4-5 මච්ඡරියකෝසිය සිටානෝ

යථාපි භමරො පුප්ඵං වණ්ණගන්‍ධං අහෙඨයං

පළෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙ.

යම් සේ බමරෙක් මල ද පැහැය ද ගඳ ද නො නසමින් මල්රස පමණක් ගෙන නැගී යේ ද, එ පරිද්දෙන් ම මුනි තෙම ගමෙහි හැසිරෙන්නේ ය.

රජගහානුවර අසල සක්ඛර, නම් නියම් ගමෙක් විය. එගමැ විසූ මච්ඡරියකෝසිය සිටු තෙමේ මහා ධනවතෙක් වූයේ ය. අසූකෙළක් ධනය ඔහුට තුබුනේ ය. එහෙත් තණ අගැ රැඳි තෙල් බිඳක් පමණවත් දැයක් අනුනට නො දෙයි. තෙමේ ද නො කයි. නො බොයි. නො අඳියි. මේ මහත් ධනයෙන් ඔහුට, අඹුදරුවන්ට මහණබමුණන්ට, රටට, ගමට, අසල්වැසියනට කිසිත් වැඩෙක් නැත. එ හෙයින් මේ ධනරාශිය රකුසන් අරක් ගත් විලක් සේ ප්‍රයෝජන නැත්තේ ය.

දවසෙක සම්මා සම්බුදුරජානන් වහන්සේ අලුයම් වේලෙහි මහකුළුණුසමවතින් නැගී මුළු ලොව බලා වදාරණ සේක්, එයින් පන්සාළිස් යොදුනකින් ඔබ්බෙහි සිටි බිරින් ද සහිත වූ මේ සිටුහට සෝවන් වීමට තුබූ භාග්‍යමහිමය දැක වදාළ සේක.

එයට පළමු දින රජුට උපස්ථානය පිණිස ගොස් එන මොහු අතරමග දී බඩසයින් පෙළුනු පිටිසරමිනිසකු, තිරිඟුපිටියෙන් කළ තලප හා කබලුකැවුම් කනු දැක කැවුම් කෑමෙහි ආශා ඇති ව ගෙට ගියේ ය. ‘කැවුම් කන්නට ඇති ආශාව කීයේ නම්, හැම දෙන ම කැවුම් කන්නට බලාපොරොත්තු වෙති, එකල ගෙයි ඇති තල සහල් ගිතෙල් හකුරු හුඟදුරක් වියදම් වන්නේ ය, ඒ නිසා කැවුම් කන්නට ඇති ආශාව නො හඟවමියි සිතා ඒ ආශාව යටපත් කර ගත්තේ ය. මේ සිතිවිල්ලෙන් ඔහුගේ සිරුර සුදුමැලි විය. සිරුරෙහි නහර ඉල්පින. කැවුම් කෑමේ ආශාව නැග එයි. එය බලවත් ය. එ හෙයින් දවසක් කාමරයකට වැද ඇඳක වැතිර අතපය අකුළුවා ගෙණ නිදන්නට වන. කැවුම් කෑමට ගියොත් මුදල් වියදම් වේ ය යන බියෙන් ඒ අදහස හෙලි නො කර යි. මෙසේ නිදන වේලාවක බිරිඳ කාමරයට ගොස් පිට අතගා ‘හිමියෙනි! මොක ද අසනීපයැ’ යි ඇසූ ය. ‘අමුතු අසනීපයෙක් නැතැ’ යි ඔහු කී ය. ‘එහෙනම් වෙනදා නැති නින්දක්, රජුවත් කිපුනේ දැ’ යි ඇසූ විට ‘නැතැ’ යි කී ය. ‘එහෙනම් දූ පුතුන් අතින් වරදක්, ‘නෑ නෑ, මොක ද ඔවුන් කළ වරදැ’ යි කී ය. වැඩකාරයන් අතින්වත් වරදක් වුනා දැ’ යි ඇසූවිට ද ‘නැතැ’ යි කී ය. එහෙනම් මොකවත් ගැන බලාපොරොත්තුවක් තිබේ දැ’ යි ඇසූ ය. කැවුම් කෑමේ ආශාව කීයේ නම්, මුදල් වියදම් විය හැකි ය, යන බිය නිසා කිසිවක් නො කියා නිහඬ විය.

නැවතත් බිරිඳ ‘ඇත්ත කියන්න! මොකද, මොකවත් ගැණ ආශාවක් තිබේ දැ’ යි ඇසූ ය. ‘මොන ආශාවක් ද, මොකවත් ගැණ ආශාවක් නැතැ’ යි එවර ද කීයේ ය. බිරින් ද එයිනුත් නො නැවතී, නැවැත නැවැතත් ඇත්ත කියන්න, ඇත්ත කියන්නැ යි ඇවිටිලි කළා ය. එවිට ‘සොඳුර! මොකක් ගැණවත් කා ගැණ වත් බලාපොරොත්තුවක් ආශාවක් නැත, මේ ඇත්ත ය, ටික දිනකට උඩදී කැවුම් කන්නට ආශාවක් උපනැ’ යි කී ය. ‘හා! ඕක ද කාරිය, ඔහොම අදහසක් තිබුනා නම් ඇයි, දෙයියනේ කලින් නො කීයේ, ඔබ වහන්සේ දිළිඳු නො වන්නහු ය, හොඳ යි, මම මේ මුළු ගමට ම සෑහෙන්නට කැවුම් උයන්නෙමි, යි අඹුව කිවු ය. ‘මොක ද ඒ, එහෙම වුවමනා නෑ, ඌලා අපට කුමට ද, වුවමනා නම් උන් කැවුම් උයා කනවා ඇති, ඒවා වැඩි වැඩැ’ යි සිටු කී විට, එහෙනම් එක කඩපෙළක ඉන්නා මිනිසුන්ට සෑහෙන්නට උයන්නෙමි’ යි කීවා ය. ‘මම දන්නවා ඔයාගේ පොහොසත් කම, අත ලොකු බව, එයින් වැඩෙක් නැතැ’ යි කීයේ ය.

