යාවජීවම්පි චෙ බාලො පණ්ඩිතං පයිරුපාසති.
න සො ධම්මං විජානාති දබ්බී සූපරසං යථා.
අනුවණ පුගුල් තෙමේ දිවිහිමියෙනුදු නුවණැත්තන් සෙව්නේ ද, හෙ තෙම දහම් දැන නො ගන්නේ ය. සූපව්‍යංජන රසය නො දත හෙන සැන්ද මෙනි.
දිනක් උදායී ස්ථවිරයන් වහන්සේ, මහතෙරවරුන් බණ මඩුවෙන් නික්ම වැඩි කල්හි, එහි ගොස්, පණවා තුබූ ධර්‍මාසනයෙහි වාඩි ගත්හ. එහි පැමිණි ආගන්තුක භික්‍ෂූන් වහන්සේලා උදායී තෙරුන් දැක, නො අඳුනන බැවින් ‘මේතෙමේ උගත් මහාස්ථවිර නමක් වනැ’ යි සිතා ස්කන්‍ධප්‍රතිසංයුක්ත වූ ප්‍රශ්නයක් ඇසූහ. එයට පිළිතුරු දී ගත නො හැකි වූ හෙයින් ‘බුදුරජුන් හා එක විහාරයෙහි ඉඳ ද, ස්කන්ධ ධාතු ආයතන මාත්‍රයක් වත් නො දන්නා වූ මේ මිනිහා කවරෙක් දැ’ යි උදායී තෙරුන්ට නින්දා කොට, ඒ බව බුදුරජානන් වහන්සේට ද දැන් වූහ. එ කල්හි බුදුරජානන් වහන්සේ ඒ ආගන්තුක භික්‍ෂූන්ට මේ ධර්‍මදේශනාව කළ සේක:-
යාවජීවම්පි චෙ බාලො පණ්ඩිතං පයිරුපාසති,
න සො ධම්මං විජානාති දබ්බී සූපරසං යථාති.
අඥ තෙමේ පණ තිබෙන තුරුත්, නුවණැත්තකු නිතර සේවනය කරන්නේ නමුත්, ඔහු ධර්‍මය නො දනියි. හැන්ද ව්‍යඤ්ජන රසය නො දන්නාක් මෙනි.
යාවජීවං අපි = පණ තිබෙන තුරුත්.
‘ජීවස්ස යත්තකො පරිච්ඡෙදො = යාවජීවං’ යනු වාක්‍යයයි.
බාලො = අඥයා. [1]
පණ්ඩිතං = නුවණැත්තකු. [2]
පයිරුපාසති = නැවැත නැවැත එළෙඹෙ යි.
ගුණ නුවණ දැන, වත් පිළිවෙත් කොට, ‘ස්වාමීනි! කුසල් කිම? අකුසල් කිම? අනවද්‍ය කිම? සාවද්‍ය කිමැ?’ යි යනාදී ලෙසින් ප්‍රශ්න විචාරීම් ආදිය පිණිස වෙත පැමිණීම, පයිරුපාසන නමැ යි අටුවාවෙහි කීහ. වතාවත් කිරීම් ආදිය පයිරුපාසන නමි. තෙමේ යමකු කරා යන්නේ නම් ප්‍රශ්ණ විචාරීමෙන් හෝ, ඔහුගේ පිළිවෙත අනුව හැසිරීමෙන් ඔහු ඇසුරු කිරීමත් පයිරුපාසනය යි කීහ.
‘පයිරුපාසතීති පුනප්පුනං උපසඞ්කමති, සමීපෙ නිසීදති, සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමිත්වා පයිරුපාසති’ යනු එය විවරණය කළ සැටි යි.
ධම්මං = පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ ධර්‍මය.
පර්‍ය්‍යාප්තී යි කියන ලද්දේ ත්‍රිපිටකබුද්ධ වචනය යි. ‘සුභාසිතං වාචා’ යන්න ද බලනු. ප්‍රගුණ කළ යුතු බැවින් වාද්චොද්ගත කළයුතු බැවින් බුද්ධවචනය, පර්‍ය්‍යාප්ති යි කියනු ලැබේ.
