගෙට පමුණුවා ගත්තේ ය. කාණාව ඒ අසා ‘මේ උන්නාන්සේලා මාගේ ගෙයි වාසය කා දැමූහ’ යි භික්‍ෂූන් දුටු දුටු තැන බණින්නට දොඩන්නට වූ ය. භික්‍ෂූන්ට කාණාවගේ, ගේ අසල පාරෙන් යන්නට ද ඉඩ නැති විය.
එකල බුදුරජානන් වහන්සේ ඒ දැන එහි වැඩි සේක. කාණමාතා තොමෝ පණවා තුබූ අසුන්හි උන්වහන්සේ වඩා හිඳුවා කැඳ හා කැවිලි පිළිගැන්නූ ය. වළඳා අවසන්හි උන්වහන්සේ ‘කාණාව කොහි දැ’ යි ඇසූහ. එවිට ‘ස්වාමිනි! ඈ ඔබවහන්සේ දැක මකු ව හඬමින් ඉන්නී ය’ යි කී කල්හි ‘කුමක් නිසා හඬා දැ’ යි විචාළ සේක. ‘ස්වාමීනි! ඈ දකින දකින ස්වාමින් වහන්සේලාට බණි යි, නින්දා කර යි, එහෙයින් ඔබවහන්සේ දැක ද ඉදිරියට එනු බැරි ව හඬමින් සිටී’ යි කිවු ය. එවිට බුදුරජානන් වහන්සේ කාණාව කැඳවා ‘සැඟවී සිට හඬනෙහි කුමක් නිසා දැයි ඇසූහ. එකල කාණමාතා තොමෝ කාණාව කළ කී සියල්ල කියා සිටියා ය. උන්වහන්සේ ‘මාගේ ශ්‍රාවකයෝ දුන් දෙය ගත්තෝ ද, නො දුන් දෙය ගත්තෝ දැ’ යි අසා වදාළ කල්හි ‘උන්වහන්සේලා ගත්තෝ දුන් දෙය’ යි කාණමවු තොමෝ කිවු ය. ‘මාගේ ශ්‍රාවකයෝ පිඬු සිඟා යන ගමනේ නුඹලාගේ ගෙටත් පැමිණ දුන් දෙය ම ගත්හ, එහෙයින් ඒ නමලා අත වරදක් ඇත්තේ දැ’ යි අසා වදාළ කල්හි ‘ස්වාමීන් වහන්සේලා අත වරදෙක් නැත, උන්වහන්සේලා ගත්තෝ දුන් දෙය ය, වරද කාණාව අතේ ය’ යි ඈ කීවා ය. බුදුරජානන් වහන්සේ ‘කාණාවෙනි! වරද කා අතේ ද? මාගේ ශ්‍රාවකයෝ පිඬු සිඟා යන ගමනේ නුඹලාගේ ගෙටත් ගෙ පිළිවෙළින් පැමිණියහ, නුඹගේ මවු ඒ නමලාට කැවුම් පිළිගැන්නූ ය, ඔවුහු ඒ පිළිගත්හ, කාරණය සිදු වූයේ ඔය සේ ය, එහෙයින් මෙහි මාගේ ශ්‍රාවකයන් අත වරදෙක්, තිබේ දැ’ යි ඇසූහ. ‘නැත, ස්වාමීනි! හාමුදුරුවරු අත වරදෙක්, වරද මා අතේ ය, මට සමාවනු මැනැවැ’ යි කාණා තොමෝ බුදුරජුන් කමා කරවූ ය. එවිට උන්වහන්සේ අනුපිළිවෙළ කතාව වදාළ සේක. එහිදී ඈ ඒ අසා සෝවන් ඵලයට පැමිණියා ය.