‘එයටත් අසතුටු නම්, මේ ගෙදර ඉන්නා අයට පමණක් සෑහෙන්නට උයන්න දැ යි ඇසූ ය.’ ‘ඔව්, ඔයා උසස් අදහස් ඇති ගෑණියක බව. මම දන්නවා’ යි එයට පිළිතුරු දුන්නේ ය. ‘එහෙනම්, අපටත් දූලා පුතාලාටත් සෑහෙන්න උයන්න දැ’ යි ඇසූ විට ‘දූලා පුතාලාටත් වුවමනා දැ යි ඇසුයේ ය. එහෙනම්, ඔයාටත් මටත්’ යි. ඇසූවිට ‘ඔහේටත්’ යි සිටු තෙමේ කී ය. ‘හා! හොඳ යි, ඔයාට පමණක් උයන්නෙමි’ යි කී කල්හි කුස්සියේ උයන්නට ගියොත් දකින දකින හැම දෙන ම කැවුම් කන්නට බලාපොරොත්තු වෙති, හොඳ හාල් නො ගෙණ සුන් සාල් ටිකකුත් ලිපත් කබලත් කිරි ගිතෙල් හා හකුරු ටිකකුත් අරගෙණ උඩ ම මාලට ගොස් උයන්න, එහෙම කළා ම මට කැවුම් කෑ හැකි ය’ යි කීයේ ය. අඹුව ද ‘එසේ කරන්නෙමි’ යි ගතයුතු සියල්ල ගන්වා ගෙණ උඩුමාලට නැග වැඩකරුවන් බැහැර කොට සිටානන් ගෙන්වා ගත්තා ය. සිටුතෙමේ පාතමාලයේ පටන් සියලු දොර යතුරු ලා ඉහල මාලයට ගොස් එහි ද දොර වසා හුන්නේ ය. භාර්‍ය්‍යාව ලිප ගිනි මොලවා, කබල ලිප තබා කැවුම් පිසන්නට පටන් ගත්තා ය.

එදා උදය බුදුරජානන් වහන්සේ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට කතා කොට ‘මුගලන! රජගහා නුවර අසල සක්ඛර නම්, නියම්ගම මච්ඡරියකොසිය සිටු තෙමේ කැවුම් කන්නෙමි, යි කියා අනුන් දකිනා බියෙන් උඩුමාලට නැගී බිරින්ඳ ලවා කැවුම් පිසව යි, තමුසේ දැන් එහි යා යුතු ය, සිටු හික්මවා තමන් කෙරෙහි නතු කර ගෙන අඹු සැමි දෙදෙනා ලවා ම කැවුම් කිරි ගිතෙල් මී හකුරුත් ගන්වා ගෙණ මෙහි දෙව්රමට ආ යුතු ය, මම භික්‍ෂූන් සමග මෙහි ඉන්නෙමි, උන් ගෙණෙනා කැවුම්වලින් ම බත් කිසත් කරන්නෙමි’ යි වදාළ සේක. එ කෙණහි ස්ථවිරයන් වහන්සේ ස්වකීය ඍද්ධිබලයෙන් එහි වැඩම කොට ඔහුගේ පහයෙහි සී මැදුරු කවුළුව ලඟ හැඳ පෙරවැ ගෙණ මිණියෙන් කළ රුවක් සේ අහස් කුසැ වැඩ සිටියහ.

තෙරුන් දුටු සිටුගේ ලය දෙදරා ගියේ ය. මම මෙබන්දන්ට ම බියෙන් මෙහි ආමි, මේ තැනැත්තාත් මෙ තැනට ම අවුත් ජනෙල්දොරැ සිටියේ ය’ යි කළයුතු දෙයක් නො දැක ගින්නෙහි ලූ ලුනුකැට සේ තරහයෙන් පිපිරි පිපිරී ‘මහණ! අහසෙහි සිටීමෙන් මොනවා ලැබේ ද, පා නො තැබිය හැකි අහසෙහි පා තබා ඇවිද්දත් කිසිවක් නො ලැබේ ය’ යි සිටු තෙමේ කීයේ ය. ස්ථවිරයන් වහන්සේ ඒ තැනැ ම එහා මෙහා ඇවිද්දාහ. ‘ඇවිද්දාට කුමක් ලැබේ ද, අහසැ පලක් බැඳ හුන්නත් කිසිවක් ලැබෙන්නේ නැතැ’ යි කීවිට උන්වහන්සේ අහසැ පලක් බැඳ හුන්හ. අහසැ පලක් බැඳ හුන්නාට තබා, මේ ජනෙල් පඩිය ලඟ හුන්නත් මොකවත් ලැබෙන්නේ නැතැ’ යි ඔහු කී ය. එවිට උන්වහන්සේ ජනෙල්පඩිය උඩ සිට ගත්හ. ජනෙල්පඩිය උඩ හුන්නාට ලැබෙන දෙයක් නැත, ඒ තබා ඔබ දුමා ගියත් මෙ තැනින් නම් ඔබට කිසිවක් ලැබෙන්නේ නැතැ’ යි කී කල්හි ස්ථවිරයන් වහන්සේ දුමා ගියහ. මුළු මාලිගාව එක ම දුම්කඳෙක් විය.