‘තෙපිටකං බුද්ධවචනං පරියාපුණිතබ්බට්‍ඨෙන පරියන්තීති වුච්චති’ යනු ආප්ත යි. බුදුරජානන් වහන්සේ ‘මා විසින් තොපට මේ ලඝු ඇවත ය, මේ ගරු ඇවත ය, මේ ප්‍රතිකර්‍ම සහිත ඇවත ය, මේ ප්‍රතිකර්‍මරහිත ඇවත ය, මෙය ලෝකවද්‍යය, මෙය ප්‍රඥප්තිවද්‍ය ය, මේ ඇවත, පුද්ගලයා වෙත නැගී සිටියි. මෙය ගණයා වෙත නැගී සිටි යි. මෙය සඞ්ඝයා වෙත නැගී සිටී ය’ යි සප්තාපත්තිස්කන්ධයන්ගේ අව්‍යතික්‍රමණීයතා වශයෙන් පැමිණි වස්තුවෙහි ඛන්ධක - පරිවාර - උභතොවිභඞ්ග යන මොවුහු මහා විනය නැමැ, යි වදාළ සේක. එහි පාළිය මේ ය. “මයා වො ඨිතෙන ඉදං ලහුකං, ඉදං ගරුකං, ඉදං සතෙකිච්ඡං, ඉදං අතෙකිච්ඡං, ඉදං ලොකවජ්ජං, ඉදං පණ්ණත්තිවජ්ජං, අයං ආපත්ති පුග්ගලස්ස සන්තිකෙ වුට්ඨාති, අයං ගණස්ස සන්තිකෙ අයං සඞ්ඝස්ස සන්තිකෙ වුට්ඨාතීති සත්තන්තං ආපත්තික්ඛන්‍ධා නං අවීතික්කමනීයතාවසෙන ඔතිණ්ණවත්ථුස්මිං ඛන්ධක පරිවාරො උභතොවිභඞ්ගො මහාවිනයො නාම” යනු, මෙය විනය පිටකය බවත්, තමන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු, මෙය තමන් වහන්සේ අතින් ශ්‍රාවකයන් කෙරෙහි ඉටුවිය යුතු වූ හැම දෙයක් ම, හැම අනුශාසනාවක් ම, කරන බවත් උන්වහන්සේ වදාළ සේක. ‘තං සකලම්පි විනයපිටකං මයි පරිනිබ්බුතෙ තුම්හාකං සත්‍ථුකිච්චං සාධෙස්සති’ යනු බුද්ධවචනයි.
එසේ ම සතර සතිපට්ඨාන - සතර සම්‍යක්ප්‍රධාන - සතර ඍද්ධිපාද - පඤ්චෙන්ද්‍රිය - පඤ්චබල - සප්තබොද්ධ්‍යඞ්ග - අෂ්ටාඞ්ගිකමාර්‍ග යන ධර්‍මයන් විනෙයජනයන්ගේ අදහස්වලට ගැළපෙන සේ විභාග කොට, සූත්‍ර පිටකය දේශනා කළ බවත්, එ ද උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු ශාස්තෘකෘත්‍යය සිදු කරණ බවත්, වදාළ සේක. පාළිය මේය:- “මයා ඉමෙ චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්චබලානි, සත්තබොජ්ඣඞ්ගා, අරියොඅට්ඨඞ්ගිකොමග්ගො, ති තෙන තෙන වෙනෙය්‍යානං අජ්ඣාසයාරූපෙන පකාරෙන ඉමෙ සත්තතිංසබෝධිපක්ඛියධම්මෙ විභජිත්වා සුත්තන්තපිටකං දෙසිතං, තං සකලම්පි සුත්තපිටකං මයි පරිනිබ්බුතෙ තුම්හාකං සත්‍ථුකිච්චං සාධෙස්සතී’ති” යනු.