බුදුරජානන් වහන්සේ රජගේ මිදුලෙන් විහාරයට වැඩි සේක. රජු බුදුරජුන් දැක ‘වඩින්නන් බුදුරජානන් වහන්සේ වගේ ය’ යි, කී විට එහි සිටි සේවකයෝ ‘දේවයන් වහන්ස! එසේ ය’ යි කීහ. ‘වහා යවු, මා වඳින බව බුදුරජුන්ට දන්වවු’ යි බුදුරජුන් වෙත සේවකයන් යැවී ය. ඔවුහු එහි වහා ගොස් එබව බුදුරජුන්ට දැන්වූහ. උන්වහන්සේ රජ ගෙදොර මිදුලෙහි නැවතී සිට ගත්හ. එවිට රජ තෙමේ බුදුරජුන් වෙත ගොස් වැඳ ‘කොහි වැඩි සේක් දැ’ යි ඇසී ය. ‘කාණාමවුගේ ගෙටැ’ යි වදාළාහ. එහි වැඩි සේක් කුමට දැ’ යි ඇසූ විට ‘මහරජ! කාණා තොමෝ මාගේ සව්වන්ට බණිමින් දොඩමින් සිටියා, ඒ කිමැ යි සොයන්නට ගියෙමි’ යි දැන් වූහ. ‘කිමෙක් ද ස්වාමීනි! නො බණින සැටියෙක් කරණ ලද දැ’ යි නැවැත ඇසී ය. ‘ඔව්! මහරජ! මින් පසු ඇය කාටත් නො බණින්නියක කළා, එ පමණෙක් ම නො වෙ යි, ලෝකෝත්තර ධනයට හිමි තැනැත්තියක ද කෙළෙමි’ යි වදාළ කල්හි ‘හොඳයි! ස්වාමීනි! බුදුරජානන් වහන්සේ ඇය ලෝකෝත්තර ධනයට හිමි තැනැත්තියක කළ බැවින් මම ඇය ලෞකික ධනයට හිමි තැනැත්තියක කරමි’ යි බුදුරජුන් වැඳ ගියේ පිළිසන් යානයක් යවා කාණාව කැඳවා අබරණින් සරසා වැඩිමහල් දූ තනතුරෙහි තබා ‘මාගේ දුව පොෂණය කළ හැක්කෙක් පාවා ගණීවා’ යි දැන්වීම් පළ කෙළේ ය. එක් අගමැති වරයෙක් ‘දේවයන් වහන්ස! ඔබ දුව රැක ගන්නට මට පිළිවන, එහෙයින් ඇය මට පාවා දෙන්නැ’ යි පාවා ගෙණ ගෙට කැඳවා සියලු යසඉසුරු දී ‘කැමති සේ පින් දහම් කරව’ යි ඉඩ පහසු සලසා දුන්නේ ය.
මෙසේ ඉඩ පහසු ලත් කාණා තොමෝ සිවු දිග සිවු දොරටුවෙහි පුරුෂයන් නවතා උපස්ථාන කළයුතු භික්‍ෂු භික්‍ෂුකීන් සොයා බැලුවා ය. එහෙත් එකෙකුදු නො ලද්දේ ය. කාණාවගේ ගෙයි දෙන්නට උයා පිහා තුබු කෑම් බීම්වල පමණ නැත. මෙ දවස ධර්‍මශාලාවට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා ‘ඇවැත්නි! පෙර දවස මහලු තෙර සතර දෙනෙක් මහලුකල පැවිදි වූ බැවින් කැවුම් කෑම බුදීම දත්බව මුත් කාණාවගේ අදහස නො දැන ඇය විපිළිසර කරවූහ, විපිළිසර වූ ඕ තොමෝ බුදුරජුන් කරා පැමිණ නැවැතත් සැදැහැ ඇත්තී වූ ය, බුදුරජානන් වහන්සේ නැවැතත් භික්‍ෂූන්ට කාණාවගේ ගෙට යන්ට මං සැලසූහ, එහෙත් දැන් ඈට භික්‍ෂුනමක් හෝ භික්‍ෂුකියක සොයා ගැණීම අපහසුව තිබේ. එහෙයින් බුදුරජානන් වහන්සේලා වැනි අරුම පුදුම ගුණ ඇත්තෝ කොහි වෙත් දැ’ යි කියමින් උන්හ. එ වේලෙහි එහි වැඩම කළ බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! තමුසේලා කියන්නහු කුමක් දැ’ යි විචාරා, ‘මෙනම් කතාවකැ’ යි කී කල්හි ‘ඔය මහලු උනාන්සේලා කාණාවට විපිළිසර ඉපදවූවෝ දැන් පමණක් නො වෙති, ඉස්සරත් එසේ කළහ’ ඒ වාගේ ම මම කාණා ව කීකරු කළේ දැන් පමණක් ම නො වෙමි, පෙරත් කාණා ව මා විසින් කීකරු කරණ ලද්දී ය’ යි. වදාළ විට භික්‍ෂූහු ‘ස්වාමීනි! අපි එය අසනු කැමැත්තම්හ’ යි දන්වා සිටියෝ ය. එවිට බුදුරජානන් වහන්සේ
“යම් තැනෙක බළලෙක් - නො ලබා ද කිසි ගොදුරක්,
එහි උපදිති බළල්ලු - දෙවැනි තෙවැනී සිවුවැනි,
පළිඟුමුවා බිල මේ - බබ්බුකාබිල නම් වේ,
(නැත) මෙබිලට පැහැර - සිය දිවි හළෝ ඔහු හැම” යි.
බබ්බුජාතකය සවිස්තර ව වදාළ සේක.
යම් තැනෙක බළලෙක් මී මස් ආදි ගොදුරක් ලබා ද එ තැන දෙවන බළලෙක් ද උපදි යි. තෙවන බළලෙක් ද උපදි යි. සිවුවන බළලෙක් ද උපදි යි. තීගේ මේ පළිඟුයෙන් කළ බිලය බබ්බුකාබිල නම් වේ, යනු එහි කෙටි තේරුම ය. ‘මේ මහලු මහණහු එ දවස බළල්ලු වූහ, කාණා ව මී දෙන වූ ය, මැණික්කරු තෙමේ මමැ’ යි ජාතකය ගළපා ‘මහණෙනි! කාණා ව ඉස්සරත් නො සතුටු වූ ය, විසුරුනු සිතැත්තී වූ ය, මාගේ වචනයෙන් පහන් දිය ඇති විලක් මෙන් වෙසෙසින් පැහැදුනී ය’ යි වදාරා අනුසන්ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:-
යථාපි රහදො ගම්භීරො විප්පසන්නො අනාවිලො,
එවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතාති.