සිටානන්ගේ ඇස් ඉදිකටු ඇණෙන්නා සේ විය. ගෙය දා වැටේ ය’ යි බියපත් ව ඔබ ගින්නෙන් ඇවිළ ගත්තත් කිසිවක් ලැබෙන්නේ නැතැ’ යි නො කියා ‘මේ මහණා, කැවුම් කෑමෙහි තද ආශා ඇත්තෙක, එහි තදින් ම ඇලී සිටියි, කැවුම් නො කා ම නො යන හැඬ යි පෙණෙන්නේ, ඒ නිසා එක් කැවුමක් දෙන්නෙමි’ යි සිතා ‘සොඳුර! කැවුමක් කුඩා කොට උයා මේ මහණාට දී ඔහු පිටත් කරව’ යි කීයේ ය. ඈ ද සැන්දට පිටි ටිකක් ගෙණ තෙල් ඇතිලියෙහි වත් කළා ය. ඒ පිටි ටික මහ කැවුමක් ව මුළු තෙල් ඇතිලිය පුරා පිපී සිටියේ ය. මුලින් පිසූ හැම කැවුමකට ම වඩා ඒ කැවුම මහත් විය. එ තැන් සිට යම් යම් කැවුමක් උයා ද, ඒ හැම කැවුම ම මහත් මහත් විය. එවිට සිටු තෙමේ ‘සොඳුර! මොහුට ඔයින් කොයි කැවුමක් නමුත් දී මේ තැනින් වහා පිටත් කරව’ යි කී ය.

ඈ කැවුම්කූඩයට අත බහා එක කැවුමක් ගන්නා විට සියලු කැවුම් එකට ඇලී ආයේ ය. ‘ස්වාමීනි! සියලු කැවුම් එකට යාබද ව සිටියේ ය, වෙන් කොට ගන්නට බැරි ය, එකක් ගන්නා විට සියල්ල ම ඇදී එයි, කුමක් කරම් දැ’ යි ඇසූ විට ‘පොඩ්ඩක් ඉන්න! මම වෙන් කරන්නෙමි’ යි කැවුම් වෙන් කිරීමට ඔහු මහන්සි ගත්තේ ය. එහෙත් වෙන් කරනු බැරි වීය. අඹු සැමි දෙදෙන කැවුම් කොන්වලින් අල්ලා දෙ පැත්තට අදින්නට වූහ. එහෙත් කැවුම් වෙන් නො වී ය. කැවුම් වෙන් කරන්නට මහන්සි ගත් සිටානන්ගේ සිරුරින් ඩහදිය ගලන්නට වන. පිපාසා උපන. එවිට ‘සොඳුර! කැවුම් වලින් මට කම් නැත, කැවුම්කූඩය ම ඔහුට දෙන්නැ’ යි කී ය. ඕ තොමෝ කැවුම්කූඩය ම ගෙණ තෙරුන් වෙත ගියා ය. ස්ථවිරයන් වහන්සේ දෙදෙනාට ම බණ කීහ. තෙරුවන් ගුණ කියා පෑහ. ‘දෙන ලද්ද විපාක ඇත්තේ ය, දානාදීන්ගේ විපාකය අහස්තලයෙහි බබලන සඳ මෙනැ’ යි කීහ. බණ අසා සිටු පහන් විය. ‘ස්වාමීනි! මේ පුටුවෙහි වැඩ හිඳ ගෙණ කැවුම් වලඳනු මැනැවැ’ යි ආරාධනා කෙළේ ය. ‘මහසිට! සම්බුදුරජානන් වහන්සේ කැවුම් වලඳනු පිණිස භික්‍ෂූන් සමග විහාරයෙහි වැඩ හිඳින සේක, ඒ නිසා ඔබගේ කැමැත්ත ලෙස සිටුබිරිඳ ලවා කැවුම් කිරි ගිතෙල් මී හකුරු ගෙන්වා ගෙණ බුදුරජුන් වෙත යමු’ යි කී කල්හි ‘ස්වාමීනි! බුදුරජානන් වහන්සේ මේ දවස්වල කො තැනක වැඩ හිඳිනා සේක් දැ’ යි ඇසී ය. ‘ජෙතවනයෙහි වැඩ හිඳිති’ යි කීහ.