එසේ ම ද්වාදශායතන - අෂ්ටාදශධාතු - චතුරාර්‍ය්‍යසත්‍යය - ද්වාවීශතීන්ද්‍රිය - නවහේතු - චතුර්විධ ආහාර - සප්තවිධස්පර්‍ශ - සප්තවිධ වේදනා - සප්තවිධ සංඥා - සප්තවිධචේතනා - සප්තවිධචිත්ත යන මෙහි, මෙතෙක් ධර්‍ම කාමාවචරයහ, මෙතෙක් රූපාවචරයහ, මෙතෙක් අරූපාවචරයහ, මෙතෙක් පර්‍ය්‍යාපන්නයෝ ය, මෙතෙක් අපර්‍ය්‍යාපන්නයෝ ය, මෙතෙක් ලෞකිකයහ, මෙතෙක් ලෝකෝත්තරයහ, යි වෙන්කොට අභිධර්‍ම පිටකය දෙසන ලදැ’ යි ද, එද තමන් වහන්සේගෙන් පසු ශාස්තෘකෘත්‍යය සිදු කරන්නේ ය’ යි ද වදාළ සේක. පාළිය මේ ය:- “මයා පංචක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, චත්තාරි සච්චානි, ද්වාවීසතින්ද්‍රියානි, නවහෙතු, චත්තාරො ආහාරා, සත්ත ඵස්සා, සත්ත වෙදනා, සත්ත සඤ්ඤා, සත්න චෙතනා, සත්ත චිත්තානි, තත්‍රාපි එත්තකා ධම්මා කාමාවචරා, එත්තකා රූපාවචරා, එත්තකා අරූපාවචරා, එත්තකා පරියාපන්නා, එත්තකා අපරියාපන්නා, එත්තකා ලොකියා, එත්තකා ලොකුත්තරාති ඉමෙ ධම්මෙ විභජිත්වා අභිධම්මපිටකං දෙසිතං, තං සකලම්පිඅභිධම්මපිටකං, මයි පරිනිබ්බුතෙ සත්‍ථුකිචචං සාධෙස්සතී’ති” යනු.
ඒ මේ ත්‍රිපිටකබුද්ධවචනසඞ්ඛ්‍යාතපර්‍ය්‍යාප්තිය ප්‍රගුණ කරන්නවුන්ගේ වශයෙන් තෙපරිදිය. අලගද්දපරියත්ති - නිත්‍ථරණපරියත්ති - භාණ්ඩාගාරිකපරියත්ති’ යි. යමෙක්, ලාභ කීර්ති ප්‍රශංසාදිය ලැබීමේ අදහසින්, බුද්ධ වචනය පුහුණු කෙරේ නම්, උගණී නම්, ඔහුගේ ඒ පයර්‍ය්‍යාප්තිය අලගද්දපරියත්ති, නමු. මෙසේ බුදුවදන් පුහුණු නො කොට නිකම් නිදාගැණීම ඉතා උතුම් ය. නිදාගැණීමෙන් වන්නා වූ විපතට වඩා, අලගද්දපරියත්තියෙන් වන්නා වූ විපත බලවත් හෙයිනි.
යමෙක් වනාහි බුදුවදන් ඉගෙණ ශීලය පැමිණි තැන සිල් පුරා, සමාධිය පැමිණි තැන සමවත් ගැබ් ගන්වා, විදර්‍ශනාව පැමිණි තැන විදසුන් පිහිටුවා, මාර්‍ග ඵලයන් පැමිණි තැන මාර්‍ගය වඩන්නෙමි, ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමි’ යි උගණී ද, ඔහුගේ ඒ පර්‍ය්‍යාප්තිය නිත්‍ථරණපරියත්ති, නමු.
රහතුන් වහන්සේගේ පර්‍ය්‍යාප්තිය භාණ්ඩාගාරිකපරියත්ති, නමු. ඔහු විසින්, දැන නො ගත් ස්කන්ධයෙක්, නො නැසූ ක්ලේශයෙක්, නො වැඩු මාර්‍ගයෙක්, පසක් නො කළ ඵලයෙක් නැත. යම් හෙයකින් හෙතෙමේ, දැනගත් ස්කන්ධ ඇත්තේ, නැසූ කෙලෙස් ඇත්තේ, වැඩූ මාර්‍ග ඇත්තේ, ප්‍රත්‍යක්‍ෂ කළ ඵල ඇත්තේ ද, එහෙයින් බුදුවදන් පුහුණුකරන්නේ, පාළිය දරන්නේ, ප්‍රවෙණිය රක්නේ, වංශය රකින්නේ ම විය. මෙසේ ඔහුගේ ඕ පර්‍ය්‍යාප්ති ය භාණ්ඩාගාරිකපරියත්ති යි කියනු ලැබේ.