යම්සේ වනාහි ගැඹුරු වූ මහමුහුද වෙසෙසින් පහන් වූ යේ ද, නො කැලඹුනේ ද, එපරිද්දෙන් නුවණැත්තෝ බණ අසා වෙසසින් පහදින්නෝ ය.
යථා අපි රහදො ගම්භීරො = ගැඹුරු වූ මහමුහුද යම්සේ ද.
කුදු මහත් හැම ජලාශයෙක් ම රහද, නමින් හඳුන් වනු ලැබේ. එහෙත් මෙහි ගැණෙන්නේ මහාසමුද්‍රය යි. ගම්භීර, යන විශේෂණයෙන් ඒ බව කීහ. යම් තැනෙක භයින් යෙත් නම් එතැන ගම්භීර යි කියති. පොළොව බිඳ මහාවාටයක් සේ පවත්නා තැන ද ගම්භීර ශබ්දයෙන් කිය වේ. ගම්භීර ශබ්දය වඩාත් සාර්‍ත්‍ථක වන්නේ සමුද්‍රයට විශේෂණව සිටි තැන්හි ය. සාමාන්‍ය ජලාශයක් කියවෙන නාමයකට ගම්භීර ශබ්දය විශේෂණ ව සිටියේ නම්, ඒ නාමයෙන් සමුද්‍රය කියවෙන්නේ ය. මෙ ද එසේ ය.
විපස්සන්තො අනාවිලො = වෙසෙසින් පහන් වූ නො කැලඹුනු.
මේ දෙපදය ද සිටියේ රහදො යන්නට විශේෂණ වශයෙනි. සමුද්‍රය යොදුන් අසූසාර දහසක් ගැඹුරු ය. මුහුදු පත්ලේ සිට උඩට සතළිස් දහසක් යොදුන් තැන්හි සිටි ජලය තිමි, තිමිඞ්ගල, තිමිරපිඞ්ලාදී වූ කුදු මහත් මසුන් කරණ කොට නිතර සැලෙ යි. මතුපිට සිට යටට සතළිස් දහසක් යොදුන් තැන්හි ජලය වාතයෙන් සැලෙ යි. උඩින් හා පත්ලෙත් අසූ දහසක් අසූ දහසක් යොදුන් පමණ තැන් හැර, මැද සාර දහසක් යොදුන් පමණ තැන සිටි ජලය වෙසසින් පහන් ය. නො කැලඹුනේ ය. ‘සබ්බා කාරෙන පන චතුරාසීති යොජනසහස්සගම්භීරො නීලමහාසමුද්දො රහදො නාම, තස්ස හි හෙට්ඨා චත්තාළීසසහස්සයොජන මත්තට්ඨානෙ උදකං මච්ඡෙහි චලති, උපරි තාවතකෙ එව ඨානෙ උදකං වාතෙන චලති. මජ්ඣෙ චතුයොජනසහස්සමත්තෙ ඨානෙ උදකං නිච්චලං තිට්ඨති. අයං ගම්භීරො රහදො නාම’ යන මේ පාළිය එහි තතු පැහැදිලි කර යි.
උඩින් හා පත්ලෙන් මෙසේ සැලුන ද, සමුද්‍රයෙහි නො සැලෙන්නා වූ මැද කොටස ගෙණ ඒ වෙසෙසින් පහන් බව හා නො කැලඹුනු බව සියලු සමුද්‍රයෙහි ආරෝපණය කරණ ලද්දේ ය. එ ද ශාසත්‍ර යුක්තියකි.
සිවුරඟසෙනග බටුවත් නො සැලෙන නො කැලඹෙන දිය කඳ ද රහද නමින් කිය වේ.
එවං ධමමානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා = එපරිද්දෙන් නුවණැත්තෝ බණ අසා වෙසෙසින් පහදිත්.
ගාථාවෙහි පෙරඩින් කියවුන මෙහි වූ එවං, යන්නෙන් පසු කොටස හා එකතු කර පෙන්වති. යම් සේ මුහුද නො කිලිටි බැවින් පහන් වේ ද, නො සැලෙන බැවින් නො කැලඹුනේ වේ ද, එපරිද්දෙන් මාගේ බණ දහම් අසා, සෝතාපත්තිමාර්‍ගාදිය ලැබීමෙන් උපක්ලේශ රහිත සිත් ඇති බවට පැමිණෙන්නා වූ පණ්ඩිතයෝ වෙසෙසින් පහන් වන්නාහ, යි කියන ලද්දේ ය. රහත්බවට පැමිණියෝ ම එකාන්ත විප්‍රසන්නයෝ ය.
මේ ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
කාණාමාතා වස්තුව නිමි.