‘ස්වාමීනි! එක්සිය අසූ ගව්වකින් ඔබැ පිහිටි ජෙතවනයට අපි කෙසේ යමු ද, ඔතරම් දිග ගමනක් ටික කලකින් කෙසේ යෑ හැකි දැ’ යි ඇසී ය. ‘හා! මහසිට! එය ඔබ සිතන තරම් දිග ගමනෙක් නො වේ, කැමැත්තහු නම් මම මාගේ සෘද්ධිබලයෙන් ඔබ ජෙතවනයට ගෙණ යන්නෙමි, ඔබගේ මේ පහයෙහි හිණිහිස තමන් සිටින තැන ම වන්නේ ය, හිණි පාමුල දෙව්රම්දොරකොටු ව වන්නේ ය, උඩුමාලෙන් පහත මාලට බස්නා පමණීන් ඔබ ජෙතවනයට ගෙණ යන්නෙමි’ යි කී කල්හි සිටු තෙමේ සතුටු විය. ස්ථවිරයන් වහන්සේ ‘හිණි හිස එහි ම කොට හිණිපාමුල දෙව්රම් දොරකොටුවෙහි වේවා’ යි ඉටූහ. ඒ එසේ විය. සිටුබිරිඳ උඩමාලින් පහත මාලයට බස්නා කලටත් ඉතා අඩු කලකින් ඒ දෙදෙනා දෙව්රමට පැමිණ වූහ. ඔවුහු බුදුරජුන් වෙත ගොස් කල් දැන්වූහ. බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් සමග බොජුන්හලට වැඩ පැණ වූ අසුන්හි වැඩ හුන්හ. සිටු තෙමේ එහිදී බුදුපාමොක් මහ සඟනට පැන් පිළිගැන්වී ය. සිටු බිරිය බුදුරජුන්ගේ පාත්‍රයට කැවුම් ගිතෙල් ඈ බෙදූ ය. උන්වහන්සේ යැපෙන පමණක් ම පිළිගත්හ. පන්සියයක් දෙනා වහන්සේ ද තම තමන්ට යැපෙන සෑහෙන පමණක් ම පිළිගත්හ. සිටු තෙමේ ද කිරි ගිතෙල් මී හකුරු බෙදමින් හැසුරුණේ ය. බුදුරජානන් වහන්සේ. භික්‍ෂූන් සමග දන් වළඳා අවසන් කළහ. සිටු තෙමේත් එහිදී ම භාර්‍ය්‍යයාව හා එක් ව බඩ පුරා කැවුම් කෑයේ ය. කැවුම්වල අවසානයෙක් නො වීය. වෙහෙරැ වැසි අනික් භික්‍ෂූන්ට හිඟන්නන්ට හා පුලන්නන්ටත් දීලා කැවුම් අවසන් නො වී ය.

එකල සිටු තෙමේ ‘ස්වාමීනි! කැවුම් අවසන් වන හැඩෙක් නො පැණේ ය’ යි කී ය. එසේ නම් දෙව්රම්වෙහෙරදොරටුවෙහි බහාලව’ යි වදාළ සේක. එවිට ඔහු කැවුම් ගෙණ ගොස් දොරකොටුව අසල ඉදිරියට නෙරා සිටි ගල්තල්ලක් යට බැහී ය. අදත් එතැන ‘කපල්ලකපූවපබ්භාර’ යි ප්‍රසිද්ධ ව පවතී. සිටු තෙමේ කැවුම් බහා බිරින්ද සමග බුදුරජුන් වෙත ගියේ, එකත් පසෙක හුන්නේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ඔවුනට දානානිසංස වදාළ සේක. බණ අවසන්හි දෙදෙන ම සෝවන් ඵලයට පැමිණියෝ, බුදුන් වැඳ දොරකොටුවෙහි වූ පඩිපෙළ මගින් මාලිගාවට ගියහ. එදා පටන් සිටු තෙමේ තමන් සතු ඒ අසූ කෙළක් ධනය සසුන් දියුණුවට යෙදී ය. පසුදා සවස ධර්‍මශාලාවට රැස් වූ භික්‍ෂූන් වහන්සේලා ‘ඇවැත්නි! මහාමෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේගේ මහිමය බලනු මැනැව, ශ්‍රද්ධාව නො නසා භෝගයනුත් විනාශ නො කොට මච්ඡරියසිටු මොහොතකින් හික්මවා පහදවා ගෙණ කන්නට පිළියෙල කරවා ගත් කැවුමුත් ඔහු ලවා ම ගෙන්වා ගෙණ දෙව්රමට පැමිණ ඔවුන් බුදුරජුන් ඉදිරියට පමුණුවා සෝවන් ඵලයෙහි ද පිහිටුවා ලූහ, මහතෙරුන් වහන්සේගේ ආනුභාවය ඉමහත් ය’ යි තෙරුන්ගේ ගුණ කතා කරමින් හුන්හ. එවිට බුදුරජානන් වහන්සේ එ තැනට වැඩි සේක. ‘මහණෙනි! මා මෙහි එන්නට කලින් තමුසේලා කළ කතා ව කුමක් දැ’ යි අසා වදාළ කල්හි ‘මෙ නම් කතාවකැ’ යි උන්වහන්සේලා දැන්වූහ. ‘මහණෙනි! කුල පහදවන්නන් විසින් කුලයාගේ ශ්‍රද්ධාව නො නැසෙන සේ සම්පතට හානියක් නො වන සේ කුලය නො වෙහෙසා නො තළා මලින් රොන් පැණි ගන්නා මීමැස්සකු සේ කුලය කරා එළැඹැ බුදු ගුණ කිය යුතු ය, මාගේ පුත්‍ර වූ මෞද්ගල්‍යායන කළේ එසේ ය’ යි තෙරුන්ට තුති කොට එහි දී මේ ධර්‍මදේශනාව. කළ සේක:-

යථාපි භමරො පුප්ඵං වණ්ණගන්ධං අහෙඨයං,

පලෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙති.

මීමැස්සා මලත් පැහැයත් සුවඳත් නො නසා හැසිරෙමින් මල්පැණි පමණක් හැර ගෙණ යන්නේ යම් සේ ද, එසේ භික්‍ෂු තෙමේ දායකකුලයාගේ ශ්‍රද්ධාවටත් භෝගයන්ටත් හානියක් නො කොට ගමෙහි පිඬු සිඟා යන්නේ ය.