තව ද පෘථග්ජනයෙක්, දුර්භික්‍ෂභය ආදිය ඇති කල්හි, ග්‍රන්ථධාරින් එක් තැන වසන්නට අපොහොසත් වූ කල්හි, තෙමේ පිඬු සිඟීමෙන්, ඉතා වෙහෙස වෙමින්, බුදුවදන් නො නසීවා, පාළිය දරන්නෙමි, වංශය තබන්නෙමි, ප්‍රවෙණිය රකින්නෙමි’ යි පුහුණුකෙරේ ද, ඔහුගේ ඒ පර්‍ය්‍යාප්තිය භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තිය වන්නීදැ’ යි මෙහි නගින ප්‍රශ්නයෙකි. නො වන්නී ය, යනු පිළිතුර ය. කුමක් හෙයින් ද; යත්:- නියම ස්ථානයෙහි නො සිට පුහුණු කළ හෙයිනි. පෘථග්ජනයාගේ පර්‍ය්‍යාප්තිය අලගද්දපරියත්ති හෝ නිත්‍ථරණපරියත්ති හෝ වන්නීය. සත්තසෙඛයන්ගේ පර්‍ය්‍යාප්තිය නිත්ථරණ පරියත්ති නම් වා රහත්හුගේ ම පර්‍ය්‍යාප්තිය ය, භාණ්ඩාගාරිකපර්‍ය්‍යාප්ති ය පෙර ද මෙහි විස්තර කතාවක් කියා ඇත.
ලෝකෝත්තර ධර්‍මය පිණිස පිළිපදින්නහු විසින් ලෝකෝත්තර ධර්‍මප්‍රතිලාභයට පෙරාතු ව ඒ පිණිස පිළිපැදිය යුතු වූ පූර්‍වභාග ධර්‍මය ‘පටිපත්තිය’ යි කියනු ලැබේ. ‘ලොකුත්තර ධම්මතො පුබ්බභාගෙ තදත්‍ථං පටිපජ්ජීයතී’ ති = පටිපත්ති’ යනු අටුවාය. සිල් පිරීම - ඉඳුරන් රැකීම - බොජුනෙහි පමණ දැනුම - නිදි දුරුකිරීම - සතිසම්පජඤ්ඤ - සම්පධාන - සතිපට්ඨාන - ඉද්ධිපාද - ඉන්ද්‍රිය - බල- බොජ්ඣංග - අට්ඨංගිකමග්ග යන මේ ධර්‍මයෝ පුර්‍වභාගධර්‍ම නම් වෙති. ‘තත්ථ කතමා පටිපත්ති? සීලෙසු පරිපූරකාරිතා, ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, ජාගරියානුයොගො, සතිසම්පජඤ්ඤං, චත්තාරො සතිට්ඨානා - චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්චබලානි, සත්තබොජ්ඣංගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ යනු පාළි යි. මෙම පාළියෙහි දැක්වෙන දහම් කොටස්, ෂට්විශුද්ධි ක්‍රමයෙන් බෙදා සම්පූර්‍ණ කළ යුතු බැවින්, සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි, දිට්ඨිවිසුද්ධි, කඞ්ඛාවිතරණවිසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි, පටිපදාඤාණදස්සනවිසුද්ධි, යන ෂට් විශුද්ධිය, පටිපත්ති නැමැ’ යි කීහ. ‘පටිපත්ති’ ති සීල විසුද්ධි ආදයො ඡ විසුද්ධියො, පටිපජ්ජති එතාය අරියමග්ගො’ති පටිපත්ති’ යනු විකාශය යි. මේ පූර්‍වභාගධර්‍මයෙහි ඇතුළත් ඇතැම් ධර්‍මයන්ගේ විස්තර, යට ඒ ඒ තැන දැක්වින.