යථා අපි = යම් සේ.

අපි, යනු පදපූරණයෙහි ය. මල්පැණි ගෙණ යන මී මැස්සා ගේ ඒ පිණිස මලෙහි හැසිරීමත්, පිඬු සිඟා යන භික්‍ෂුවගේ ඒ පිණිස ගමෙහි හැසිරීමත් යන දෙකම එක සමානය’ යි මෙයින් කීහ.

භමරො = මීමැස්සා. බමරා.

‘පුප්ඵමත්‍ථකෙ භමතීති = හමරො’ මල් මතුයෙහි හැසිරෙන්නේ භ්‍රමර නම් වේ.

පුප්ඵං = මල.

මෙය කුසුමයෙහි හා ඔසප්ලෙයෙහි වැටේ. ‘පුප්ඵ පූජා ඉදං ඵලං’ යනාදී තන්හි කුසුමයෙහි වැටේ. ‘පුප්ඵංසා උප්පජ්ජී’ යනාදී තන්හි ඔසප් ලෙයෙහි හෙන්නේ ය. තව ද කාමගුණයෙහි හා අශුචියෙහි ද පුප්ඵ ශබ්දය හුනුයේ ය. ‘පුප්ඵානිහෙවපචිනන්තං, පුප්ඵඡඩ්ඪකො’ යනාදිය එයට නිදසුන් ය.

වණ්ණගගන්‍ධං = පැහැය හා ගඳ.

වණ්ණ ශබ්දය වනාහි සංස්ථාන-රූප-ජාති-ඡවි-හේතු-ප්‍රමාණ-ප්‍රශංසා-අක්‍ෂර-කීර්‍තති-ගුණ යන ඇරුත්හි වැටේ. ‘මහන්තං හත්ථි රාජවණ්ණං අභිනිම්මිනිත්‍වා’ යන මෙහි සංස්ථානයෙහි ආයේ ය. ‘පරමායවණ්ණපොක්ඛරතාය සමන්නාගතො’ යනු ආයේ රූපයෙහි ය. ‘චත්තාරො මෙ භො ගොතම! වණ්ණා බ්‍රාහ්මණොව සෙට්ඨො’ යන තන්හි හුනුයේ ජාතියෙහි ය. ‘සුවණ්ණවණ්ණො භගවා’ යනු ඡවියෙහි වැටේ. ‘න හරාමි න භූඤ්ජාමි -පෙ- අථ කෙන නු වණ්ණෙන’ මේ ආදියෙහි ආයේ හේතුයෙහි ය. ‘තයො පත්තස්ස වණ්ණා’ යනු ප්‍රමාණයෙහි ආයේ ය. ප්‍රශංසාවාචක වූයේ ‘වණ්ණාරහස්ස වණ්ණං භාසති’ යනාදියෙහි ය. අක්‍ෂරයෙහි දක්නා ලැබෙනුයේ ‘වණ්ණාගමො වණ්ණවිපරියායො’ යනාදියෙහි ය. ‘කදා සංයූළ්හා පන තෙ ගහපති! ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා’ යන මෙහි ආයේ ගුණවාචකව ය.

“වණ්ණො සණ්ඨානරූපෙසු ජාතිච්ඡවීසු කාරණෙ

පමාණෙ ච පසංසායං අක්ඛරෙ ච යසෙ ගුණෙ”

යනු කෝෂාගත ය.

මෙසේ ඒ ඒ අරුත්හි පවත්නා වණ්ණශබ්දය මෙහිලා නිල පීතාදිගුණවාචක වේ. මෙහි වණ්ණශබ්දය හා එක් ව තිබෙන ගන්ධශබ්දය, සුගන්ධවාචක ව පවතී. ගන්ධශබ්දය මනාගඳටත් නො මනාප ගඳටත් දෙකට ම සාධාරණ වුව ද, තැනට ඔබින සේ ප්‍රයෝගානුගත ව අර්‍ත්‍ථ ගතයුතු ය. සමහර තැනක සු-දු යන අව්‍යය පදදෙකින් වෙන වෙන ම වැඩී මනාපගන්ධයෙහි හා අමනාප ගන්ධයෙහි යෙදේ. එ දෙකින් තොර ව එනුයේ සුගඳ දුගඳ දෙක්හි ම අවිශේෂ ව පවත්නේ ය. සුගන්ධය සුගන්ධභාවයෙන් දුර්‍ගන්ධයන්, දුර්‍ගන්ධය දුර්‍ගන්ධභාවයෙන් සුගන්ධයන් නසා නුයි, ගන්ධ නම් වේය යි නෛරුක්තිකයෝ කියති. සැඟවී සිටි පුෂ්පඵලාදිය මෙහි ඇතැ යි ද ගන්ධ නම් වේ යනුත් ගන්ධ ශබ්දයෙහි තවත් තේරුමකි.

පලෙති = යෙයි.

රසං = මල් පැණි.

රස ශබ්දය වනාහි, ද්‍රව-ආචාර-වීර්‍ය්‍ය-ෂට්රස-රසදිය-ශෘඞ්ගාරාදිය-ධාතු භේදය-කෘත්‍ය- සම්පත්තිවාචක වේ. මෙහිලා මූලරස-ඛන්ධරස-තචරස-පත්තරස-පුප්ඵරස-ඵලරස යන මොවුන් පිළිබඳ කසට-තිත්ත-මිහිර-ලුණු-ඇඹුල්-කුළු යන රස අතුරෙහි මිහිර ම ගැණේ. ‘දෙවමනුස්සාදයො සත්තා යස්මා රමමානා නං ධම්ම ජාතං අසන්ති භක්ඛන්ති තස්මා තං රසො නාම’ යනු පාළියෙහි ආයේ ය. සත්වයෝ යමක් විඳ ගණිත් ද ඒ විඳගන්නා දෙය රස නම් වේ. ‘රසන්ති තං සත්තා අස්සදෙන්තීති = රසො’ යනු නිරුක්ති.

කෝෂග්‍රන්ථයෙහි මෙසේ කී ය:-

“ද්‍රවාචාරෙසු විරියෙ මධුරාදීසු පාරදෙ,

සිඞ්ගාරාදො ධාතුභෙදෙ කිච්චෙ සම්පත්තියං රසො” යනු

එවං = එසේ.

අර්‍ත්‍ථවශයෙන් නොයෙක් අරුත් ඇත්තේ ය. ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ යන තන්හි මෙන් මෙහි ආයේ උපමායෙහි ය.

ගාමෙ = ගමෙහි.

යම් කිසි බිම්පෙදෙසෙක් ගඩොල් කටු අතු ආදී යමකින් වට කරණ ලද්දේ හෝ නො වට කරන ලද්දේ මිනිසුන්ට වසන තැන් වූයේ ද, එ තැන ගාම නාමයෙන් හඳුන්වනු ලැබේ. යටත් පිරිසයින් යම්කිසි පෙදෙසක මිනිසුන් වසන එක් කිළියක් පමණකුදු තිබේ නම්, ඒ පෙදෙස ගාම යන්නෙන් කියැ වේ. තව ද වෙළඳ සමුහයෙක් යම් තැනෙක කූඩාරම් පිහිටුවා සාරමසක් පමණ කල් නැවතී සිටියෝ නම්, එ තැන ද ගාම නම් වේ.

“ගාමා නාම එකකුටිකොපි ගාමො දිකුටිකොපි ගාමො තිකූටිකොපි ගාමො චතුකුටිකොපි ගාමො සමනුස්සොපි ගාමො අමනුස්සොපි ගාමො පරික්ඛිත්තොපි ගාමො අපරික්ඛිත්තොපි ගාමො ගොනිසාදිනිවිට්ඨොපි ගාමො යො පි සත්‍ථො අතිරෙකචාතුමාසනිවිට්ඨො සොපි වුච්චති ගාමො” යනු විනයයෙහි එය දැක් වූ සැටියි. තවත් විස්තර ඉදිරියෙහි එන්නේ ය.

මුනි - භික්‍ෂු තෙමේ.

භික්‍ෂු තෙමේ මුනි’ යි හඳුන්වන ලද්දේ කරුණු ඇතිව ය. එ හෙයින් මුනි යනු ද අන්වර්‍ත්‍ථ නාමයෙකි. මොන’ යි නම් ලද මාර්‍ග ඥානයෙන් යුත් තැනැත්තේ මුනි නම් වේ ය යි කීහ. ‘මොනං වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා -පෙ- ධම්මවිචයො සම්මා දිට්ඨි’ තෙන ඤාණෙන සමන්නාගතො මුනි’ යනු දේශනා ය.

ත්‍රිවිධකායදුශ්චරිතයන්ගේ ප්‍රහාණිය, ත්‍රිවිධකායසුචරිතය, කය අරමුණු කොට අනිත්‍යාදිවශයෙන් පැවැති කායාරම්මණඤාණය කය, ඤාත - තීරණ - පහාන පරිඥාශක්තියෙන් දැනීම් වශයෙන් පැවැති කායපරිඤ්ඤාව, ආද්ධ්‍යාත්මිකකය, සම්මර්‍ශනය කොට උපදවන ලද පරිඤ්ඤාසහගත වූ මාර්‍ගය, කායිකඡන්දරාගප්‍රහාණිය, අස්සාසපස්සාස කායයන්ගේ ආවරණය, හෙවත් චතුත්ථජ්ඣාන සමාපත්තියට සමවැදීමැ යි කියූ කායපාරිශුද්ධියට ද,

චතුර්විධවාක්සුවරිතය, වචනය අරමුණු කොට පැවැති ඤාණය, වචනය, ඤාතපරිඤ්ඤාදීන්ගේ ශක්තියෙන් දැනීම් වශයෙන් පැවැති ඤාණය, පරිඤ්ඤාසහගත වූ මාර්‍ගය, වාචසිකඡන්දරාගප්‍රහාණිය, වචීසඞ්ඛාරනිරෝධය හෙවත් දුතියජ්ඣානසමාපත්ති යි කියූ වාක්පාරිශුදධියට ද,

ත්‍රිවිධමනෝදුශ්චරිතයන්ගේ ප්‍රහාණිය, ත්‍රිවිධමනස්සුචරිතය, චිත්තාරම්මණඤාණය, චිත්තපරිඤ්ඤාව, පරිඤ්ඤාසහගත වූ ඤාණය, චෛතසිකඡන්දරාගප්‍රහාණිය, චිත්තසඞ්ඛාරනිරෝධය, හෙවත් සඤ්ඤාවෙදයිත නිරෝධැ යි කියූ චිත්තපාරිශුද්ධියට ද පැමිණියේ මුනි නම් වේ.