පිළිවෙත් පිරීමෙන් ලැබිය යුතු වූ සතර මග - සතර පල - ත්‍රිවිද්‍යා- චතුපටිසම්භිදා - ෂඩභිඥා යන මෙ කියූ ගුණ විශේෂයෝ පටිවේධ නම් වෙති.
විජානාති = දනි යි.
ගාථාවෙහි එන න, කාරය ද, ඒ හා එකතු කොට, අර්‍ත්‍ථ ගතයුතු ය. මෙහි න කාරය විජානාති, යන ක්‍රියා පදය හා ම සම්බන්ධයට යන්නේ ය. එවිට මෙහි ‘මේ බුද්ධ වචන ය, බුද්ධ වචන මෙතෙක් ය, යනාදිවශයෙන් පර්‍ය්‍යාප්තිධර්‍මයත්, මේ චාර ය, මේ විහාර ය, මේ ආචාර ය, මේ ගොචර ය, මේ සාවද්‍ය ය, මේ නිරවද්‍ය ය, මේ සෙවිය යුතු ය, මේ නො සෙවිය යුතු ය, මේ පිළිබඳ දත යුතු ය, මේ පසක් කළ යුතු ය, යනාදී වශයෙන් ප්‍රතිපත්ති, ප්‍රතිවේධධර්‍මයනුත් නො දනී යන අර්‍ත්‍ථය ලැබෙන්නේ ය.
දබ්බී සූපරසං යථා = ව්‍යංජන රස නො දන්නා සැන්ද සේ ය.
සැදූ දා සිට, ගෙවී යන තුරු ම නොයෙක් කෑම් බීම් ආදිය ඒ අත මේ අත පෙරළ පෙරළා හැඳි ගෑවත්, හැන්ද නම්, කිසිලෙසකිනුත් මේ ලුනු රස ය, මේ තික්ත රස ය, මේ ක්‍ෂාර ය, මේ කටුක ය, මේ ඇඹුල් රස නො වේ, මේ කසට ය, යනාදී ලෙසින් බත් මාලු ව්‍යංජන කැවිලි පෙවිලි ආදී වූ කිසි දෙයක රසයක් දැන නො ගණි යි. ඒ එයට නො පොහොසත් ය. එ පරිද්දෙන් අඥයා ද උපන් දා සිට මැරෙණ තුරුත්, නුවණැත්තකු ඇසුරු කළත්, ඔහු නම්, කියන ලද පර්‍ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන මෙයින් කිසිවක් දැන ගැණීමෙහි අපොහොසත් වෙයි. එ හෙයින් දහම් දැනුමෙහි අපොහොසත් බාලයා රස දැනුමෙහි අපොහොසත් සැන්ද මෙනැ, යි වදාළ සේක.
‘ඔදනාදී අනෙන දාරෙනතීති, = දබ්බී’ ඔදනාදිය උඩ යටි කරමින් පෙරළ පෙරළා පිළියෙල කරන්නට උපකරණ වනුයේ දබ්බී ය. දබ්බී නම්, සැන්ද යි. ‘සුඛත්ථාය පාතබ්බතො = සූපො, සවති රුචිං ජනෙතී ‘ ති = සූපො’ සැප පිණිස පියයුතු හෙයිනුත්, කැමැත්ත, ආශාව උපදවන හෙයිනුත් කුම්මාස, මාසවිකති, බ්‍යඤ්ජනාදිය සූප යි ගැණේ. පිඬු පිඬු කොට අනුභව කරණ ආහාර පිළිබඳ මධුර ලවනාදී හැම රසයෙක් ම, මෙහි රස ශබ්දයෙන් කිය වේ. අඥයාත්, හැන්දත්, එක සමාන බව කියන්නේ ගාථාවෙහි එන යථා, ශබ්දයෙනි. එය සමානාර්‍ත්‍ථවාචක ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ආගන්තුක භික්‍ෂූන් ගේ සිත් කාමාදී වූ ආශ්‍රවයන්ගෙන් මිදී ගියේ ය.
උදායි ස්ථවිර වස්තුව නිමි.