“තිවිධානං කායදුච්චරිතානං පහානං කායමොනෙය්‍යං තිවිධං කායසුචරිතං කායමොනෙය්‍යං කායාරම්මණෙ ඤාණං කායමොනෙය්‍යං කායපරිඤ්ඤා කායමොනෙය්‍යං පරිඤ්ඤා සහගතො මග්ගො කායමොන්‍යෙයං කායෙ ඡන්දරාගස්ස පහානං කායමොනෙය්‍යං කායසඞ්ඛාර නිරොධො චතුත්‍ථජ්ඣාන සමාපත්ති කායමොනෙය්‍යං, ඉදං කායමොනෙය්‍යං. චතුබ්බිධානං වචීදුච්චරිතානං පහානං වචීමොනෙය්‍යං චතුබ්බිධං වචීසුචරිතං වචීමොනෙය්‍යං වාචාරම්මණෙ ඤාණං වචීමොන්‍යෙං වාචාපරිඤ්ඤා වචීමොනෙය්‍යං පරිඤ්ඤාසහගතො මග්ගො වචීමොනෙය්‍යං වාචාය ඡන්දරාගස්ස පහානං වචීමොනෙය්‍යං. වචීසඞ්ඛාරනිරොධො දුතියජ්ඣානසමාපත්ති වචීමොනෙය්‍යං, ඉදං වචීමොනෙය්‍යං. තිවිධානං මනොදුච්චරිතානං පහානං මනොමොනෙය්‍යං. තිවිධං මනොසුචරිතං මනොමොනෙය්‍යං චිත්තාරම්මණෙ ඤාණං මනොමොනෙය්‍යං චිත්තපරිඤ්ඤා මනොමොනෙය්‍යං පරිඤ්ඤාසහගතො මග්ගො මනොමොනෙය්‍යං චිත්තෙ ඡන්දරාගස්ස පහානං මනොමොනෙය්‍යං. චිත්තසඞ්ඛාර නිරොධො සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති මනොමානෙය්‍යං ඉදං මනොමොනෙය්‍යං” යනු එහි සූත්‍ර යි.

මෙසේ කායද්වාරාදියෙන් සිදුවන අකුශලයන් මුළුමනින් හැරලීමෙන් පිරිසිදු වූ මොනෙය්‍යසඞ්ඛ්‍යාතමාර්‍ගඥානයෙන් නැසිය යුතු කෙලෙස් නසා සිටි, එ හෙයින් ම ආස්‍රවරහිතවූවහු, සියලු කෙලෙස් හැර සිටියහු මුනි යි කියත්. තව ද අජ්ඣත්තබහිද්ධාරම්මණ වශයෙන් උත්පත්තිය ගෙණ දෙන සියලු පව් මගනැණින් නසා සිටි බැවින් මෙ තෙමේ නින්හාතපාපක, යි ද හඳුන්වනු ලැබේ.

“කායමුනිං වාචාමුනිං - මනොමුනිමනාසවං,

මුනිං මොනෙය්‍යසම්පන්නං - ආහු සබ්බප්පහායිනං,

කායමුනිං වාචාමුනිං - මනොමුනිමනාසවං,

මුනිං මොනෙය්‍යසම්පන්නං - ආහු නින්හාතපාපකං”

යනු දේශනා ය.

මුනිවරයෝ, අගාරියමුනි - අනගාරියමුනි - සෙඛමුනි - අසෙඛමුනි - පච්චෙකමුනි - මුනිමුනි’ යි සදෙනෙක් වෙති. එහි සීසෑම් ගෙරි රැකීම් ආදිය කරමින් ගිහිගෙයි වසන දක්නාලද නිර්‍වාණය ඇති ශික්‍ෂාත්‍රය සඞ්ඛ්‍යාතශාසනය ඇත්තෝ අගාරියමුනි නම් වෙත්. ‘යෙ තෙ අගාරිකා දිට්ඨපදා විඤ්ඤාතසාසනා ඉමෙ අගාරිය මුනිනො’ සීසෑම් ගෙරිරැකීම් ආදියෙන් තොර ව පැවිදිබවට පැමිණියෝ අනගාරියමුනි නම් වෙත්. ‘යෙ තෙ පබ්බජිතා දිට්ඨ පදා විඤ්ඤාතසාසනා ඉමෙ අනගාරිය මුනිනො’ සෝවන්මගට පැමිණියහු පටන් රහත්මගට පැමිණීයහු තෙක් ඇති ශෛක්‍ෂ පුද්ගලයෝ සත් දෙන සෙඛමුනි නම් වෙත්. ‘සත්තසෙඛා සෙඛ මුනිනො’ රහත්ඵලයට පැමිණීමෙන් ආස්‍රවධර්‍මයන් මුළුමනින් දුරු කොට සිටි ආර්‍ය්‍යයන් වහන්සේ අසෙඛමුනි නම් වෙත්. ‘අරහන්තො අසෙබමුනිනො’ ඒ ඒ කාරණය ඇසුරු කොට එකලාව අනාචාර්‍ය්‍යක ව චතුස්සත්‍යධර්‍මය අවබෝධ කොට සිටි ප්‍රත්‍යෙක බුදුරජානන් වහන්සේ පච්චෙකමුනි නම් වෙත්, ‘පච්චෙක සම්බුද්ධා පච්චෙකමුනිනො’ තථාගත සම්බුදුරජානන් වහන්සේ මුනිමුනි නම් වෙත්. ‘මුනිමුනිනො වුච්චන්ති තථාගතො අරහන්තො සම්මාසම්බුද්ධා’ යනු දේශනා ය.

රික්තස්වභාවය ඇති අඤ්ජන තෙමේ නිශ්ශබ්දව හිඳීම් පමණකින් මුනි නො වේ. තරාදියක් ගෙණ සිටියේ, එහි ලූ දෙය පමණට වඩා අධික වේ නම්, ඒ අධිකය බැහැර කෙරෙයි. අඩුවූයේ නම්, අතින් බහා ඒ අඩු ව පිරිමසයි. එ මෙන් යමෙක් අධිකය බැහැර කරන්නා සේ පව් දුරු කෙරේ ද, අඩු ව සම්පුර්‍ණ කරන්නා සේ කුසල් සම්පුර්‍ණ කෙරේ ද, මෙසේ කරමින් ශීල-සමාධි-ප්‍රඥා-විමුක්ති- විමුක්තිඥානදර්‍ශනසඞ්ඛ්‍යාත වූ උත්තමධර්‍මය ගෙණ ලාමක අකුශල ධර්‍මයන් දුරු කෙරේ ද, හෙතෙමේ මුනි නම් වේ.

යමෙක් මේ ස්කන්ධාදිලෝකයන් තුලාවට නගා කිරන්නකු මෙන් ‘මොවුහු ආද්ධ්‍යාත්මිකස්කන්ධයෝ ය, මොවුහු බාහිරස්කන්ධයෝ ය’ යි යනාදි ලෙසින් මෙ දෙක මනී ද, ඔහු මුනි යි කියනු ලැබේ.

යමෙක් කුශලාකුශලප්‍රභේද ඇති සත් අසත් ධර්‍මය අජ්ඣත්තික-බාහිර යි පවිචයඥානයෙන් දැන රාගාදී වූ සත් වැදෑරුම් වූ සඞ්ගයන් ද තෘෂ්ණාදෘෂ්ටිභේදයෙන් දෙ වැදෑරුම් වූ ජාලය ද ඉක්මවා සිටියේ නම්, හෙතෙමේ ඒ මොනසඞ්ඛ්‍යාතපවිචයඥානයෙන් යුක්ත බැවින් මුනි වූයේ දෙව්මිනිසුන් විසින් පුදන ලද්දේ වෙයි. මේ කීහ:-

“න මොනෙන මුනී හොති - මූළ්භරූපො අවිද්දසු,

යො ච තුලංව පග්ගය්හ - වරමාදාය පණ්ඩිතො,

පාපානි පරිවජ්ජෙති - ස මුනී තෙන සො මුනි,

යො මුනාති උභො ලොකෙ - මුනි තෙන පවුච්චති.

.

අසතං සතඤ්ච ඤත්‍වා

ධම්මං අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ,

දෙවමනුස්සෙහි පූජිතො යො

සසඞ්ගජාලමතිච්ච සො මුනි”

චරෙ = හැසිරෙන්නේ ය.

මෙසේ සෙඛාසෙඛභේද ඇති අගාරියමුනි තෙමේ ගෙපිළිවෙළින් උස්පහත්කම් නො සලකා මාලිගාවෙන් පැල්පතට, පැල්පතින් මාලිගාවට යමින් පිඬු සිඟා යන්නේ ය යි මින් වදාළ සේක.

මොහුගේ මේ ගමෙහි පිඬුසිඟීමෙන් එ ගම්වැස්සන්ගේ ශ්‍රද්ධාවට භෝගයට හානියක් නො වේ. ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිර ලත් අහර, ඉන් නික්ම ගමින් පිටත පහසු තැනෙක හිඳ අක්ඛ භඤ්ජන, වණපටිච්ඡාදන, පුත්තමංසයන් හා සමකොට ප්‍රත්‍යවේක්‍ෂා කරමින් වලඳා මහණකමට සුදුසු වනලැහැබකට ගොස් ආධ්‍යාත්මිකකර්‍මස්ථාන වඩන්නේ, මගපල අත්පත් කෙරෙයි. අසෙඛමුනි තෙමේ දිට්ඨධම්මසුඛවිහාරයෙහි යෙදෙයි. මුනිහුගේ මේ ගම්හැසිරීම බමරාගේ මී බැඳීම හා සමානැ යි වදාළෝ බමරා ද මල් උයනට වැද මලට පැහැයට සුවඳට කිසිත් හානියක් නො කොට මල්පැණි පමණක් ගෙණ රුක්බිලයෙක රොන්මුසු මල්පැණි තබා පිළිවෙළින් මීවද බඳින බැවිනි. බමරාගේ මල්උයනෙහි හැසිරීමෙන් මලට පැහැයට සුවඳට කිසිත් හානියක් නො වූ ය.

සම්මා සම්බුදුරජානන් වහන්සේ මේ ධර්‍මදේශනාව කොට තව තවත් තෙරුන් වහන්සේගේ ගුණ කියනු පිණිස ‘මහණෙනි! මෞද්ගල්‍යායන තැන විසින් මච්ඡරියසිටු දමනය කරණලද්දේ අද පමණක් ම නො වේ, පෙරත් ඔහු දමනය කොට කර්‍මඵල සම්බන්ධය කියා දෙන ලදැ’ යි වදාරා:-

“උභො ඛඤ්ජා උභොකුණී - උහො විසම චක්ඛුලා,

උභින්නං පිළකා ජාතා - නාහං පස්සාමි ඉල්ලිසං”

යන මේ ඉල්ලීසජාතකය වදාළ සේක. ඒ බලනු.

මච්ඡරියකෝසියශ්‍රේෂ්ඨි වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.